සංගීතය,ගීතය සහ බොබ් මාලේ

704

පෙබරවාරි 06 වන දිනට යෙදෙන  ලෝක ප‍්‍රකට ගායක බොබ් මාර්ලේගේ  87 වන ජන්ම දිනය නිමිත්තෙනි.

 ජැමෙයිකානු ගායකයෙකු, ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු වන රොබට් නෙස්ටා මාර්ලේ හෙවත්, බොබ් මාර්ලේ 1945 පෙබරවාරි 06 වැනි දින ජැමෙයිකාවේ නයින් මයිල් හි දී උපත ලැබීය. ඔහු ‘ස්කා’ සහ ‘රොක්ස්ටෙඞ්’ යන ජැමෙයිකාවේ ජනප‍්‍රිය සංගීත ක‍්‍රම වර්ධනය කිරීමෙන් සැකසුන ‘රෙගේ’ නම් නව සංගීත ආරෙහි පුරෝගාමියා ලෙස සැලකේ. ඒ, ඔහුගේ සුවිශේෂ ගායන සහ ගීත රචනා විලාසය හේතුවෙනි.

 1963 දී සිය වෘත්තීය සංගීත දිවිය ආරම්භ කළ බොබ් මාර්ලේ, පීටර් ටෝෂ් සහ බනී වයිලර් සමඟ එක්ව ‘වයිලර්ස්’ සංගීත කණ්ඩායම පිහිටුවා 1965 දී ‘ද වයිලිං වේලර්ස්’ නම් ඔවුන්ගේ මංගල සංගීත ඇල්බමය එළිදැක්වී ය. එහි ඇතුළත් ‘පීපල් ගෙට් රෙඩි’ ගීතයේ ප‍්‍රතිනිර්මාණයක් වන ‘වන් ලව්’ ගීතය ලොව පුරා අතිශය ජනප‍්‍රියත්වයට පත්වූ අතර, ඉන්පසුව තවත් සංගීත ඇල්බම එකොළහක් නිකුත් කිරීමට ඔවුහු කටයුතු කළෝ ය. මුල දී ඔවුන් ඝෝෂාකාරී සංගීත භාණ්ඩ සහ ගායන ශෛලියක් භාවිත කළ නමුත්, 1960 දශකයේ අගභාගයේ සහ 1970 දශකයේ මුල් භාගයේ දී රිද්මය පදනම් කරගත් ගීත ගොඩනැගීමට ඔවුහු ප‍්‍රවිෂ්ට වූ හ.

 බොබ් මාර්ලේ 1966 පෙබරවාරි 10 වැනිදා ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි දී ඇල්ෆරිටා කොන්ස්ටන්ටියා රීටා ඇන්ඩර්සන් සමඟ විවාහ දිවියට සම්ප‍්‍රාප්ත වී ය. මාර්ලේට දරුවන් බොහෝදෙනෙක් සිටිය හ. ඔහුගේ නිල වෙබ් අඩවියට අනුව එම ගණන ළමුන් 11 දෙනෙකි. එයින් හතර දෙනෙක් තම බිරිඳ රීටාගෙන් ඔහුට උරුම වී තිබුණු අතර, දෙදෙනකු රීටාගේ පෙර සබඳතාවලින් ඇයට හිමිව තිබිණි. අනෙක් දරුවන් විවිධ කාන්තාවන් සමඟ බොබ් මාර්ලේ පැවැත්වූ සබඳතාවල ප‍්‍රතිඵල ය. වඩාත් ප‍්‍රසිද්ධ ඔහුගේ දරුවන් අතර ගායක සිගී මාලේ, සංගීතඥ ස්ටීවන් මාලේ, පාපන්දු ක‍්‍රීඩක රොහාන් මාලේ, ගායක ජූලියන් මාලේ සහ රෙගේ කලාකරු ඬේමියන් මාලේ යන අය සිටිති.

 බොබ් මාර්ලේගේ සංගීත කණ්ඩායම ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට පටන් ගැනීමෙන් පසු ඔවුහු, ‘කැච් අ ෆයර්’ සහ ‘බර්නින්’ යන සංගීත ඇල්බම දෙක 1973 දීත්, ‘නෝටි ඩ්‍රේඞ්’ සංගීත ඇල්බමය 1974 දීත් එළිදැක්වීමට කටයුතු කළහ. එම ඇල්බම සහ 1975 දී ජනගත කළ එරික් ක්ලැප්ටන් විසින් රචිත ‘අයි ෂොට් ද ෂෙරිෆ්’ ගීතයත් ලොව පුරා රසිකයන් අතර අතිශය ජනප‍්‍රියත්වයට පත්වී ය. බොබි මාර්ලේ ජැමෙයිකාවෙන් පිටත දී ලබාගත් ප‍්‍රථම ජාත්‍යන්තර ජයග‍්‍රහණය හිමිවන්නේ ‘නෝ වුමන් නෝ ක‍්‍රයි’ සජීවී ඇල්බමය නිකුත් කිරීමත් සමඟ ය. ඒ, 1976 ඔහු නිකුත් කළ ඔහුගේ ‘රස්ටමන් වයිබ්‍රේෂන්’ නම් පෙරළිකාර ඇල්බමය එක්සත් ජනපදයේ ‘බිල්බෝඞ් සෝල් චාට්’ හි ඉහළම ගීත ඇල්බම 50 අතරට එකතුවීම හේතුවෙනි. එම ඇල්බමය නිකුත් වී මාස කිහිපයකට පසු බොබ් මාර්ලේ තම නිවස තුළ දී එල්ලවූ ඝාතන තැතකින් දිවි ගලවා ගන්නට සමත් වන අතර, එය දේශපාලනික ප‍්‍රහාරයක් ලෙස සැලකේ.

 ජැමෙයිකානු අගමැති මයිකල් මැන්ලි විසින් සංවිධානය කරන ලද නිදහස් ප‍්‍රසංගයකට දින දෙකකට පෙර එනම්, 1976 දෙසැම්බර් 3 වැනි දින නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද එම ප‍්‍රහාරයෙන් බොබ් මාර්ලේ, ඔහුගේ බිරිඳ රීටා සහ කළමනාකරු ඩොන් ටේලර්, මාර්ලේගේ නිවස තුළ දී තුවාල ලැබූ හ. බොබ් මාර්ලේගේ පපුවට සහ අතකට සුළු තුවාල සිදුවී ය. ස්ථිරව ම ලන්ඩනයට යෑමට එම ඝාතන තැත ඔහුව පොළඹවන ලද අතර, ලන්ඩනයේ ගතකළ කාලය තුළ ඔහුට එක් නිර්මාණයකට වඩා කරන්නට දෛවය ඉඩ ලබා නොදුන්නේ ය. එහි දී නිකුත් කළ ‘එක්සඩස්’ (1977) නම් එක ම එක සංගීත ඇල්බමයෙන් අනතුරුව ඔහුට දරුණු පිළිකා රෝගයකට ගොදුරු වන්නට සිදුවී ය.

 මාර්ලේගේ ඇඟිල්ලක නිය යට මාරාන්තික මෙලනෝමාවක් ඇති බව 1977 ජූලි මාසයේ දී හඳුනා ගැනුණ ද, ඔහු තුළ පැවැති ආගමික විශ්වාසයන් හේතුවෙන් එම ඇඟිල්ල කපා දැමීමට ඔහුගේ වෛද්‍යවරුන් ලබාදුන් උපදෙස් ඔහු ප‍්‍රතික්ෂේප කළේ ය. නියපොත්ත ඉවත් කර ආවරණයක් ලෙස සම බද්ධ කිරීමක් සිදුකළ ද, 1980 වනවිට එම පිළිකාව ඔහුගේ ශරීරය පුරා පැතිර ගියේ ය. ඔහුගේ තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ, ඔහු ජර්මනියේ සිට ජැමෙයිකාව බලා පියාසර කරමින් සිටිය දී ය. මියාමි වෙත ගොඩ බැසීමෙන් අනතුරුව, 1981 මැයි 11 වන දින ඔහු සදහට ම දෙනෙත පියාගත්තේ ලොව පුරා සුවහසක් රසිකයන් සෝ සයුරේ ගිල්වමිනි. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 36කි.

 ලොව පුරා සිටින ඔහුගේ රසිකයන් ඔහුගේ අභාවයෙන් දැඩි සේ ශෝක වූ අතර, ජැමෙයිකානු රජය ඔහුගේ අවමංගල උත්සවය රාජ්‍ය ගෞරව සහිතව සිදුකළේ ය. ඔහුගේ අභාවයෙන් පසුව 1984 දී නිකුත් කරන ලද ‘ලෙජන්ඞ්ස්’ සංගීත ඇල්බමය බොහෝ සේ ජනප‍්‍රියත්වයට පත්වූ අතර, එය මෙතෙක් වැඩියෙන් ම අලෙවි වූ ‘රෙගේ’ ඇල්බමය බවට ද පත් වී ය.

 බොබ් මාර්ලේගේ ගීත ඇල්බම ලොව පුරා මිලියන 75කට වඩා වැඩි ප‍්‍රමාණයක් අලෙවි වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, සෑම කාලයකම වැඩියෙන්ම අලෙවි වන සංගීතඥයන්ගෙන් කෙනෙකු ලෙස ඔහු ශ්‍රේණිගත කර තිබේ. ඔහුගේ මරණයෙන් පසු ජැමෙයිකානු ජාතිකයන් විසින් එරට කලාකරුවෙකුට ලබාදෙන ඉහළම ගෞරවය ඔහුට ලබාදෙන ලද අතර, රොක් සංගීතයේ ඉතිහාසය සහ එහි වර්ධනයට බලපෑම් කරන ලද කලාකරුවන්, නිෂ්පාදකයන්, ඉංජිනේරුවන් සහ අනෙකුත් කැපී පෙනෙන පුද්ගලයන් ලේඛනගත කර ඇති එක්සත් ජනපදයේ ඔහියෝ ප‍්‍රාන්තයේ ක්ලීව්ලන්ඞ්  නගරයේ පිහිටි ‘රොක් ඇන්ඞ් රෝල් හෝල් ඔෆ් ෆෙම්’  කෞතුකාගාරයට 1994 දී ඔහුගේ තොරතුරු ඇතුළත් කර තිබේ.

 එසේම, කැලිෆෝනියාවේ සැන් ෆ්රැුන්සිස්කෝ හි ප‍්‍රකාශකයකු වන ජැන් වෙන්නර් සහ සංගීත විචාරකයෙකු වන රැුල්ෆ් ජේ. ග්ලීසන් විසින් 1967 දී ආරම්භ කරන ලද සංගීතය, දේශපාලනය සහ ජනප‍්‍රිය සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කරන ‘රෝලිං ස්ටෝන්’ නම් ඇමෙරිකානු මාසික සඟරාව සර්වකාලීන ශ්‍රේෂ්ඨතම කලාකරුවන් සියලූ දෙනාගේ ලැයිස්තුවේ අංක 11 ලෙස බොබ් මාර්ලේ ශ්‍රේණිගත කර තිබේ.

 ඔහුගේ මරණයෙන් වසර 40කට පසුව ද ‘බොබ් මාර්ලේ උරුමය’ මිලියන ගණනක ධනස්කන්ධයක් උපයා ගෙන තිබේ. මෑතක දී ‘ෆෝබ්ස්’ සඟරාව නිකුත් කළ වාර්තාවකට අනුව, ගෝලීය වශයෙන් ඉහළම ආදායම් ලබන මියගිය කීර්තිමත් පුද්ගලයන් දහදෙනා අතරට බොබ් මාර්ලේ ද ඇතුළත් කර තිබේ. එම ලැයිස්තුවේ අටවැනි ස්ථානයට ඔහු පත්ව සිටින අතර, ඔහුගේ ඇස්තමේන්තුගත වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 14 කි. එම සඟරාව පවසන පරිදි මෙම ඉපැයීම්වලින් වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබෙන්නේ ඔහුගේ සංගීත ප‍්‍රවාහවලිනි. ෆෝබ්ස් සඟරාව තවදුරටත් පෙන්වා දී ඇත්තේ, ‘හවුස් ඔෆ් මාර්ලේ’ ආයතනය විසින් නිපදවා අලෙවි කරනු ලබන ඔහුගේ නම සහ ඔහුගේ රූපයෙන් සරසන ලද ශබ්ද විකාශන, බ්ලූටූත්, හෙඞ්ෆෝන්, ටී -ෂර්ට් සහ ලයිටර් වැනි භාණ්ඩවලින් පමණක් වාර්ෂිකව ඔහුගේ භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 3 කට වඩා එකතු වන බව යි.

 ඔහු නමින් පිහිටුවා ඇති ‘බොබ් මාර්ලේ පදනම’ ස්වාධීන, ලාභ නොලබන සංවිධානයක් වන අතර, එය ගෞරවනීය රොබට් නෙස්ටා මාර්ලේගේ මූලික වටිනාකම් පිළිබිඹු කරමින් අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය සහ තිරසාර ප‍්‍රජා සංවර්ධනය හරහා සමාජ මැදිහත්වීම් ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරයි.

 ඔහු පිළිබඳ සදාදරණීය මතකය අඛණ්ඩව පවත්වා ගෙන යෑමටත්, ඔහුට ගෞරව කිරීමටත්, ඔහුගේ කාලය තුළ ඔහුට මග පෙන්වූ සහ ඔහු ප‍්‍රබෝධමත් කළ අධ්‍යාත්මික, සංස්කෘතික, සමාජීය සහ සංගීත පරමාදර්ශ සහ අරමුණු චිරස්ථායී කිරීම සඳහා වන පරිත්‍යාගශීලී සහයෝගය ‘බොබ් මාර්ලේ පදනම’ හරහා මාර්ලේ පවුලේ සාමාජික සාමාජිකාවෝ නොකඩවා ලබාදෙමින් සිටිති.

 ලොව අවදානමට ලක්වන සියලූම ජාතිකත්වයන්ට, වයස් කාණ්ඩවලට සහ ආගමික කාණ්ඩවලට අයත් මිනිසුන් ගැන සිය සංගීත නිරූපණයන් මගින් බොබ් මාර්ලේ සෑමවිට ම අවධානය යොමුකළේ ය. ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ද අභිප‍්‍රාය වන්නේ ගෞරවනීය රොබට් නෙස්ටා මාර්ලේගේ එම දැක්ම සපුරාලීම යි. එබැවින්, මෙම පදනමේ දැක්ම වන්නේ, පේ‍්‍රමය සහ සහෝදරත්වය තුළින් අවශ්‍යතා ඇති අය වෙත ළඟා වන අතර ම, දරිද්‍රතාවයෙන් මිදීම සඳහා ඔවුනට මග පෙන්වීම යි.

 ස්ටෙෆන්, සෙඩෙලා සහ ස්කිප් මාර්ලේ ඇතුළු එම පවුලේ සාමාජිකයන්, කොවිඞ්-19 නිසා පීඩාවට පත් වූ ළමුන් සඳහා සිදුකරන ‘යුනිසෙෆ්’ සංවිධානයේ වැඩකටයුතුවලට සහාය වීම පිණිස දිවංගත බොබ් මාර්ලේගේ සංකේතාත්මක ගීතය වන ‘වන් ලව්’ ගීතයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද අනුවාදයක් මේ වනවිට දියත් කර තිබේ.

 තම පියා ‘වන් ලව්’ ගීතය රචනා කර ඇත්තේ ලෝකය බෙහෙවින් බෙදී ඇති මොහොතක ගෝලීය සහයෝගීතාව සඳහා වන කැඳවීමක් ලෙස වුව ද, අපට මෙම වෛරසය පරාජය කර, අපගේ දරුවන් ආරක්ෂා කර, ලෝකය වඩාත් සාධාරණ හා සමාන ස්ථානයක් බවට පත් කළ හැක්කේ, එකම ආදරයක් සහ එකම හදවතකින් එකමුතු වීමෙන් පමණකි යනුවෙන් පෙන්නා දෙන සෙඩෙලා මාර්ලේ දියණිය ලෝකය පුරා ම දරුවන් සහ ඔවුන්ගේ පවුල් දුක් විඳින බවත්, ඔවුන් ජීවත් වන්නේ සරණාගත කඳවුරුවල හෝ මුඩුක්කුවල බවත්, ඔවුනට සෞඛ්‍ය සේවා හෝ අධ්‍යාපන පහසුකම් නොමැති බවත්, ඔවුන් තම ජාතිය, ආගම, වාර්ගිකත්වය හෝ ස්ත‍්‍රී පුරුෂ භාවය නිසා අසාධාරණයට ලක්වන බවත් පවසන්නී ය. මෙම ගීතය එළිදැක්වීමේ තම අරමුණ වන්නේ සියලූම දරුවන් ගැන සිතන ලෝකයක් නැවත බිහිකිරීම බව පවසන ඇය තම පියා අදහස් කළ ආකාරයටම ඔවුන්ට සමානව සැලකීම ඔවුන් සියල්ලන්ගේ ම අභිප‍්‍රාය බව ද පවසන්නී ය.

 ඒ අනුව, මාර්ලේගේ අභාවයෙන් වසර හතළිහකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් ලොව පුරා සුවහසක් සංගීත රසික රසිකාවන්ගේ නොමඳ ආදරයට බඳුන්ව සිටින බොබ් මාර්ලේ කලාකරුවා සංගීතයට, ගායනයට මෙන්ම, ගීත රචනා කලාවට ද දැක්වූ සුවිශේෂ දායකත්වය තවත් බොහෝ කලක් යන තෙක් ලොව පුරා ඔහුගේ සුවහසක් රසික රසිකාවන් කුල්මත් කරනු ඇත. එසේ ම, ‘බොබ් මාර්ලේ පදනම’ මගින් නොකඩවා සිදුකරනු ලබන විවිධ සමාජ සත්කාරයන් හේතුවෙන් හෙට දවසේ ද ලොව පුරා පීඩිතයන් සුවහසකගේ ජීවිත ආලෝකවත් වනු ඇත.

 * අනුර බී. සෙනෙවිරත්න
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment