සංචාරකයන් බුරුතු පිටින් එන අට වන ලෝක පුදුමය යට මිනිස්සු තාමත් මැටි ගෙවල්වල

247

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් 80%ක් සීගිරියට යනවා…

අට වන ලෝක පුදුමය යට ජීවත් වන බහුතරයකට එදාවේල සොයාගැනීමට රස්සාවක් නෑ…

සීගිරි ගල නැරඹීමට විදේශීය සංචාරකයන්ගෙන් අය කරන මුදල ඩොලර් 30 යි. ඒත් ටොෆි කොලයක් දාන්න කසළ බඳුනක්වත් නෑ…

සීගිරිය නගරය රෑට පාළු පිට්ටනියක් වගෙයි සද්දෙට සින්දුවක්වත් දාන්න අවසර නෑ…

පැමිණෙන සංචාරකයන් රඳවාගන්න වැඩපිළිවෙළක් නැතිව සීගිරියේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ…

සීගිරිය ලෝක පුදුමවලින් එකකි. එහෙයින්ම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් 80% ක් සීගිරිය නැරඹීමට පැමිණෙන බව සැබෑය. සංචාරකයන් කොතෙකුත් පැමිණිය ද සීගිරි පර්වතය වටා ගම්මාන තවමත් දුප්පත්ය. නිදහසේ ජීවත්වීමට හරි හැටි නිවසක් ඇත්තේ එහෙමත් කෙනෙකුට පමණි. වී ගොවිතැන, බී ලූණු වගාව ජීවන වෘත්තීය කරගෙන ජීවිත ගැටගසාගෙන සිටින සීගිරි පර්වතය අවට ගම්වාසීන්ට එදාවේල සොයාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වන විට හදවත කම්පනයට පත් විය. එමෙන්ම ඇඳිරි වැටෙනකොට වල්අලි පාරට එන සීගිරිය ප්‍රධාන මාර්ගය හෝ ආලෝකවත් කිරීමට විදුලි බුබුලක් නොමැතිවීම ද පුදුමයකි. දියුණුවේ සේයාවක් හෝ නොපෙනෙන සීගිරියේ තවත් ගැටලු රාශියකි. එහෙයින් හදවත් කම්පනය කරවන, විටෙක පුදුම දනවන සීගිරි ගල පාමුල ගැටලු කන්දෙ නොඇසූ කතාව විමසා බැලීමට අපි සීගිරියට ගියෙමු.

දුරකතර ගෙවාගෙන සීගිරිය ගමට ගිය අපි ‘සීගිරි පර්වතය’ පාමුල පුංචි තේ කඩයක් අසළ නතර වීමු. සීගිරිය ගමේ මිනිසුන්ට සහ සීගිරිය නැරඹීමට යන සංචාරකයන්ට උදේ ආහාර ගැනීමට ඇති එකම තේ කඩේය. එය ද සුපිරි ආපන ශාලාවක් නොවේ. වියපත් යුවළක් පවත්වාගෙන යන ගමේ කෝපි කඩේ ය. සීගිරි ගල දෙස බලාගෙන මසල වඩයක් හපමින්, ඉඟුරු තේ එකක රස බලමින් සිටින විට කඩය ඇතුළතින් විදුලි බිල ගැන සංවාදයක් කණ වැකිණි. උදෑසන ආහාර ගනිමින් සිටි දෙතුන්දෙනෙක් අතරින් මතු වූ ඒ කතාබහ තුළ විදුලි බිල වැඩිවීමත් සමඟ සීගිරියේ මිනිසුන්ගේ ජීවන ගැටලු වැඩිවෙමින් තිබෙන ආකාරය ගැන විවිධ අදහස් පළ විය.

දුකම පමණක් උරුම වූ මිනිසුන් පීඩා විඳින ප්‍රශ්න ගැන ඇසෙන විට තේ කඩෙන් පිටමං වීමට සිත ඉඩ නොදිණි. එහෙත් අපගේ ඉලක්කය සීගිරියේ සංචාරක කර්මාන්තයේ ගැන සොයාබැලීමය. එහෙයින් අපි අකැමැත්තෙන් ගමේ කෝපි කඩෙන් පිටත් වී බූරු ඇඳන් කිහිපයක් තබා සීගිරියේ ප්‍රථම ලැගුම්හල ආරම්භ කළ ලයනල් ගුණසේකර සොයා ගියෙමු. සීගිරිය හන්දියේ රෙස්ටුරන්ට්, සම්බාහන මධ්‍යස්ථානවලට මැදිව පුංචියට විසිතුරු භාණ්ඩ අලෙවිසැලක් පවත්වාගෙන යන ඔහු ද දැන් වියපත්ය. පුරාවෘත්ත සීගිරියටම වයසට ගිය හේ කාශ්‍යප රජුගේ කතා වස්තුවෙන්ම පෙළගැසෙන කතාවට ප්‍රවිෂ්ට විය. එහෙත් අපි ඉතිහාසයෙන් මෑතට පැමිණ සීගිරියේ ප්‍රථම ලැගුම්හලේ ආරම්භයෙන් ඔහුව කතාවට සම්බන්ධ කර ගත්තෙමු.

“1970 ගණන්වල හිපියො ඇවිත් නතර වෙන්න තැනක් නැතිව රෑ පහන් කළේ ගස් යට. එතකොට සීගිරියට තිබුණු එකම නවාතැන්පොළ රෙස්ට්හවුස් එක විතරයි. පස්සෙ මම කල්පනා කරලා 1973 අවුරුද්දෙ මාර්තු මාසෙ අපේ කඩ කාමර දෙකේ බූරු ඇඳන් කිහිපයක් තියලා කුලියට දෙන්න පටන් ගත්තා. වළ කක්කුසිය ආවරණය කළේ පොල්අතුවලින්. ඒත් සීසන් කාලයට දවස ගානෙ අපේ ලැගුම්හල ෆුල් වුණා. පැදුරු දාගෙන සුද්දො බිමත් නිදාගත්තා. ඒ කාලේ එක සුද්දෙක්ගෙන් අය කළේ රුපියල් තුනයි. එතකොට විදුලිය නෑ. රෑට තිත්ත කළුවරයි. දැන් කියලා වෙනසකුත් නෑ. රෑ දහය වෙනකොට පාර අයිනෙ රෙස්ටුරන්ට්, කඩවල ලයිට් නිවා දැමුවට පස්සෙ තිත්ත කළුවරයි. පාරේ එක ලයිට් කණුවකවත් විදුලි බුබුලක් නෑ…” අතීත කතාව වර්තමානයට පැමිණෙනවා අපට නොතේරිණි. එහෙත් ලයනල්ගේ ඉතිහාස කතාව පසෙකට තබා සීගිරියේ බොහෝ පදිංචිකරුවන්ගේ ජන ජීවිත හා බැඳුණු සංචාරක කර්මාන්තයට සිදුව ඇති නස්පැත්තිය ගැන සාකච්ඡා කිරීම වැදගත් බව මට සිතිණි.

2023 වර්ෂයේ ජනවාරි මාසය වන විට මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 102,545 කි. පෙබරවාරි මාසයේදී 107,639 ක් ද, මාර්තු මාසයේදී 125,495 ක් ආදී වශයෙන් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී ඇත. එමෙන්ම මාර්තු මාසයේ පැමිණි විදේශීය සංචාරකයන්ගෙන් 50% ට වැඩි බහුතරය විනෝදාස්වාදය සඳහා පැමිණි අය බව ද වාර්තා වේ. විනෝදකාමී සංචාරකයන් ඇතුළුව මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් 80% ට වැඩි පිරිසක් සීගිරි ගල නැරඹීමට පැමිණිය ද ඔවුන්ව දින දෙක තුනක් සීගිරියේ නතර කරගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැතිවීම සීගිරිය දුප්පත්වීමට ප්‍රධාන හේතුවක් බවත් ලයනල් ගුණසේකර පෙන්වා දුන්නේය.

“ඉස්සර සීගිරියට ආපු සංචාරකයන් වැඩි කාලයක් යොමු කළේ කියවන්න, නරඹන්න. ඒත් දැන් එන සංචාරකයන්ට ඕන විනෝද වෙන්න විතරයි. එවැනි සංචාරකයන්ට සීගිරියේ තියෙන ඇක්ටිවිටීස් මදි. ඒ නිසා සීගිරි ගල නඟින සංචාරකයො දවසෙන්
සීගිරියෙන් පිටත් වෙනවා. එහෙම ඇවිත් යනකොට විදේශිකයො සීගිරියෙන් ගන්නෙ වතුර බෝතලයක් විතරයි. අඩුම තරමින් කැටයම් ලෑල්ලක් ගන්නවත් වෙළෙඳසැලකට එන්නෙ නෑ. සීගිරිය අවට රෙස්ටුරන්ට් එකසිය ගානක් තියෙනවා. කොරෝනා වසංගතයට වහපු සමහර රෙස්ටුරන්ට් නැවත විවෘත කරලත් නෑ. ඇරැල වැඩක් නෑ. බිස්නස් නෑ. සීගිරියට එන විදේශීය සංචාරකයන් දින දෙක, තුනක් නතර කරගන්න සාර්ථක වැඩපිළිවෙළක් දියත් නොකරන්න ඉදිරියට සීගිරියට සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු වෙනවා. දැනටත් ට්‍රැවල් ඒජන්ට්ලට ටුවර් එක බුක් කරනකොට සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව නැතුව බුක් කරන්න කියලා ඇතැම් සංචාරකයො විශේෂයෙන්ම දැනුම් දෙන බව අපිට ආරංචියි…” හීන් වැහි පොද මැද අපේ කතාව දිගට ඇදේ. ඒ අතර ලයනල් ගුණසේකරට හුස්ම ගන්න අපි විරාමයක් තැබුවෙමු.

ලෝක පුදුමයක් වූ සීගිරිය ගල හැරුණුකොට සීගිරියේ නැරඹීමට තිබෙන ස්ථාන පිදුරංගල, තල්කොටේ වැව සහ තවත් කුඩා වැවක් පමණි. අලින්ගෙ පිටේ යෑම, කරත්ත සෆාරි, ජීෆ් සෆාරි හැරුණුකොට විදේශීය සංචාරකයන්ට වෙනත් ක්‍රියාකාරකම් ද නැත. මින්නේරිය වැවට වතුර පිරවීමෙන් වැව් පිටිය ගිලී යෑම හේතුවෙන් මින්නේරිය පාක් එකේ සිටිය විශාල අලි රංචුව ද දැන් නැත. එහෙයින් දැන් ජීප් සෆාරියෙන් ඇති ඵලක් නැත. සතුන්ට හිංසාවක් යැයි කියමින් බොහෝ විදේශීය සංචාරකයන් කරත්ත සෆාරිය, අලි පිට යන්නේ ද නැත. සතුටු වීමට වෙනත් ක්‍රියාකාරකම් නොමැති සීගිරියේ හෝටල් කාමරයක් තුළට වී නිදාගැනීමට විදේශීය සංචාරකයො නොයන බව සැබෑය. අපිදු විනෝද ගමනක් යන්නෙ කා, බී ගයමින්, නටමින් සතුටුවීමටය. විදේශිකයො මාස ගණනාවක් රස්සාව කර මුදල් එකතු කරගෙන දින දහහතරක් වැනි කෙටි කාලයක් සුන්දර රටක සංචාරයක නිරතවනුයේ විනෝදවීමටය. සීගිරියට පැමිණෙන සංචාරකයන් දින දෙක, තුනක් නතර කරගැනීමට සංචාරක ආකර්ෂණීය වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කළ ද පරිසර සංවිධාන, වනජීවී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පොලිසිය අකුල් හෙළන බව අපට පැවසුවේ පින්තුය. සීගිරිය නගරයේ අවන්හලක් පවත්වාගෙන යන තිස්හය හැවිරිදි තරුණයෙකි. මේ ඔහු කියන කතාවය.

සංචාරකයන් බුරුතු පිටින් එන අට වන ලෝක පුදුමය යට මිනිස්සු තාමත් මැටි ගෙවල්වල

“2017 අවුරුද්දෙ ඉඳලා සෑම වසරකම දවස් තුනක් ‘දීප් ජංගල්’ කියලා සංචාරකයන්ට විනෝද වෙන්න සැණකෙළියක් පැවැත්වුවා. ප්‍රථම සැණකෙළියට හිටියේ සංචාරකයො විසිපහයි. අවුරුද්දෙන්, අවුරුද්දට සැණකෙළියට පැමිණෙන සංචාරකයන් පිරිස වැඩි වුණා. එම සැණකෙළියෙන් අපි ඉදිරිපත් කළේ මෙරට සාම්ප්‍රදායික නැටුම්, ගැයුම්, වැයුම්, අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම, ගිනිකෙළි සෙල්ලම්, ආදීවාසීන්ගේ නැටුම්, දේශීය අත්කම් ප්‍රදර්ශන ආදී විවිධ සංස්කෘතිකාංග. ඒ සියලු විශේෂාංග ඉදිරිපත් කෙරෙන්නෙ සැණකෙළිය මැද ඉඳිකරන විශාල වේදිකාවක් මත. ඒ වේදිකාව නිර්මාණය කරන්නෙත් මේ ප්‍රදේශයේ නිර්මාණකරුවන්. ඒ වගේම සැණකෙළි භූමිය බටහිර සංගීතයෙන් ගීතවත් කරන්නෙ මෙරට ගායක, ගායිකාවන් සහ ජනප්‍රිය සංගීත කණ්ඩායම්. සංචාරකයන්ට සිතැඟි පරිදි චිත්‍ර නිර්මාණ කරගැනීමට මෙරට චිත්‍ර ශිල්පීන් එකතු වුණා. අපේ අම්මලාගේ දෑතින් හැදෙන දේශීය කෑම බීමවලින් සැණකෙළි භූමිය සුවඳවත් වුණා. මෙරට විවිධ ප්‍රදේශවල සහජ කුසලතා දක්වන සියලු තරුණ, තරුණියන් සැණකෙළියට එකතු කරගෙන ඔවුන්ගේ දක්‍ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. තොරණ සම්ප්‍රදාය ජාත්‍යන්තරයට රැගෙන යෑමට මෙරට ඉතිහාසයේ විශාලතම තොරණ අපි හදලා තියෙනවා. අඩි අසූවක් දිගයි. අඩි හැටඅටක් උසයි. විදුලි බුබුළු තිස්පන්දාහයි. ඒ තොරණෙන් ඉදිරිපත් කරන්නෙ මෙරට සංචාරක ආකර්ෂණීය ස්ථාන. තොරණ නිර්මාණය කරන්න රුපියල් ලක්‍ෂ අසූහතරක් වියදම් වෙලා තියෙනවා. මෙවර ‘දීප් ජංගල්’ සංචාරක සැණකෙළියට වියදම් කරලා තිබුණු සම්පූර්ණ මුදල මිලියන තිහකට ආසන්නයි. මෙවර විදේශීය සංචාරකයන් පන්දහසක් ගෙන්වන්න සැලසුම් කරලා තිබුණා. එම සංචාරකයන් පිරිස හරහා ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් මේ ප්‍රදේශයට ගලාගෙන එන්න තිබුණා. ඒ වගේම තව අවුරුදු තුනකින් පළාත් නවයේම ක්‍රියාකාරකම් ‘දීප් ජංගල්’ සැණකෙළිය හරහා සීගිරියෙන් ජාත්‍යන්තරයට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබුණා. ඒ කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතිව සැණකෙළි භූමියේ ශබ්දය නිසා සතුන්ට බාධාවක් කියලා පරිසර සංවිධානයක් අංචි ඇද්ද පමණින් සැණකෙළිය නතර කළා…” පින්තුගේ කතාවට ලයනල් බාධා කරමින් මෙසේ කීවේය.

“අපි වනජීවී කලාප බලහත්කාරයෙන් අල්ලගෙන නෑ. වනජීවී දෙපාර්තමේන්තුවයි අපේ ගම් බලහත්කාරයෙන් යටත් කරගෙන තියෙන්නෙ. 1991 අවුරුද්දෙ සක්‍යතා වාර්තාවක්වත් නැතිව තමයි වනජීවී කලාපයක් විදිහට මේ ප්‍රදේශය ගැසට් කරලා තියෙන්නෙ. අපේ තාත්තට 1942 වර්ෂයේදී සුදු ජාතික මහ දිසාපතිවරයෙක් දීපු තුවක්කු පර්මිට් එකක් තියෙනවා. මේ සියලුම ඉඩම්වලට ජය භූමි ඔප්පු තියෙනවා. ඒත් අපිට ඕන විදිහට උත්සවයක් සමරන්න නෑ. ගමේ ගෙදරක උත්සවයක් ගන්න බෑ. පහුගිය දවස්වල සින්නක්කර ඔප්පු සහිත ඉඩමක අවුරුදු උත්සවයක් පවත්වන්න සූදානම් වුණා. ඒකත් නතර කළා. දැන් සුද්දො විදේශීය රටකට එන්නෙ හෝටල් කාමරයක ඉඳගෙන පොත් කියවන්න නෙමෙයි. උපරිම විනෝද වෙන්න. ‘දීප් ජංගල්’ සැණකෙළියෙන් කරන්නෙ දින තුනක් සංචාරකයන් රඳවාගෙන, සිතැඟි පරිදි විනෝද වෙන්න පහසුකම් සලසමින් වියදම් කරවීමක්. සංචාරකයො එහෙම වියදම් කළොත් තමයි සීගිරියේ මිනිසුන්ට ආදායමක් ලැබෙන්නෙ. එහෙම නැති වුණොත් අපේ ගම්වල මිනිස්සු බඩගින්නෙ. සීගිරියේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සීගිරියේ දැනට තිබෙන වනජීවී, පුරාවිද්‍යා නීතිරීති ලිහිල් කරන්නම ඕනෑ. රෑකට සද්දෙට සිංදුවක් ඇහෙන්නෙ නැති පාළු ගමක සංචාරකයො ඉන්නෙ නෑ…” ලයනල් ගුණසේකරගේ ආවේගශීලී හඬ යටපත් කරමින් නැවත පින්තු හඬ ඉස්මතු කළේය.

සංචාරකයන් බුරුතු පිටින් එන අට වන ලෝක පුදුමය යට මිනිස්සු තාමත් මැටි ගෙවල්වල

“අවුරුදු පහකින් සීගිරිය ගමේ අවුරුදු උත්සවයක් කෙරුණේ නෑ. මෙවර සංචාරකයන් ඉලක්ක කරගෙන අවුරුද්දට පෙර දින දෙකක් පුරාවට අවුරුදු උත්සවයක් පවත්වන්න සැලසුම් කළා. ඒ අවුරුදු උත්සවයෙන් සංචාරකයන්ට පෙන්වන්න සූදානම් වුණේ අවුරුදු චාරිත්‍ර, ක්‍රීඩා, අලුත් අවුරුදු සමරන හැටි. රුපියල් ලක්‍ෂ පහක් විතර වියදම් කරලා මූලික අඩිතාලම දානකොටම බැරියර් එකක් දැම්මා. අවුරුදු උත්සවයට සවුන්ඩ් පර්මිට් එක ගන්න වනජීවී, වන සංරක්‍ෂණ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පරිසර අමාත්‍යාංශය යන මේ සියලු ආයතනවලින් අවසරය ලබාගන්න ඕන කිව්වා. ඒ ආයතනවලින් අවසර ගන්න ලබන අවුරුද්ද විතර වෙන නිසා පාඩුව විඳගෙන අවුරුදු උත්සවය නතර කළා. මේවා අපිව නතර කරන්න හදන දේශපාලන බලවේග. ඒ දේශපාලනඥයන්ට දොල පිදේණි දීගෙන, ඔවුන් ගහන පදයට නටාගෙන ඉන්නවා නම් ඕන පර්මිට් එකක් ගන්න පුළුවන්. අපි එහෙම කාටවත් වැඳගෙන යන්නෙ නෑ. අපි රටට යමක් කරන්න හදන්නෙ දුක් මහන්සියෙන් හරි හම්බ කරපු රුපියල් සතවලින්…” පින්තුගේ හඬ ආවේගශීලී නැත. හේ පසු වන්නෙ කලකිරීමෙනි. ප්‍රදේශයේ තරුණ ජවය එකතු කරගෙන ලෝකයට ණය වෙමින්, දිවා රෑ මහන්සි වී මෙරට සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට අලුත් වැඩක් කිරීමට කැප වෙනකොට විවිධ කාලකණ්ණි සහ පරිසර සංවිධාන කියාගන්නා රාජ්‍ය නොවන සංවිධාන බාධා කිරීම ගැනය. පින්තුගේ සහ ලයනල් ගුණසේකරගේ කතාවට සවන් දී සිටි කුඩා කර්මාන්තකරුවන්ගේ සංවිධානයේ සභාපති නිරුක්ෂ කුමාර ද පෙළගැසෙන කතාවට කෙටි අදහසක් ඉදිරිපත් කළේය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උනන්දු වන බව පේනවා. ඒත් මේ රටට පැමිණෙන සංචාරකයන්ට විනෝද වෙන්න අවස්ථාවක් තියෙනවද? දැන් මෙරටට පැමිණෙන ගොඩක්ම සංචාරකයන් අනුරාධපුරයේ, පොළොන්නරුවේ නටඹුන් බලන්න යන්නෙ නෑ. ඔවුන් අපේ රටට එන්නෙ විනෝද වෙන්න. ඒ නිසා මෙරට සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් අලුත් විදිහට හිතන්න ඕන. අලුත් නිර්මාණ කරන තරුණයන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕනෑ. ඒ වගේම මෙරටට එන සංචාරකයන්ගේ ඩොලර් උදුරගන්න ක්‍රමවේදය වෙනස් කර, ඔවුන් හරහා වියදම් කරවන ක්‍රමයක් හදන්න ඕනෑ. එහෙම වුණොත් තමයි සීගිරිය වගේ සංචාරක පුරවර දියුණු වෙන්නෙ…” ඒ කතාව කෙටිය. මේ කතාව අපේය.

සීගිරියේ බහුතරය සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයේ නියැළී සිටින බව වාර්තා වේ.

සීගිරිය සංචාරක නිකේතන හිමියන්ගේ සංගමයේ පමණක් සාමාජිකයන් එකසිය හතළිස්හතක් සාමාජිකත්වය ලබාගෙන සිටින බව ද සැබෑය. එමෙන්ම සීගිරි ගලේ නැඟීමට විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් තිහක මුදලක් අය කරන බව ද වාර්තා වේ. එහෙත් 1983 වර්ෂයේදී සීගිරි ගලේ නැඟීමට විදේශීය සංචාරකයකුගෙන් අය කර ඇත්තේ රුපියල් 30 කි. අද ඩොලර් 30 කි. සීගිරි ගල නැරඹීමට යන දේශීය සංචාරකයන්ගෙන් අය කරනු ලබන මුදල රුපියල් 100 කි. ටිකට් දෙකේ වෙනස තේරුම් ගන්නා ඇතැම් විදේශීය සංචාරකයන් ඔලුවේ අත ගසාගෙන පිදුරංගල ගලේ නැඟ සීගිරියෙන් පිටමං වන බව ලොව පුදුම අට යටින් ඇසෙන කතාවකි. එවැනි විශාල මුදලක් අය කරන සංචාරකයන්ට වතුර බෝතලයකින් හෝ ආගන්තුක සත්කාරයක් කිරීමට තරම් මනුෂ්‍ය ගුණ පහළ නොවීම ද සීගිරිය විදේශීය සංචාරකයන්ට තිත්ත තැනක් වීමට ප්‍රධාන හේතුවකි.

සීගිරි ගල පෙන්වීමට විදේශීය සංචාරකයන්ගෙන් අය කරනු ලබන ඩොලර් 30 ක මුදලට වෙන දේ ගැන නොදත් අපට සීගිරියේ මගතොටේ ඇවිද යන විට මාර්ගෝපදේශයක් ලබාදෙන දැන්වීම් පුවරුවක් ඇස නොගැටුණු බව සැබෑය. අලි, ඇතුන් ඇතුළු වන සතුන් මාරුවන ස්ථාන ගැන දැනුවත් කරමින් දැන්වීම් පුවරු සවි නොකිරීම හිතා මතා විදේශීය සංචාරකයන් අනතුරට පත් කිරීමක් වැනිය. ඇඳිරිවැටෙනකොට අලි ළඟින මහ මඟ ගැන නොදැනුවත් විදේශීය සංචාරකයන් යතුරුපැදිවල නැඟී සවාරි යන අයුරු අපිදු දුටිමු. එමෙන්ම සීගිරියට පැමිණෙන සංචාරකයන්ට ටොෆි කොළයක් බහාලීමට තරම් ලොව අට වන පුදුමය යට කසළ බඳුනක් නොතිබීම ද පුරාවෘත්ත සීගිරිය ජාත්‍යන්තරයේ ඉදිරියේ අපකීර්තියට පත් කිරීමකි. සංචාරක ව්‍යාපාරයෙන් රට දියුණු කිරීමට සැලසුම් සකස් කරන පසුබිමක ලොව අටවන පුදුමය යට ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය. සීගිරි ගල පෙන්වා එක් විදේශිකයකුගෙන් අය කරනු ලබන ඩොලර් 30 ක මුදලෙන් සංචාරකයන්ට අවම පහසුකම් හෝ සම්පූර්ණ කිරීමට රුපියල් 30 ක් වැය කිරීමට අදාළ ආයතන දේශහිතෛෂී විය යුතුය. වැඩි, වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට යම්, යම් ආයෝජන කිරීමට එම ඩොලර් 30 න් යම් මුදලක් වෙන් කළ යුතු බව ද සැබෑය.

එමෙන්ම එදා වේල සොයාගැනීමට නොහැකිව පීඩා විඳින සීගිරියේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට තාවකාලික විසඳුම එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම බව සැබෑය. එහෙත් සීගිරි ගල, පිදුරංගල ගල, තල්කොටේ වැව, පෙන්වා සීගිරියේ සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකිය. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් විදේශීය සංචාරකයන්ට දින දෙක, තුනක් සීගිරියේ නතර වී වියදම් කරමින් විනෝදවීමට අවස්ථාව සලසාදිය යුතුය. එහෙයින් යල් පැන ගිය කැලෑ නීති, පුරාවිද්‍යා අණ පනත් වෙනස් කොට සීගිරියට පැමිණෙන සංචාරකයන්ට හිතේ හැටියට විනෝදවීමට අවැසි පරිසරය නිර්මාණය කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතුය. එම වගකීම ඉටු කිරීමට අදාළ ආයතනවලට ආර්ථික ශක්තියක් නොමැති නම් පෞද්ගලික ව්‍යාපාරිකයන් ලවා හෝ සීගිරිය සැබෑ සංචාරක පුරවරයක් බවට පත් කළ යුතුය. සංචාරකයන් විසින් සීගිරිය අතහැරීමට පෙර එය සිදු කළ යුතු බව අපගේ හැඟීමය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment