සංචාරකයින් ටුවර් යන්න කැමැති ගාලු පුරේ පරණ කාර්-ජීප්

663

ඉපැරැණි යාන වාහනවලට ඇත්තේ ඉහළ වටිනාකමකි. විශේෂයෙන්ම පිටරැටියන් පෞරාණික භාණ්ඩවලට මෙන්ම පැරැණි යාන වාහනවලට දැඩි රුචිකත්වයක් දක්වති. මේ නිසාවෙන් මෙරට සංචාරක හෝටල් හිමියන් කෞතුක භාණ්ඩ පැරැණි යාන වාහන හෝටල් ඉදිරිපිට ප‍්‍රදර්ශනයට තබා ඇත්තේ විදේශීය සංචාරකයන් ඇදබැඳ තබා ගැනීම සඳහාය. අප මේ කියන්නට යන්නේ ද විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීම සඳහා නිර්මාණශීලීව විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන හෝටල් හිමියකු ගැනය. හේ උණවටුණ රිදීවිලා හෝටලයේ හිමිකරු සුමිත් උබේසිරි මහතාය. හේ විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීම සඳහා සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින් බැහැරව නව අත්හදාබැලීම් සිදුකරන්නේය.

1948 සිට 2016 දක්වා නිෂ්පාදිත Land Rover රථ සියල්ලම එකම වහලක් යට දකුණු පළාතෙහි දැකිය හැකි එකම ස්ථානය වන්නේ ගාල්ල, උණවටුන, රිදීවිලා හෝටලයේ දී පමණි. සුමිත් උබේසිරි මහතා විසින් ඉතා පෞරාණික වටිනාකමකින් යුත් මෙම වාහන සියල්ලම එකලස් කොට ඇත්තේ නොයෙකුත් බාධක මැදය. රිදීවිල හෝටලයට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙකී ජීප් රථවල නැගී ලෝක උරුම ගාලූකොටුවේ හා ගාලූ නගරයේ රවුමක් යෑමට අවස්ථාව උදාවන්නේය. සැබැවින්ම ලෑන්ඞ් රෝවර් රථයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.

1945 දී දෙවන ලෝක යුද සමයත් සමඟම, සිවු බල රෝද සහිත (4 wheels- 4X4) මෝටර් රථයක් සඳහා අවශ්‍යතාවය ඇති වූයේ ගොඩබිම මෙන්ම, මඩ ගොහොරු හා කැලෑවද පීරමින් ගමන් කළ හැකි වාහනයක් නොතිබූ බැවිනි.

සංචාරකයින් ටුවර් යන්න කැමැති ගාලු පුරේ පරණ කාර්-ජීප්

කාර්මික විප්ලවයට පෙර හිරු නොබසින රාජ්‍යය හෙවත් මහා බි‍්‍රතාන්‍ය කෘෂිකාර්මික ස්වරූපයක් ගත් නිසා බැවින් මෙවැනි වාහනයක ඇති අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. Rover සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂක වූ Spencer මහතාගේ මූලිකත්වයෙන් Maurice මහතා විසින් මෙකී රථය 1946 දී Solihull ග‍්‍රාමයෙහි නිර්මාණය කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉතිරිව තිබූ යකඩ සහ අබලි ද්‍රව්‍ය සුලභව තිබීම මේ සඳහා කදිම තෝතැන්නක් විය. ඉක්බිත මොවුන් ගේ අභිලාෂය වූයේ ගොවිතැන් කටයුතු කරගැනීම සඳහා වාහනයක් නිපදවීමය. න`ගුලක් සහිත මුලින්ම නිපදවූ මෙම වාහනය බොල් වී අයින් කර ගැනීම දක්වා සඳහා සියලූම අංගෝපාංගවලින් සමන්විතවූ එකකි.

1948 දී ඇමස්ටඩ‍්‍රෑම් මෝටර් රථ ප‍්‍රදර්ශනයේදී Land Rover ලෙසින් හඳුන්වාදුන් මෙම හුරුබුහුටි බහුවිධ රථය ලොව කොයිකාගේත් සිත් දිනා ගැනීමට හැකිවිය. තිරස් සහ සිරස් හැඩතල වලින් පමණක් රුව ගන්වමින් අඟල් 80 දිගැති මෙම වාහනය ඇලූමිනියම් වලින් නිර්මාණය වූවකි. මෙම ජීප් රථය Land Rover series I නමින් හඳුන්වා ඇත්තේ තවත් ඉදිරියට යාවත්කාලීන කරමින් දිගු ගමනක් යෑම සඳහාය. ඉන්පසු ඔවුන්ගේ සිහිනය මල්ඵල ගන්වමින් හඳුනාගත් අඩුපාඩු සහ දෝෂ නිවැරදි කරමින් 1958 දී Series II නමින් රථයක් නිෂ්පාදනය විය.

ලෝකයේ නන් දෙසින් මෙකී රථය සඳහා ඇනවුම් ලැබුණි. ලේලන්ඞ් සමාගම සමග එක්වී නිෂ්පාදනාගාරයද පුළුල් කිරීමත් සමග ලෝකයේ ඇති සියලූම කෘෂිකාර්මික රටවලින් මේ සඳහා විශාල ඇනවුම් ලැබිණි. ඔවුන් තවත් ඉදිරියට පා තබමින් 1961දී series IIA නමින් නැවතත් රථයක් හඳුන්වා දෙනු ලැබීය. එමෙන්ම බි‍්‍රතාන්‍යයේ රාජකීය පහසද ලැබුවේ ඔවුන්ගේ නිල රථය සඳහා මෙය තෝරා ගත්දා සිටය. ඒ සමගින් මෙම රථයට මුළු ලොවම වසඟයට පත්කර ගැනීමට හැකිවිය. ලෝකයේ සියලූ කෘෂිකාර්මික රටවල් කාර්මීකරණයට නතුවීමත් සමග මෙකී රථයේ අවශ්‍යතාවය අඩුවන්නට විය. ඒ වෙනුවට සුඛෝපභෝගී රථයක් ලෙසින් 1971දී Series III නමින් රථයක් නිෂ්පාදනය කරනු ලැබීය. ඒ කොයිහැටි වුවද මෙකී රථයේ මුල් ආකෘතිය වෙනස් නොකිරීමට අදාළ සමාගම විසින් කටයුතු කරණු ලැබීය. මේ අතර ජපනුන් මෝටර් රථ නිෂ්පාදනය අතින් අනෙකුත් රටවල් අභිබවා යෑමට හපනා විය. මේ හේතුවෙන් Rover සමාගමට ලොකු අභියෝගයක් විය. එහෙත් මෙම Land Rover රථයට කොයිකවුරුත් ඇලූම් කරණු ලැබීය. ජපනා හපනා යන කියමන සපත කරමින් ජපාන සමාගම විසින් Land Rover සන්නාමය නතු කර ගැනීම සඳහා Land Cruiser නමින් වාහනයක් මුල් සමාගමට නොදෙවෙනි තාක්ෂණයක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී ජීප් රථ සඳහා තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන්නට වැඩිකාලයක් ගත නොවීය.

සංචාරකයින් ටුවර් යන්න කැමැති ගාලු පුරේ පරණ කාර්-ජීප්

1990 දී Land Rover Defender නමින් වාහන කිහිපයක් නිෂ්පාදනය කරණු ලැබීය. එම ජීප් රථ 90, 110, 130 නමින් ප‍්‍රචලිත විය. තරගකාරීත්වය නිසාම මෙකී ජීප් රථවල නාමය Range Rover දක්වා වෙනස් විය. අදටත් DEFENDER නාමය ලොවපුරා බැබළෙන අතර ශ‍්‍රී ලංකාවෙහි වඩා ප‍්‍රචලිත වී ඇත්තේ ප‍්‍රභූ ආරක්ෂාව සඳහා සපයන අධිබලැති, අධි ධාවනකාරී ‘‘ආරක්ෂකයා” ලෙසිනි. එදා ගොවිතැන සඳහා යොදාගත් මෙම රථය අද නවීන තාක්ෂණයෙන් සන්නද්ධවී එම වෘත්තීයටම වක‍්‍රාකාරයෙන් පිටුවහලක් කෙරෙන බව දෛවෝපගත සිදුවීමකි.

මේ වනවිට සංචාරක සමය ආරම්භවී ඇත්තේය. සුමිත් උබේසිරි මහතා විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීම සඳහා ආරම්භ කළ මෙකී ව්‍යාපෘතිය ගැන මෙසේ කීවේය.

විදේශීය සංචාරකයන්ගෙන් මගේ හෝටලය පිරීගොස් තියෙනවා. සියලූ කාමර බුක් කරලා තියෙනවා. මේ සංචාරක සමය ඉතා හොඳයි. අපේ හෝටලය සඳහා පැමිණෙන විදේශික සංචාරකයන් වෙනුවෙන් තමයි මෙම ලෑන්ඞ් රෝවර් ජීප් රථ වෙන්කරලා තියෙන්නේ. විදේශිකයන් ගාලූ නගරය සහ ලෝක උරුම ගාලූ කොටුව වටා මෙම වාහන වලින් රැගෙන යනවා. මෙම වැඩසටහන ගාලූ නගරයට පමණක් නොව මුළු මහත් ශ‍්‍රී ලංකාවටම කීර්තිය ගෙන දෙන ව්‍යාපෘතියක්. විදේශිකයන් ආකර්ශනය කරගැනීම සඳහා අපි සාම්ප‍්‍රදායික දේවල් කරනවාට වඩා අලූත් දේවල් කළ යුතුයි. විදේශිකයන් පෞරාණික දේවල්වලට ගොඩක් කැමතියි. මෙකී ව්‍යාපෘතිය සංචාරකයන් අතර ආකර්ශනයට ලක්වෙලා තියෙනවා. මීට අමතරව තවත් ඉපැරණි මෝටර් රථ රාශියක් මා සතුව තියෙනවා. මේ අතර 1937දී නිෂ්පාදනය වූ Alvis Speed මෝටර් රථය මිල නොකළ හැකි එකක් 1958 දී නිෂ්පාදනය වූ Wolosely මෝටර් රථ රාශියක් ද තියෙනවා. ඉපැරණි මෝටර් සයිකල්ද මා සතුව තියෙනවා යැයි සුමිත් උබේසිරි මහතා කිවේය.

වැලිගම, මිරිස්ස, උණවටුණ, හික්කඩුව යන සංචාරක කලාප මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරීගොස් ඇත්තේය. කොටින්ම කිවහොත් මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට නව අරුණලූ උදාවෙමින් ඇත්තේය. මෙරට වෙරළ තීරයට ස්වාභාවික පරිසරයට වහවැටී එහි සුන්දරත්වය විඳදරා ගැනීමට විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙති. වැලිගම මිරිස්ස යන සංචාරක කලාප සංචාරක සමය ආරම්භවීමත් සමග විදේශීය සංචාරකයන්ගෙන් පිරීගොස් තිබුණි. මිරිස්ස වෙරළ තීරයේ විදේශීය සංචාරකයන් ඒ මේ අත ඇවිදමින් ඔවුන් රිසිසේ විනෝදවන අයුරු අප කළ සංචාරයේ දී දැකගත හැකිවිය.

මිරිස්ස වැලිගම යන සංචාරක කලාපවල හෝටල් හිමියන්ගේ හා සංචාරක කර්මාන්තයේ නිරත අයගේ අතමිට සරුවෙමින් තිබේ. විදේශීය සංචාරකයන් පැමිණීමත් සමග තැඹිලිගෙඩිය විකුණන වෙළෙන්දාගේ සිට මහාපරිමාණ හෝටල් හිමියා දක්වා උදාවී ඇත්තේ හොඳ කලදසාවකි. කොවිඞ් වසංගතයත් සමග මෙරට සංචාරක කර්මාන්තයට උදාවූයේ නරක කලදසාවකි. සංචාරක කර්මාන්තයේ නිරත විශාල පිරිසකට රැකියා අහිමිවූහ. කොටින්ම කිවහොත් ඔවුන්ට යන එන මංනැතිවූහ. සංචාරක කලාප වෙරළ තීරයන් පාළුවට ගොස් තිබුණි. එහෙත් මේ වනවිට රට විවෘතකොට දෙස් විදෙස් සංචාරකයන් පැමිණීමත් සමග එකී සංචාරක කලාප කාර්යබහුල තත්ත්වයට පත්වෙමින් ඇත්තේය.

සැබවින්ම මිරිස්ස වෙරළ තීරය ඉතා ආකර්ශනීය වෙරළ තීරයකි. විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීම සඳහා රාත‍්‍රි කාලයට මෙකී වෙරළ තීරයේ නොයෙකුත් සාදයන් පවත්වති. එම සාදයන් සඳහා දෙස් විදෙස් සංචාරකයන් ද එක්වෙති. රාත‍්‍රියේ ආරම්භ කරන ඇතැම් සාදයන් අලූයම තෙක් පැවැත්වෙන අතර ඒ තුළ හරි අපූරු දේවල්ද සිදුවෙති. ඒ විතරක් නොව විදේශීය සංචාරකයන් වෙනුවෙන් මිරිස්ස මුහුදු තීරයේ බෝට්ටු තුළද විවිධ සාදයන් පවත්වති. ඇතැම් විදේශීය සංචාරකයන් තම උපන්දින සාද පවත්වනු ලබන්නේ මුහුදු තීරයේ නවතා ඇති මෙකී බෝට්ටු තුළදීය. කොවිඞ් වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදේශීය සංචාරකයන් නිදහසේ තමන්ට රිසි සේ විනෝදවීමට අවස්ථාව උදාවී ඇත.

මිරිස්ස සංචාරක කලාපයේ අසිරිය විඳදරා ගැනීම සඳහා වැඩිවශයෙන් පැමිණ ඇත්තේ රුසියානු හා ඉන්දීය ජාතික විදේශිකයන්ය. ඒ අතර යුරෝපීය රටවල සිටද විදේශීය සංචාරකයන් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටිති. ජර්මනියේ සිට මෙරටට පළමුවරට පැමිණි එම්. ජුලියා මිරිස්ස වෙරළ තීරයේ දී අපට හමුවිය. ඇය අපිත් සමග කතාබහට වැටුණාය.

ලංකාවට පළමු වතාවට තමයි පැමිණියේ ලංකාවේ සති හතරක පමණ කාලයක් ගතකරනවා. ශ‍්‍රී ලංකාව ඉතා ලස්සන රටක්. මෙරට මිනිස්සු හරිම ප‍්‍රියමනාපයි. සුහදශීලීයි. ආගන්තුක සත්කාර අතින් ඉතා විශිෂ්ඨයි. මෙරටට පැමිණ කෙළඹින් තමයි අපි සංචාරය ආරම්භ කළේ. හික්කඩුව සහ ගාල්ලට ආවා. මිරිස්සේ දින කිහිපයක් ගත කරනවා. උඩවලව, ඇල්ල වැල්ලවාය හරහා හපුතලට ගොස් සීගිරියෙත් සංචාරය කරන්න තමයි බලාපොරොත්තු වන්නේ. කොවිඞ් එන්නත ලබා ගත්තා. පී.සී.ආර්. වාර්තා බලලා තමයි අපිට ලංකාවට එන්න අවසර දුන්නේ. ඇත්තටම කොවිඞ් වංසගත කාලය අපිට ඉතා දුක්බර කාලයක් වුණා. රට වසා තිබූ කාලයේ දී නිවෙස්වලට වී ගත කිරීමට සිදුවුණා. නිවෙස්වලින් පිටතට පවා බැසීමට නොහැකි වුණා. සතියකට පමණ අවශ්‍ය කෑම බීම තබාගෙන සිටියා. මේ කාලය තුළදී නිවෙස්වල ගත කිරීමට අපිට ඉතා අපහසු වුණා. වෙළෙඳසල් නම් වැසුවේ නැහැ. විදේශිකයන් ආවේ නැහැ. ඇත්තටම කොවිඞ් කාලයේ දී ලංකාවේ ඉන්න තිබුනා නම් ගොඩක් හොඳයි. අපිට පුදුම නිදහසක් දැනෙන්නේ. නැවත වතාවක් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා යැයි ජූලියා කීවාය. ජූලියා සමග ජර්මනියේ සිට මෙරටට පැමිණි එස්. අන්යා නැමති විදේශීය කාන්තාවද ලංකාව ගැන කතා කළේ ඉතා ආඩම්බරයෙනි.

සංචාරකයින් ටුවර් යන්න කැමැති ගාලු පුරේ පරණ කාර්-ජීප්

ලංකාව ඉතා ලස්සන රටක්. මම ලංකාවට පැමිණියේ දෙවැනි වතාවට. ජර්මනියේ වියදම වැඩියි. ජර්මනිය එක්ක බලනවිට ලංකාවේ වියදම ගොඩක් අඩුයි. කොළඹදී එක් කෑම වේලක් සඳහා අපි දෙදෙනාට වැය වුණේ ඩොලර් 25ක මුදලක්. නමුත් ජර්මනියේ ඒ සඳහා ඩොලර් 100ක පමණ මුදලක් වැයවෙනවා. හෝටල් ගාස්තු ගොඩක් අඩුයි. ඒ විතරක් නෙවෙයි ලංකාව ආරක්ෂිත රටක්. කොවිඞ් වසංගතය ඉතා හො`දින් පාලනය කරලා තියෙනවා. ඒ නිසා කිසිදු බයක් නැතිව මෙරට සංචාරය කිරීමට එන්න පුළුවන්. අපේ මිතුරන්ට මිතුරියන්ටද කියනවා කිසිදු බියක් නැතිව ලංකාවේ සංචාරය කරන්න කියා ආනියා කීවාය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment