සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?

672

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දින කැබිනට් මණ්ඩලය හමුවකදී මෙසේ පැවසුවේය ‘‘ස්කුපොයි ප්ලාතිත් ද්වාෂ්දි” එහි අර්ථය ”මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්නයි. එම රුසියානු ප‍්‍රස්ථා පිරුළු අද හො`දින් ගැළපෙන්නේ, සංචාරක ප‍්‍රධානියාගේ මසුරුකම නිසා අද සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට අසාධාරණ ලෙස සිදුවන පාඩුව පිළිබඳවයි.

ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක‍්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය. එහිදී සංචාරකයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය පහසු විය යුතු බව අවධාරණය කළේය. අද රුසියානුවන් ස`දහා සංචාරක වීසා බලපත‍්‍රයක් ලබා ගැනීමට අයැදුම්පත් දෙකක්ම පුරවා PCR දෙකකට ඩොලර් 80 ක මුදලක් කලින්ම ගෙවා, පසුව වීසා ගාස්තු වශයෙන් ඩොලර් 35 ක ගෙවීමක් සිදුකර අන්තිමට වීසා නිකුත් කිරීමට දින 3 – 5 ක් අතර කාලයක් ගත වීමෙන් ඔප්පු වෙන්නේ තමන්ගේ වාසියට සැලසුම් සහගතව රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර ගැසීමට යම් හස්තයක් ක‍්‍රියාත්මක වන බවයි. එය සනාථ කරමින් වසර ගණනාවක් පුරාම පැමිණෙන රුසියානු සංචාරකයන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ ONLINE වීසා, ON ARRIVAL වීසා පවා සරලව ලබා නොදීමෙන් පෙනීයන්නේ කොරෝනා වසංගතය මුවාවෙන්, සංචාරක ක්ෂේත‍්‍රය හැසිරීවීමට රාජ්‍ය තාක්ෂණික යාන්ත‍්‍රණයක් නිර්මාණය වෙමින් පවතින බවය. එවැනි හස්තයක් නිසා අත්‍යවශ්‍ය මොහොතේ රටට ගලා එන විදේශ විනිමය ආරක්ෂා කරගැනීම පිළිබඳ අවිනිශ්චිත භාවයක් ඇතිවීමයි.

රුසියානු සමූහාණ්ඩුව ඇතුළු පැරණි සෝවියට් රටවල් වලින් අද පැමිණෙන සංචාරකයන් මෙහිදී මුලින්ම උදාහරණයට ගැනීමට බලාපොරොත්තු වෙමි. එහිදී ව්ලැඞ්මියර් ලෙනින් ගේ නායකත්වයෙන් කම්කරු එකතුවෙන් සිදුවූ ඔක්තෝබර් විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස රුසියානු සාර් අධිරාජ්‍යය අවසන්කර සාන්ත පීතර් බර්ග් නගරයේ දී 1917 වර්ෂයේ දී එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය බිහිවූ බව මතක් කළ යුතුය. එදා ලෝකයෙන් 1/6 භූමියක් හිමි සෝවියට් දේශය නිර්මාණ වූයේ ප‍්‍රාන්ත 15 ක් එකට එකතු කරමින්ය. පසුකාලීනව එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ මූලිකත්වයෙන්, 1957 පෙබරවාරි මාසයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මොස්කව් නුවර ආරම්භ කරන ලදී. එහි පළමු තානාපති ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකර පත්වූ අතර දැනට මා ඇතුළුව තානාපතිවරුන් විසි දෙනෙක්ම එහි සේවය කර ඇත. එකළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සෝවියට් මිත‍්‍ර සංගමය සමග පැවතුණු කිට්ටු සම්බන්ධය මෙන්ම වර්ෂ 1963 හා 1974 දී දෙරට අතර සිදුවූ රාජ්‍යතාන්ත‍්‍රික සංචාර පිළිබඳව මෙන්ම ලොව පළමු අභ්‍යවකාශගාමී යුරි ගගාරින් (1961) හා පළමු කාන්තා අභ්‍යවකාශගාමි වැලෑන්තින් තෙරෙස්කොව (1963) යන අයගේ ලංකා ගමනය ද සිහිපත් කළ යුතුය.

එදා ලංකාවට පැමිණි සංචාරකයන් පිළිබඳ නිසි දත්ත නොමැති වුවත් ඉන්ටුරිස් හා ස්පුත්නික් යන රාජ්‍ය ආයතන හරහා සුළු සංචාරක පිරිසක් අප රටට පැමිණියේය. ඊට සමගාමීව ලූලූම්බා මිත‍්‍රත්වය විශ්වවිද්‍යාලයේ ලාංකික දරුවන්ට 1960 සිට ලැබුණු ශිෂ්‍යත්ව නිසාම 1963 වර්ෂයේ දී සෝවියට් එරෆ්ලොට් ගුවන් ගමන් ෂඛ-18 රුසියානු ගුවන් යානාවකින් ආරම්භ විය. පසුව 2000 වර්ෂයේ සිට ෂඛ-18 ගුවන් යානාවක් රත්මලාන ගුවන් තොටුපළේ ගුවන්ගමන් ස`දහා භාවිතා විය. ඇත්තටම මෑත කාලයේදී රුසියාවේ ලියාපදිංචි ”කොනේශාන්” හා ”මල්දිවියානා” යන ලාංකික ආයතන දෙක රුසියානුවන් ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන ලදී.

රුසියාවේ තානාපතිවරයා ලෙස 2006 වර්ෂයේ දී මා පත්වී පැමිණියාට පසුව ශ‍්‍රී ලංකාවට රුසියානුවන්ගේ පැමිණීම 28 ගුණයකින් වැඩි කිරීමට මා සමත් වූවෙමි. එසේම එම කාලයේදී රාජ්‍යයන් අතර අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් ප‍්‍රමාණය 35 ක් පමණ විය. ඒ අතර 1960 පසුච, 2011 වර්ෂයේ දී මා විසින් අත්සන් කරන ලද දෙරට අතර නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම ප‍්‍රයෝජනයට ගෙන ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම මොස්කව් නගරය බලා ඍජු ගමන් 2011 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී. ඇත්තටම 1957 වර්ෂයේ දී දෙරටේ තානාපති සබ`දතාවන් ආරම්භයෙන් පසුව අපගේ ජාතික ගුවන් සමාගම මොස්කව් නගරයට පැමිණියේ එදා පළවෙනි වතාවටය. අප 2011 අගෝස්තු 03 දින පළමු වරට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යාලයක් ආරම්භ කිරීම ද රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට ඍජු ගුවන්ගමන් හේතු සාදකයක් විය. එසේ 80% ගුවන් යානාවට මගීන් සාර්ථකව පිරවීම සිදුකර ඇති මොහොතක දී, අපෙන් දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණෙන් 2015 මාර්තු සිට එම ශ‍්‍රීලන්කන් ගුවන්ගමන් යහපාලන රජය විසින් නතර නොකළා නම් අද රුසියානු සංචාරකයන් ලක්ෂ අටකට ආසන්න ප‍්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට පැමිණීමට තිබුණි.

එදා යහපාලන නඩය ලබාදුන් අමිහිරි අත්දැකීම් ඉතිහාසයට එකතු කරමින්, කොරෝනා වසංගතය ලොවම දණගස්වා ඇති වාතාවරණයක වුවද ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම රුසියාවට නැවතත් ඍජු ගුවන් ගමන් ආරම්භ කළේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත, රටෙහි සංචාරක කර්මාන්තයට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්ය. ඒ අනුව ශ‍්‍රීලංකන් ගුවන් සේවයේ ඒ-330 ගුවන් යානාව අගෝස්තු 01 දා සංචාරකයන් 30 ක් රැගෙන මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වසර 6 කට පසු නැවතත් ආරම්භ විය. එසේ රුසියානු සංචාරක බුබුළ සාර්ථක කරගැනීමේ මාගේ අභියෝගයට ජනාධිපතිතුමා මෙන්ම ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමාගේ ලැබුණු සහයෝගයට සංචාරක ව්‍යාපාරයේ නියුතු සියලූ දෙනාම වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිය පලකළ යුතුය. මෙහිදී මොස්කව් කොළඹ ගුවන් ගමන් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුවට සාපේක්ෂව රුසියානු වෙළෙදපොළට සරිලන සේ වෙනස් කළ යුතු බව පැහැදිලි කිරීමෙන් පසු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි රුසියානු සංචාරක ඒජන්සිවලට පමණක් අගෝස්තු 05 සිට ඔක්තෝබර් 31 තෙක් වලංගු වන පරිදි විශේෂ වට්ටම් ගාස්තුවක් යටතේ BUY ONE - GET ONE පැකේජයක් හදුන්වා දීම, මේ මොහොතේ ලාංකික සංචාරක කර්මාන්තයට රජය ලබාදුන් විශාල සහයෝගයක් බව කිව යුතුය. ඇත්තටම එවැනි අඩු ගුවන් ටිකට්පත් ගාස්තුවක් කිසිදු දිනයකදී ශ‍්‍රී ලන්කන් ලබා දී නැති වුවත් ඒ හරහා රටට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේදී ඉතා වදගත්ය. මෙසේ කොරෝනා හේතු කොට ගෙන, මූල්‍ය ශක්තියෙන් පහළට වැටී සිටින මොහොතක රටක ආර්ථීක මර්මස්ථානය ශක්තිමත් කිරීමට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිගේ පියවර, රට විවෘත නොකර ආර්ථිකය කඩාවැටෙන තෙක් බලාසිටින බලධාරීන්ට මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රය තමන්ගේම බූදලයක් සේ තමන්ට අවශ්‍ය ලෙස හැසිරවීමට උත්සාහ ගන්නා වූ බලධාරීන්ට ඉතා හො`ද ආදර්ශයක් විය යුතුය.

අද ක‍්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත් වීම නිසා සංචාරක හෝටල් සේවකයන්ගෙන් 90% කටම වැඩි ප‍්‍රමාණයකට කොරෝනා එන්නත ලබා දී හමාරයි. විදේශිකයන් පමණක් පැමිණිය හැකි ”පළමු පෙළ හෝටල” වල එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් සේවකයන් පමණක් නොව සංචාරකයන් ද සැකයකින් තොරව හෝටල්වල ලැගුම්ගත හැකි බව පවසයි. ඇත්තටම බොහෝ රටවල්වලට තමන්ගේ ජනතාවට එක එන්නතක්වත් දීගන්න බැරුව ඉන්න කොට අපි සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට මේ වන කොට එක් එන්නතක් හෝ ලබාදීමට කටයුතු කරලා තිබීම ගැන ආඩම්බර විය යුතුය.

සංචාරකයන් ලංකාවේ ආකර්ශන ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට චාරිකා සූදානම් කිරීමට එදා කිසිදු අවසරයක් අවශ්‍ය නොවුනත් අද සංචාරක මණ්ඩලයට දින 2ක් කලින්ම එම සංචාරක චාරිකාව පිළිබඳ සියලූම තොරතුරු ලබා දී එයට අනුමැතිය ලබාගැනීමට නීති සකස් කිරීම නිසා පෙනී යන්නේ රජය අනවශ්‍ය ලෙස පුද්ගලික අංශයේ කටයුතුවලට මැදිහත් වීමක් සිදුවන බවයි. එවැනි අද්භූත හස්තයන්ගේ බලය ශුන්‍යකර, නොපමාව රජය විසින් ගතයුතු විසදුම වන්නේ දින 14ක් හෝටල් තුළ සිර නොකර, නිරෝධායන කාලය දින 3කට හෝ අඩුකර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රට තුළ ඇතිකිරීමය. ඇත්තටම අප පිළිගත යුතු යථාර්ථය නම් රුසියානු හෝ යුක්රේන් සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් දින 10 ක කාලයකටය. එසේ ලංකාවට පැමිණ හෝටලයකට වී සිරගතව සිටීමට සංචාරකයකුට අවශ්‍යතාවයක් නැත. ඒවා සංචාරකයන්ට ශ‍්‍රී ලංකාව එපා කරවීමට සිදු කරන දේවල් විනා, එය සංචාරක ව්‍යාපාරය ඔසවා තැබීමේ උපාය මාර්ග ලෙස සැලකිය හැකි නොවේ. අද රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර දෙන මෙවන් රීතියන් නිසාම මෙතෙක් කිසිදු ගුවන් යානාවක් එසේ සංචාරකයන් රැගෙනවිත් නැති නමුත් ”සංචාරක බුබුළ” යටතේ අප රටට ගුවන් යානා 39 ක් ඉතා සාර්ථකව ගෙන්වා ඇති බලධාරීන්ට මතක්කර සිටිමු. එහි සාර්ථකත්වය උපයෝගී කර ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සමගින් පසුගිය දින මොස්කව් සිට සංචාරකයන් 30 ක් පමණක් රැගෙන ඒමට සිදුවූයේ ද එසේම මෙම 08 වෙනිදා රුසියානුවන් 25ක් පැමිණෙන්නේ ද මෙම දින 14ක නිරෝධායන කාලයට ඔහුන්ගේ අකමැත්ත නිසාමයි. එසේ නමුත් රුසියානුවන් වසරකට මිලියන 20 පමණ එතෙර සංචාරය කරයි.

අපි සංචාරකයන් හට පැමිණීමට නොයෙක් බධා පනවා ඇති බැවින් ලංකාවට පළමු මාස 7ක් තුළ පැමිණ ඇත්තේ 17,700 ආසන්න ප‍්‍රමාණයකි. එම කාලයේදී මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණ ඇත. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසකස්තානු සංචාරකයන් සමස්ථයෙන් 32% කි. ඇත්තෙන්ම එසේ මාලදිවයිනට සංචාරකයන් පැමිණීමට හේතුව එරට බලධාරීන් විසින් සංචාරකයන් ස`දහා හිතකාමී සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබාදීමය. එමෙන්ම ලාංකික සංචාරක කර්මාන්තයේ නියුතු ශ‍්‍රමිකයන් අභියෝග, අවදානම්වලට මුහුණ දීමට ඇති අලසකම බව ද කිව යුතුය.

2019 වර්ෂයේ දී සංචාරකයන් මිලියන 39.9 පැමිණි තායිලන්තය එන්නත් දෙකම සම්පූර්ණ කළ සංචාරකයන් ස`දහා නිරෝධායනයෙන් තොරව පූකට් (Phuket) වෙරළ තීරයේ නිදහස භූක්ති විඳීමට එරට බලධාරීන් ජූලි 01 දා සිට අවසරය දුන්නේය. එසේ නමුත් පසුගිය මාසයේ දී සංචාරකයන් එරට පැමිණ ඇත්තේ 14,055 වැනි සුළු පිරිසකි. ඒ අතර බහුතරය රුසියානුවන් නොවන බැවින් අපටත් එන්නත් දෙකම සම්පූර්ණ කළ සංචාරකයන් පැමිණීමට අවකාශය ඉතා අඩු බව බලධාරීන් තේරුම් ගතයුතුය. එසේම සංචාරකයන් නිරෝධායනයෙන් තොරව නිදහස් රටවලට පමණක්ම සංචාරය කරන බව පැහැදිලිව පෙන්නුම්කරන රටවල් අතර 2019 වසරේදී මිලියන 13 ක් පැමිණි තුර්කිය හා 2019 වසරේදී මිලියන 24 ක් පැමිණි ඊජ්ප්තුව ප‍්‍රධාන තැනක් හිමිකර ගනී.

ඒ අතර නොයෙකුත් උපායයන් ක‍්‍රියාත්මක කරමින් විදේශිකයන්ට වසරකට වීසා ලබා දීමට මැතක දී සංචාරක මණ්ඩලයේ යෝජනාව ද කිසිසේත් සංචාරකයන් වෙනුවෙන් නොව බලධාරීන් පෝෂණය කරන එන්.ජී. ඕ. නඩ වලට මෙහි කඳවුරු ගසා ගැනීමට මෙන්ම සීපා ගිවිසුම හරහා ඉන්දියාවට අවශ්‍ය වූ සේවාවන් සරලව ලබාදීමක් බව වටහා ගැනීමට ලාංකික අපට අමාරු නැත. ඇත්තටම පසුගිය වසර ගණනක් පුරාම සංචාරකයන් සදහා මාසයක කාලයකට නිකුත් කළ සංචාරක වීසා බලපත‍්‍රය වෙනස් කිරීමට අනවශ්‍ය බව වැඩි පිරිසකගේ මතයයි. මන්ද යත් සැබැවින්ම සංචාරකයකු සති දෙකකට වඩා අප රටේ ගත කරන්නේ නැති බැවිනි. ඉඳහිට හෝ එවැන්නකු ගත කරන වැඩිම කාලය දින 21කි. අද අප රටෙහි මාස ගණනක් වසර ගණනක් රැදී සිටින බොහෝ විදේශිකයන් වෙනත් ව්‍යාපාරයක නිරත පුද්ගලයන් බව මෙම බලධාරීන් හො`දින්ම දනිති.

”මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්න අර්ථදැක්වෙන රුසියානු ජනාධිපතිගේ ප‍්‍රස්ථාපිරුළු සනාථ කරමින් අපේ සංචාරක ප‍්‍රධානියාගේ මසුරුකම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට ඉදිරියටත් සිදුවන පාඩුව නතර කිරීමට නම් රජයේ සාමූහික වගකීමක් ලෙස සලකා නිරෝධායන කාලය ඉවත්කර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රට තුළ සෑදිය යුතුය. එසේම අද අපේ සංචාරක හෝටල් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුවට සාපේක්ෂව රුසියානු වෙළෙ`දපොළට සරිලනසේ වෙනස් නොකළහොත් ලංකාවේ බහුතරයක් සංචාරක ප‍්‍රජාවට, ඔක්තෝබර් වලින් පටන් ගන්නා ශීත ඍතුවේදීද සුද්දන් පැමිණෙන තෙක් තවදුරටත් බලාසිටීමට සිදුවීම සැමටම කනගාටුදායක පුවතකි.

උදයංග වීරතුංග,
රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති

advertistmentadvertistment
advertistmentadvertistment