සංගීතවේදී මහින්ද තිලකරත්න දැයෙන් සමුගනී

270

ප්‍රවීණ සංගීතවේදී මහින්ද තිලකරත්න මහතා ඊයේ (28 වැනිදා) අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ ගායන ශිල්පිනී ශ්‍රීමති තිලකරත්න මහත්මියගේ ආදර්ණීය ස්වාමිපුරුෂයා වූ මහින්ද තිලකරත්න මහතා මිය යනවිට 79 හැවිරිදි වියේ පසුවූ අතර පුතුන් දෙදෙනකුගේ හා එක් දියණියකගේ ආදරණීය පියාණන් විය.

ඒ මහතාගේ එක් පුතකු වන දිනංජ තිලකරත්න ටෙලිනාට්‍ය රචකයකු ලෙස කටයුතු කරන අතර අනෙක් පුතු වන දිමුතු සහ දියණිය ශ්‍රී මධු කැනඩාවේ වෙසෙති.

ඊයේ කළුබෝවිල නිවසේදී සැමියා තමා සමග පඩිපෙළෙන් පහළට බැසගත් අතර එහිදී එක්වරම ඔහු වාඩිවූ බවත් පසුව ඔහු මියගිය බවත් ගායන ශිල්පිනී ශ්‍රීමති තිලකරත්න මහත්මිය හැඬූ කඳුළින් ‘දිවයින’ට පැවසුවාය.

සැමියාට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකට පෙරේදා (27 වැනිදා) රාත්‍රි පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ගත් බවද ඇය කියා සිටියාය.

සංගීතවේදී මහින්ද තිලකරත්න මහතාගේ දේහය මේ වනවිට කළුබෝවිල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (30 වැනිදා) බ්‍රහස්පතින්දා සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

රූබි කරුණාගම සහ විල්බට් තිලකරත්න යුවළට දාව 1943 අප්‍රේල් 01 වැනිදා උපන් මහින්ද තිලකරත්න මහතා කොළඹ කේරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීය.

1959 දී කොච්චිකඩේ පල්ලියේ මංගල්‍යයේදී සංගීතඥ පැට්‍රි‍ක් දෙනිපිටියගේ ඇරයුමෙන් එච්. ආර්. ජෝතිපාලයන් ඔහුට මුණගැසී තිබේ. ඉන් පසුව 1977 වර්ෂය වනතුරුම ජෝතිපාලයන් සහ පුපි ස්මයිල් සමග එක්ව ඔහු ප්‍රසංග හා ප්‍රිය සම්භාෂණ සඳහා සංගීතය සැපයීය.

තනු රචකයකු ද වන ඔහු ගීත කීපයක් සඳහා තනු රචනා කර ඇත. ඔහුගේ එම දක්‍ෂතාවය කැපී පෙනුණේ සිය බිරිඳ වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රේමකීර්ති ද අල්විස් පද රචනා කළ ‘මුතුමැණික් එපා’ ‘වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා’, ‘ශ්‍රීමන්තියේ’ යන ගීත තුළිනි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාතෘ භූමි ප්‍රසංගයේදී සිය ජීවන සහකාරිය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී ශ්‍රීමතී තිලකරත්න හමුවූ අතර පසුව ඇය සමග ඔහු 1967 දී විවාහ දිවියට පත්විය.

තරුණ කලාකරුවන්ගේ සංසදය විසින් ශක්‍ත්‍ හදවතේ අවුරුදු උත්සවයේදී සුසමාදර්ශී තාරුණ්‍යයෙන් පිදෙන කෘතහස්ත කලාකරු අභිනන්දනයෙන් ඔහු පිදුම් ලැබීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment