සංගීතයට පෙම් බැඳි පොලීසියේ වෛද්‍යවරයා…. ප‍්‍රභාත් ද සිල්වා

279

මම සංගීතයට ආවේ අහම්බයෙන්

මෙරට ආරක්‍ෂක අංශයේත් සෞඛ්‍ය අංශයේත් නිලධාරීන් රාජකාරියෙන් ඔබ්බට යමින් ජනතා සුබසිද්ධිය උදෙසා දිවා රෑ නොබලමින් වෙහෙස වන කාලයක, කාර්යබහුලත්වය මැද වුවද කලාව අමතක නොකළ අපූරු මිනිසකු අපට හමුවිය. නමින් ප‍්‍රභාත් ද සිල්වා වන ඔහු වෘත්තියෙන් උප සේවා පොලිස් අධිකාරිවරයෙක් සහ වෛiවරයෙකි. ගීත ගායනයට පද රචනයට, වාදනයට උපන්හපන්කම් දක්වන වෛද්‍ය ප‍්‍රභාත් ද සිල්වා විශාරදවරයෙකි. වෛද්‍ය වෘත්තිකයකු සේම උපසේවා පොලිස් අධිකාරිවරයකු වන තුරුම වෛද්‍ය ප‍්‍රභාත් ද සිල්වා තමා තුළ සිටි කලාකරුවා හඳුනාගෙන සිටියේ නැත. මේ ක්‍ෂේත‍්‍ර තුනම එකට එක්වීමේ අවස්ථාව උදාකරගත් සැටි පවසමින් වෛi ප‍්‍රභාත් සිල්වා අප සමග පිළිසඳර ඇරඹුවේය.


 * උප සේවා පොලිස් අධිකාරීවරයෙක් හා වෛද්‍යවරයෙක් වන ඔබ කොහොමද සංගීත කලාවට යොමු වුණේ?

 මම සංගීතය කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කළ කෙනෙක් නෙමෙයි. පාසල් කාලයේ මම කලා විෂයක් විදිහට හැදෑරුවේ චිත‍්‍ර විෂය. නමුත් මට සහජයෙන්ම පියානෝව හා සර්පිනාව වාදනය කිරීමේ හැකියාව ලැබිලා තිබුණා. ඕනෑම ගීතයක් ශ‍්‍රවනය කරලා ඒකේ ස්වර පියානෝවෙන් හා සර්පිනාවෙන් වාදනය කරන්න මට හැකි වුණා. නමුත් මම ඒ සම්බන්ධව පන්තියකින් හෝ කිසිම තැනකින් ඉගෙන ගෙන නෑ. මම විශ්වාස කරනවා සංගීතය කියන්නේ මම උපතින්ම අරන් ආව අපූරු හැකියාවක් කියලා.

 * සහජයෙන් අරගෙන ආව වාදන හැකියාව කොහොමද ඔබව ගායකයෙක් කළේ?

 ඒක අහම්බයෙන් වුණු දෙයක්. මම 2008 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයෙක් විදිහට සේවයට එක් වුණා. ඒ කාලේ දරුණු ලෙසට යුද්ධය තිබුණ කාලයක්. මටත් සේවයට කන්කසන්තුරේ පොලිස් රෝහලට යන්න සිද්ධ වුණා.

 මේ කාලේ ජෙට්ලයිනර් නෞකාව නැංගුරම්ලා තිබුණේ රෝහල ආසන්නයේ. මේකේ දැඩි පීඩනයකින් හිටිය හමුදා සෙබළුන්ගේ මානසික සුවය උදෙසා යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම ගීත ගායනා කළා. මටත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න ඉඩක් ලැබුණා. එහිදී ගීත ගායනා කළා. හොඳ ප‍්‍රතිචාර ලැබුණා. හමුදා නිලධාරීන් පවා කීවා මට හොඳට ගීත ගායනා කරන්න හැකියාව තියෙනවා කියලා. මගේ ගායන ජීවිතයේ ආරම්භය පටන් ගත්තේ එතැනින්.

සංගීතයට පෙම් බැඳි පොලීසියේ වෛද්‍යවරයා.... ප‍්‍රභාත් ද සිල්වා

* අහම්බෙන් ගායනයට ප‍්‍රවේශ වුණු ඔබ පසුකාලීනවවත් ඒ කලාව ගැන වැඩිදුර ඉගෙන ගත්තේ නැද්ද?

 පස්සේ කාලෙක කොළඹ ආවට පස්සේ මම කසුන් කල්හාර කියන දක්‍ෂ ජනප‍්‍රිය ගායකයා යටතේ හඬ පුහුණුවීම්වල නිරත වුණා. මාස කිහිපයක්.

 * ඔබේ වදනෙන් ගීත රචනය සිද්ධ වෙන්නේ කසුන් කල්හාරගෙන් සංගීතය ඉගෙන ගන්න කාලෙද?

 මගේ වදනෙන් ගීත රචනය සිද්ධ වුණේ මම කන්කසන්තුරේ සේවය කරන කාලේදීමයි. මොකද වාදනයට, ගායනයට වගේම මට ගීත රචනයටත් හැකියාව තියනවා කියලා මම අවබෝධ කරගෙන හිටියා. සුළ`ග වගේ ඇවිදින් තමයි මගේ පෑනෙන් ලියැවුණු ගී පද රචනය. ඒ ගීතයට සංගීතය නිර්මාණය කළේ එච්. එම්. ජයවර්ධන මහතා. සංගීතය මෙහෙය වනු ලැබුවේ මහින්ද බණ්ඩාරයන් විසිනි.

 * මහින්ද බණ්ඩාරයන් හමුවීම ඔබේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා නේද?

 ඇත්තටම ඔව්. සුළ`ග වගේ ගීතය අහලා මහින්ද අයියා මට කීවා මම තවත් ගායනය, වාදනය සංගීතය ගැන ඉගෙන ගන්න ඕනෑ කියලා. විශාරද නිහාල් ගම්හේවා මහතා මට මුණගැස්සුවේ මහින්ද බණ්ඩාර ශූරීන් විසිනි.

 * විශාරද නිහාල් ගම්හේවා ඔබේ සංගීත ජීවිතයට, මුණගැසුණු අපූරු ගුරුවරයෙක්.

 මගේ සංගීත ජීවිතයට අවශ්‍ය ස්වර ගැන, තනු ගැන මට හැමදේම ඉගැන්වූයේ නිහාල් ගම්හේවා ගුරුතුමා තමයි. වසර හතරහමාරකට ආසන්න කාලයක් මම එතුමා යටතේ ඉගෙන ගත්තා. පස්සේ මම සංගීත විශාරදවරයෙක් බවට පත් වුණා.

 * ඒත් සම`ගම ඔබ තවත් ගීතයක් රචනා කළා නේද?

 ඔව්. ඒ තමයි මගේ සංගීත ජීවිතයේ සුවිශේෂීම ජයග‍්‍රහණය. මම ‘‘ආදර නිල් දෑස’’ නමින් මගේ දෙවැනි ගීතය රචනා කළා. නමුත් ඒක ජනප‍්‍රිය වුණේ’’ ඔබ නැතුව ඔබ එක්ක’’ නමින් මේ ගීතයට මම මියුසික් වීඩියෝ එකකුත් කළා. ගායනය, තනු නිර්මාණය, ගීත රචනය හා සංගීතය කියන හැම දේම කළේ මම. ඒ නිසා තමයි මේ ගීතය සුවිශේෂී නිර්මාණයක් ලෙස මම හැඳින් වූයේ.

 * කාර්යබහුල රාජකාරී ජීවිතයත් එක්ක සංගීත කටයුතුවලට ඉඩක් හොයා ගන්නේ කොහොමද?

 කොවිඞ් වසංගතයත් එක්ක මේ දවස්වල තවත් කාර්යබහුල වෙලා. නමුත් රාජකාරියයි කලා ජීවිතයයි කවදාවත් මම පටලගෙන වැඩ කරන්නේ නෑ. රාජකාරී ජීවිතයේ තියෙන පීඩනය මේ කලාව නිසා නැති කරගන්න හැකියාව තියෙනවා. අනික මේ මගේ සහජ හැකියාව, සහ මගේ විනෝදාංශය. ඒ නිසා මම කලාවට කොහොම හරි ඉඩක් හොයා ගන්නවා.

 * මේ දිනවල රාජකාරී කටයුතු ගැනත් මතක් කරමු

 කොවිඞ් නිසා වෙනදට වැඩිය කාර්යබහුල වෙලා. මේ දවස්වල නාරාහේන්පිට පොලිස් රෝහලේ රාජකාරී කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවට අනියුක්ත කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල රාජකාරී කටයුතු කරනවා.

 * ඔබේ කලා ජීවිතයට පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු

 මගේ බිරිඳ මගේ දරුවගේත් කටයුතු කරගෙන මගේ රාජකාරි ජීවිතයටත් කලා ජීවිතයටත් ඉඩ හදා ගන්න ලොකු සහයෝගයක් දෙනවා. මගේ බිරිඳ හා දරුවගෙන් ලැබෙන සහයෝගය මතක් කළ යුතුමයි.

 * ඉදිරියේ සංගීත කණ්ඩායමක් එහෙම පටන් ගන්න අදහසක් නැද්ද?

 ඇත්තටම මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ගීත තැටියක් එළිදක්වන්න. සංගීත කණ්ඩායමක් ගැන නම් හිතල නෑ. මම තවත් ගීතයක් රචනා කරලා තියෙන්නේ. ඒ ගීතයත් ඉදිරියේදී රසිකයන්ට අහන්න පුළුවන්. ඒ වගේම තවත් සංගීතය ගැන අධ්‍යයනය කරලා නව නිර්මාණ කිරීම තමයි බලාපොරොත්තුව.

නිරෝෂා වාසල
ඡායාරූප – යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment