සංචාරකයන් රුවල් නැවෙන් මිරිස්සේ සිට පෝර්ට් සිටියට…

1128

ලෝකයේ ඇති ස්වභාව සෞන්දර්ය අප කෙතෙකුත් දසුන්වලින් නැරඹුවද එහි ඇති විවිධත්වය සජීවී අත්දැකීමක් කර ගැනීමට නම් අප සංචාරය කළ යුතුමය. අද එන්නත්කරණය සමඟින් රට සාමාන්‍යකරණයට යොමුවෙමින් පවතින මේ මොහොතේ කොවිඞ් වසංගතය ලෝකයෙන් තුරන් වන තුරු නොසිට කොවිඞ් සමඟම සංචාරක කර්මාන්තය ගොඩනඟා ගැනීමට අප නිරතුරුව කටයුතු කළ යුතුය.

එනිසාම අපේ සංචාරක කර්මාන්තය අලූත් ක‍්‍රමෝපායන් හා අත්හදා බැලීම් තුළින් ඉදිරියටම යායුතු බව මාගේ විශ්වාසයයි. මන්ද අප රට මෙන් සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ප‍්‍රධානතම ආදයම් මාර්ගය කර ගන්නා රටවල් නොබියව අලූත්ම අත්දැකීම් සංචාරකයාට ලබා දෙමින් ඉදිරියට පියවර තැබීම නිරතුරුවම සිදුකරනවා ඇත. නොයෙකුත් හේතූන් මත අප රට මදක් පසුපසින් කල්ගත වූ පසු එම මාර්ගවලට එන්න උත්සාහ දරනවා. එය අපට ඉතා අවාසිසහගත තත්ත්වයක්. ලෝක වසංගත තත්ත්වය හමුවේ එවැනි අලූත් අත්දැකීම් ගැන සිතීමට හෝ අකමැති අවස්ථාවක දී උපායමාර්ගයක් ලෙස මා විසින් ”සේල්ලංකා” රුවල් නැව් ආයතනයට යෝජනා කළේ නියමු ව්‍යාපෘතියක් ලෙස විදේශීය සංචාරකයන් සුන්දර මිරිස්ස වෙරළ තීරයේ සිට ලංකාවේ අනාගත ප‍්‍රබලතම ආර්ථික ආකර්ෂණ ස්ථානය වන පෝර්ට්සිටිය දක්වා සංචාරකයන් රුවල් නැවෙන් රැගෙන එමටයි.

එදා Lonely Planet නම් සඟරාව විසින් ශ‍්‍රී ලංකාව සංචාරයට සුදුසුම රට ලෙසද, නම් කෙරැණු අතර ස්වභාවික සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් මනා ලෙස කරන ලද මානව නිර්මාණ හැකියාවන් එකළ ජාත්‍යන්තරය පවා පැසසුමට ලක් කරන ලදී. එවැනි ස්වභාවිකව භූ දර්ශන සහිත නිවර්තන වෙරළ තීරයේ ඇති ශ‍්‍රී ලංකාවේ හොඳම රුවල් යාත‍්‍රාව ලෙස හැඳින්විය හැකි සාගර දියමන්ති (Ocean Diamond) නමැති නිල් සාගරයේ නවෝත්පාදනය යාත‍්‍රාව සෙල්ලංකා ආයතනය විසින් මා හට ලබාදුන්නේ, ලාංකික සංචාරක කර්මාන්තය ගොඩඟන්න ඔහුන්ට ඇති වුවමනාව නිසාමයි. සුඛෝපභෝගී තරු පහේ නවාතැන් පහසුකම් සහ සුවිශේෂී ප‍්‍රමිතියකින් යුත් ශ‍්‍රී ලංකාවේම නිෂ්පාදනය කරන ලද ඔවුන්ගේ දෙමහල් සාගර දියමන්ති රුවල් යාත‍්‍රාව උපයෝගී කර ගෙන පසුගිය ජනවාරි 31 සඳුදා සවස මිරිස්ස ධීවර වරායෙන් එම ගමන අප ආරම්භ කළේය.

සංචාරකයන් රුවල් නැවෙන් මිරිස්සේ සිට පෝර්ට් සිටියට…

එහි පළමු කණ්ඩායම ලෙස රුසියානු, යුක්රේනියානු, බල්ගේරියානු යන රටවල්වල මෙරට නේවාසික නියෝජිතයන් හා සංචාරකයන් පිරිසක් ද මෙරටට අලූතින් ගුවන් ගමන් ආරම්භ කළ බල්ගේරියානු ගුවන් සමාගමේ නියෝජිත කණ්ඩයමක් ද සහභාගි කර ගැනීමට කටයුතු කළේය. මොකද ඔවුන්ගේ අත්දැකීම් හා උපදෙස් මෙහිදී ඉතා වටිනා බව මා අත්දැකීමෙන් දන්නා බැවිනි. මිරිස්ස දියඹේ නැංගුරම්ලා තිබූ සාගර දියමන්ති රුවල් නැවට සංචාරකයන් ගොඩ වූ මොහොතේ සිට යාත‍්‍රාවේ කාර්යමණ්ඩලය දැක්වූ සහයෝගය සම්බන්ධව සටහනක් තැබිය යුතුමය. එම රුවල් යාත‍්‍රාව තුළ සංචාරකයන් 24 දෙනකුට ඉතා සුවපහසු සුපිරි තරු පන්තියේ නිදන කාමර 10ක් මෙන්ම නවීනතම අංගෝපාංගයන් ගෙන් සමන්විත මුළුතැන්ගෙයක් හා භෝජනාගාරයකින් සමන්විත වෙනවා. යාත‍්‍රාව තුළ සේවා සපයන සේවක මඬුල්ල මගීන්ගේ පහසුකම් පිළිබඳ වගේම යාත‍්‍රාව තුළ අනුගමනය කළයුතු ක‍්‍රියා පටිපාටිය ඉතා හොඳින් පළමුව පහදා දුන්නේය.

මෙම යාත‍්‍රාව ගමන් කිරීමේ දී රාත‍්‍රිය ගත කරන මුහුදේදී ස්නානය කිරීමට උණවටුනට සමීපයේ ජංගල් බීච් නම් රුසියානු සංචාරකයන් අතර ජනප‍්‍රිය ස්ථානය තෝරා ගත්තේය. එම ස්ථානයේදී රාත‍්‍රි කාලයේ මුහුදට බැස විනෝද වීමට සංචාරකයන් හට අවස්ථාව ලබා දුන්නේය. එසේම අපට Ocean Diamond යාත‍්‍රාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම ඉතා උනන්දුවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම ගමනාන්තය දක්වාම රසවත් ආහාර පානාදියෙන් සංචාරකයන් පිනවීමට යාත‍්‍රාවේ සූපවේදීන් ඇතුළු භෝජනාගාර සේවක මණ්ඩලය උනන්දු වූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතුය.

පසුදා උදෑසන 6 ට පමණ කොළඹ බලා යාත‍්‍රා කිරීම ආරම්භ කළ පසු ශ‍්‍රී ලාංකීය මුහුදු තීරයේ ප‍්‍රභලම ස්වභාවික ආකර්ෂණය ලෙස නම් කළ හැකි නිල් තල්මසුන් හා ඩොල්ෆින් මාළු සමූහ කිහිපයක්ම දැකබලා ගැනීමට ලැබීම නිසා රුවල් නැවේ චාරිකාව අංග සම්පූර්ණ කළේ අප කාගේත් වාසනාවටය. සංචාරකයන් ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වූ ඒ හමුවීමේදී, සතුන්ට මෙන්ම සංචාරකයන් හටද අපහසුවක් නොවන ලෙස යාත‍්‍රාව හැසිරවූ කපිතාන්වරයා ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලය ඇගයීම මගේ යුතුකමකි.

එදා තිස් වසරක යුද්ධය අවසානයේ අප රටට සංචාරක ක්ෂේත‍්‍රයේ වසන්නය උදා විය. ලෝකයේ සංචාරය කළ හැකි රටවල් අතර ඉහළම ස්ථානය පවා හිමිකර ගැනීමට අප සමත් විය. එසේ 2019 පාස්කු ප‍්‍රහාර සිදුවන තෙක්ම ශ‍්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවතියේ අප රටෙහි ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙමිනි. එහෙත් පාස්කු ප‍්‍රහාරයෙන් සංචාරක කර්මාන්තයේ අභාග්‍ය සම්පන්න කාලය උදා වූ අතර කබලෙන් ලිපට වැටුණේ 2020 වසරේ දී අවසානයක් නොමැති කොවිඞ් 19 වසංගතය මුළුමහත් ලෝකයටම එල්ල කරන ලද බලපෑම සමගින්ය. අපේ රටේ වසංගතයෙන් බලපෑමට ලක්වූ ක්ෂේත‍්‍ර අතරින් සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. එතැන් සිට මේ දක්වා රට මුහුණ දෙමින් සිටින ආර්ථික කඩා වැටීම් රැසකටම හේතුව පවතින වසංගත තත්ත්වය බව නොරහසකි. ඒ අතර සංචාරක බලධාරීන්ගේ සමහර අත්තනෝමතික තීරණ ද බලපෑ බවද නොකියාම බැරිය. එසේ මෙතෙක් කලක් නොවූ විරූ ලෙස බිඳවැටීමට හේතු වූ කොරෝනා වසංගතය, සංචාරක ක්ෂේත‍්‍රයේ බොහෝ පිරිසකගේ රැකියා අවස්ථා පවා අහිමි කිරීමට සමත් විය.

පවතින තත්ත්වය එසේ වුවත්, සංචාරක ක්ෂේත‍්‍රය නැවත නඟාසිටුවමින් එම ක‍්‍රියාවලිය යළි සක‍්‍රීය කිරීමට මා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලිඛිතව කළ යෝජනාවට එතුමා ලබාදුන් ධනාත්මක තීරණය මත

”සංචාරක ක්ෂේත‍්‍රයෙහි නියුතු වූවන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම උදෙසා සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීම” යන මැයෙන් අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අංක PMO/CM‍/27/2020 දරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ප‍්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තයෙහි පුනර්ජීවනය උදෙසා උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ පූර්ණ බලැති ක‍්‍රියාකාරී කමිටුවේ උපදෙස් පරිදි ”සංචාරක බුබුල” සංකල්පය යටතේ යුක්රේනියාව, කසකස්තානය හා රුසියාවේ සිට පසුගිය 2020 දෙසැම්බර් 28 දා, හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කරන ලදී. එසේ සංචාරක බුබුලේ සාර්ථකත්වය සනාථ කිරීම නිසාම, 2021 ජනවාරි 21 දින කටුනායක ගුවන් තොටුපළට මාස 9 කට පසු නැවතත් සංචාරකයන්ට විවෘත කළ බව ද පිළිගත යුතුය.

රුසියාවේ හිටපු තානාපතිවරයා ලෙස පසුගිය වසර මුළුල්ලේ මෙරටට රුසියාවේ, යුක්රේනියාවේ හා කසකස්තානයේ සිට සංචාරකයන් විශාල පිරිසක් රැගෙන ඒමට මා මූලිකත්වය ගෙන වැඩකළා. එසේම එදා තානාපතිවරයකු ලෙස මගේ යුතුකම ඉටු කරමින් ලංකාවට රුසියානුවන්ගේ පැමිණීම 28 ගුණයකින් වැඩි කිරීමට මා සමත් වූවෙමි. ඒ සියලූ දේවල්වල සමස්ත ප‍්‍රතිපලයක් ලෙස අද බහුතරයක් රුසියානු, යුක්රේනියානු, කසකස්තානු සංචාරකයන් මෙරටට පැමිණි ඇත. එය සැබෑ සංචාරකයන්ගේ පැමිණීමේ සංඛ්‍යාලේඛන අනුව 30% ආසන්න පිරිසකි. එම ප‍්‍රමාණය වැඩිකර ගැනීමට මා විසින් රජයට අවධාරණයෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබේ.

සංචාරකයන් රුවල් නැවෙන් මිරිස්සේ සිට පෝර්ට් සිටියට…

එදා 2021 ඔක්තෝබර් දක්වා සංචාරකයන් ලංකාවට නොපැමිණීමට ප‍්‍රධාන හේතුව වූයේ සංචාරක මණ්ඩලය විසින් පනවා තිබූ සංචාරකයන්ට අහිතකර නියාමන බව ඉතාමත් වගකීමෙන් කිව යුතුය. ඒ අතර තවදුරටත් රජයේ විශේෂ අවදානයට යොමුකර යුත්තේ ”කොවිඞ් 19 එන්නත් ලබා නොගත් සංචාරකයන්ට නිරෝධායන කාලය දින 07 ක් ”Level – 1” හෝටලයක් තුළ සිටීම අනිවාර්ය කිරීම” බව ගෞරවයෙන් පෙන්වාදීම අපගේ යුතුකමකි. තවදුරටත් ලංකාවේ ”Level – 1” හෝටල් අද නැති තරම්ය. එසේම සංචාරක මණ්ඩලය එම හෝටල්වලට ලබාදුන් ”Level – 1” සහතිකය ද පසුගිය දෙසැම්බර් මාසයේදී කාලය අවසන් වී ඇති නමුත් එම කාලය දීර්ඝ කිරීමට ඔවුන්ට උනන්දුවක් නොමැති බවද බලධාරීන් හට පෙන්වා දිය යුතුය. එසේම අද ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන් බව 2022 ජනවාරි මාසයේ සංචාරකයන් මෙරටට පැමිණී දත්ත අනුව මනාවට පෙන්නුම් කරයි. එසේම එරටෙහි එන්නත් ලබා නොගත් අය 60% කට ආසන්නය. එබැවින් ”සැබෑ සංචාරකයන්” සඳහා ලංකාවට පැමිණීමට තවදුරටත් බාධා කරන ”එන්නත් ලබා නොගත් සංචාරකයන් සඳහා නිරෝධායන කාලය” වහාම ඉවත්කළ යුතුය. ලෝකයේ රටවල් අතර සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ප‍්‍රධානතම ආදයම් මාර්ගයක් කරගන්නා රටවල් ලෙස තුර්කි රාජ්‍ය, ඊජිප්තුව, මාලදිවයින, ඩොමිනිකන් ජනරජය මෙන්ම සංචාරකයන් අතර ප‍්‍රසිද්ධ බහුතරයක් රටවල් එසේම සිදු කර ඇත. ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කර ඇති නමුත් සංචාරක කර්මාන්තයේ අනාගතය ගැන සිතා හෝ මෙවන් අහිතකර නියාමන ඉවත් කිරීමට අප රජය මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමට හේතුව, සංචාරක ක්ෂේත‍්‍ර පිළිබඳ දැනුමක් නොමැති, තමන්ගේ පුද්ගලික ව්‍යපෘතිවලට පමණක් අනුග‍්‍රහය දක්වන, මෙවන් කයිවාරුකරුවන් පත්කිරීම බවද අපේ රටෙහි නායකයාට මෙහිදී නොකියාම බැරි කරුණකි.

එසේ නමුත් අද සංචාරක බලධාරීන් කයිවාරු ගසන ආකාරයට පසුගිය මාස කිහිපය තුළ රටට සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් පැමිණ ඇත. ඒ ප‍්‍රමාණය 2019 සාපේක්ෂව 34% ක් වන අතර අප දන්නා විදියට ද්විත්ව පුරවැසිභාවය හිමි ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් නිවාඩු ගතකිරීමට හා නෑදෑයන් දැකබලා ගැනීමට, කොරෝනා නීතිරීති ලිහිල් වීම හා නිරෝධායන කාලය ඉවත්කිරීම නිසා වසංගතයෙන් පසු මෙරටට පැමිණ ඇත. එවැනි වාතාවරණයක් තුළ රුසියානු යුක්රේනියානු වැනි සැබෑ සංචාරකයන්ගේ පැමිණීමේ දත්ත උපයෝගී කරගෙන තම නොහැකියාව වසාගැනීමට ඇය කටයුතු කරමින් සිටින බව රටෙහි නායකයන්ට නොවැටහීම සංචාරක කර්මාන්තයේ නියතු වූවන්ගේ පමණක් නොව රටවැසියාගේ ද අභාග්‍යකි.

අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. පසුගිය වසර තුළ නිරෝධායනය සඳහා ඉන්දියානුවන් පකිස්තානුවන් මෙන්ම නේපාල, බංගලාදේශ, ඉන්දුනීසියානු වැනි රටවල් වලින් පැමිණි ශ‍්‍රමිකයන් ඇතුළුව ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ මුළු එකතුව 194,495 වැනි ඉතා කුඩා ප‍්‍රමාණයකි. එසේ නමුත් එම කාලපරිච්ෙඡ්දයේ දී මාලදිවයිනට සැබෑ සංචාරකයන් 1,321,932 පැමිණ ඇත. එනම් මාලදිවයිනට අපට වඩා 7 ගුණයක් සංචාරකයන් පැමිණ ඇත. එසේම මෙම වසරේ ජනවාරි මාසයේ මාලදිවයිනට සංචාරකයන් 130,000 වැඩි ප‍්‍රමාණයක් පැමිණ ඇති නමුත් මෙම ජනවාරි මාසයේදී ශ‍්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරක පිරිස 82,327 ආසන්න පිරිසකි. ඒ අතරින් රුසියානු, යුක්රේනියානු හා කසකස්තානු ඇතුළුව බටහිර යුරෝපා සංචාරකයන්ගේ පැමිණීම සමස්ත සංචාරකයන්ගෙන් 35% කි.

තවදුරටත් මුළු රටම රවටමින්, කිසිදු සංචාරකයෙක් නොපැමිණෙන වසංගතය සමයේ පවා මෙම බලධාරීන් සඳහන් කළේ High End Tourism ප‍්‍රවර්ධනය කළ යුතු බවයි. ඒ සඳහා රටට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් තිබේ දැයි විමසීමක් සිදුකළ යුතු අතර ඔහුන් විසින් එම පහසුකම් වැඩිදියුණු කිරීමට පසුගිය අවුරුදු දෙකක් පුරාවට ගත් ක‍්‍රියාමාර්ග මොනවාද කියා විමසීම කාලෝචිතය. ඒ අතර අද පුද්ගලික අංශය රජයේ අනුග‍්‍රහය නොමැතිව වුවද ඒ සඳහා නොයෙක් උත්සාහයන් දරමින් සිටී. ඊට කදිම නිදසුනක් ලෙස සේල්ලංකා ආයතනය ඔහුන්ගේ රුවල් යාත‍්‍රාව භාවිතා කරමින් විදේශීය සංචාරකයන් සුන්දර මිරිස්ස වෙරළ තීරයේ සිට පෝර්ට්සිටිය දක්වා රැගෙන ඒම පෙන්වාදෙන අතර සංචාරක කර්මාන්තය පිළිබඳ ප‍්‍රයෝගික අවබෝධයක් නොමැති සංචාරක මණ්ඩලය මෙන්ම සංචාරක අමාත්‍යාංශයේ ප‍්‍රධානීන්ගේ අරමුණ වී ඇත්තේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ පොරොන්දුව ඉෂ්ට කිරීමට සංචාරකයන් මිලියන දහයක් මෙරටට ගෙන්වා ගැනීමය.

එදා මහින්ද ජනධිපති යුගයේ ආරම්භ කර, පසුගිය දසකය පුරා පාසිකුඩා සංචාරක පුරවරයේ හෝටල්වල ඉදිකර ඇති කාමර 654 ක්ම විදේශීය සංචාරකයන් නොමැතිව පීඩාවට පත්ව ඇති බව අද රජයට වැටහීමක් නැතිවීමට හේතුව ද මෙවන් බලධාරීන් බව කිව යුතුය. එහිදී විශේෂයෙන් කිවයුත්තේ නැගෙනහිර පළාතේ දමිළ තරුණ තරුණියන් මෙන්ම සිංහල තරුණ තරුණියන් අතරින් 60% ශ‍්‍රමදායකත්වයක් මෙම හෝටල් ජාති ආගම් භේදයකින් තොරව ලබාගත යුතුව තිබුණු නිසාම අද පාසිකුඩා කල්කුඩා ගම්වැසියන්ගෙන් 80% ක්ම හෝටල්වල හා සංචාරක කර්මාන්තයේ නිරතව සිටිය අයුරු දැකිය හැක. එහෙත් 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසු කොරෝනා වසංගතයක් නිසා අසරණ වූ ඔවුන්ට පසුගිය ජනවාරි 30 වෙනිදා මාගේ මූලිකත්වයෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ හරහා පාසිකුඩා මුහුදු තීරයේ තරුපහේ කාමර 126 යුක්ත අමායා බීච් හෝටලයට (Amaya Beach) බල්ගේරියානු හා අල්බේනියානු සංචාරකයන් 183 දෙනෙක් රැගෙන එමෙන් අද ගම්මානයට වසර තුනකට පසු යම්කිසි ආදායම් ලැබීම නිසා එහි ගම්වාසීන් හට අනාගතය ගැන විශ්වාසය ඉතිරිව ඇත.

අද මා මෙම සටහන අවසන් කරන්නේ මෙවැනි අලූත් අත්දැකීම් තුළින් වෙනස්වීමට වෙනස් කිරීමට ඇති බොහෝ දේ සිදුකරමින් අප දරන ප‍්‍රයත්නයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය දෙගුණ තෙගුණ කර ගැනීමට දරන උත්සාහය හරහා අපගේ මව්බිමෙහි අනාගත ආර්ථිකමය ශක්තිය වැඩිකර දීමට ඇති හැකියාව ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

උදයංග වීරතුංග –
රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති

advertistmentadvertistment
advertistmentadvertistment