සංචරණ සීමා මධ්‍යයේ සතොසෙන් ලක්‍ෂ 5 ක මත්පැන් පන්නලා

377

* මත්පැන් පැන්නූ පසු සුරාබදු මුද්‍රාවකුත් තබලා 

* පැමිණි පිරිස අතර හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම්ලාගත් කිහිපදෙනකුත්

හේමන්ත රන්දුණු, අනුර බාලසූරිය, මිහින්තලේ – රංග චතු

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර සතොස ආයතනයට ඇතුළු වී එහි මත්පැන් අලෙවිසල බලහත්කාරයෙන් විවෘත කරගෙන ඇති එක්තරා සංවිධානාත්මක පිරිසක් එහි තිබූ රුපියල් ලක්‍ෂ 05 ක් පමණ වටිනා මත්පැන් මුදල් ගෙවා රැගෙන ගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට ඊයේ (09 වැනිදා) දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වනතුරුත් අනුරාධපුර පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී නොතිබූ බවයි.

ආරංචි මාර්ග පවසන අන්දමට මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඉකුත් 07 වැනිදා සවස 5.00 ට පමණය.

නිරෝධායන නීතියට අනුව රටේ සියලූම මත්පැන් අලෙවිසල් සීල් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කර තිබිණි.

07 වැනිදා සවස අනුරාධපුර සතොස ආයතනයේ මත්පැන් අලෙවිසල වෙත සුරාබදු නිලධාරියකු යැයි කියාගන්නා පුද්ගලයකු සමඟ පැමිණි සංවිධානාත්මක පිරිසක් එහි සීල් කඩා එය විවෘත කරගෙන ඇත.

පසුව එහි තිබූ රුපියල් ලක්‍ෂ 5ක වටිනාකමෙන් යුත් විවිධ වර්ගයේ මත්පැන් බෝතල් සියයකට අධික ප‍්‍රමාණයක් මිලදී ගෙන තිබේ.

මෙම සංවිධානාත්මක පිරිස අතර යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු කීපදෙනෙකුද සිට ඇත.

පසුව සුරාබදු නිලධාරියා යැයි කියා ගත් පුද්ගලයා සතොස ආයතනයේ මත්පැන්හලට නැවත සීල් තබා මත්පැන් තොගය ද රැගෙන ගොස් තිබේ.

රටපුරා මත්පැන් අලෙවිසල් සීල්කර තිබියදී අනුරාධපුර සතොස ආයතනයේ මත්පැන් අලෙවිසල බලහත්කාරයෙන් විවෘත කරගෙන එහි මත්පැන් ලබා ගත්තේ කව්රුන් විසින් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

සතොස ආයතනයේ සේවකයන් පවසන්නේ මීට පෙර ද අවස්ථා කීපයකදීම මේ ආකාරයට මත්පැන් අලෙවිසල විවෘත කර මත්පැන් තොග පිටින් රැගෙන ගොස් ඇති බවයි.

මේ දිනවල රජයේ මත්පැන් බෝතලයක් රුපියල් 4000/ 5000 අතර මුදලකට ජාවාරම්කරුවන් අලෙවි කරනා බවත් ජාවාරම්කරුවන් කිහිපදෙනකුට මත්පැන් බෙදී යන්නට ඇති බව එහි සේවකයන් පවසති.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර සුරාබදු කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ ගල්නෑව ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 250 ක ප‍්‍රමාණයක් නිකුත් කර ඇති බවයි. මත්පැන් බෝතල් 900 කට වඩා නිකුත් කළ බව කියන සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බව කාර්යාලය පැවසුවේය.

පරීක්‍ෂණ සිදුකරන අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඊයේ (09 දා* සතොස සුරාසැලට කිසිදු සේවකයකුට ඇතුළුවීමට නොහැකි වන අන්දමින් ආරක්‍ෂාව යෙදවූ අතර වෙළෙඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු කොළඹ සිට පැමිණිල්ල සඳහා පැමිණෙනතුරු මත්පැන් බෝතල් කොපමණ අලෙවිකර ඇත් ද, කොපමණ මුදලක් සේප්පුවේ ඇද්ද යන්න සම්බන්ධ කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකළ හැකි බව පරීක්‍ෂණ සිදුකරන උසස් නිලධාරියකු පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment