සංචාරක කර්මාන්තයෙන්  ඩොලර් අර්බුදය ජයගත හැකි ද?

895

* සංචාරක ආදායම් අහිමි වීම

 ගිය වසරේ (2021) අග සිට මෙරට සංචාරක පැමිණීම් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. සංචාරක පැමිණීම් වර්ධනය වන විට ඒ සමගම අපට ලැබෙන සංචාරක ඉපැයුම් ද ඉහළ යයි. බරපතල විදේශ විනිමය අර්බුදයක ගිලී සිටින අපට මෙසේ සංචාරක පැමිණීම් වර්ධනය වීම ඉමහත් අස්වැසිල්ලකි. ඇත්ත වශයෙන්ම කලක් තිස්සෙම පවතින අපේ විනිමය අර්බුදය කොවිඞ් වසංගතය නිසා වඩාත් උග‍්‍ර විය. ඒ සඳහා සංචාරක කර්මාන්තයෙන් ලැබෙමින් තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට අධික විදේශ විනිමය ආදායම අහිමි වීම ද ප‍්‍රධාන සාධකයක් විය. ඒ අතරම විදේශ විනිමය පේ‍්‍රෂණ අඩු වීම ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වීමට හේතුවක් වී තිබේ. අපේ ඩොලර් අර්බුදයට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙමින් තිබුණු මුදල් අහිමි වීම ද සැලකිය යුතු ප‍්‍රධාන සාධකයක් වූ නිසා සංචාරක කර්මාන්තය වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් ඩොලර් අර්බුදය ජය ගැනීමට සැලකිය යුතු දායකත්වයක් මැදි හා දිගුකාලීන වශයෙන් අනිවාර්යයෙන්ම ලැබේ. සංචාරක කර්මාන්තයෙන් පමණක් අපට ඩොලර් අර්බුදය ජයගත හැකි නොවේ. එහෙත් එමගින් ලබාගත හැකි උපරිම දායකත්වය අප ලබාගත යුතුමය. අලූතින් ප‍්‍රවර්ධන කටයුතු ද සිදුකර සංචාරක පැමිණීම් සහ සංචාරක ඉපයුම් උපරිම කරගත යුතුමය.

සංචාරක කර්මාන්තයෙන්  ඩොලර් අර්බුදය ජයගත හැකි ද?


* සංචාරක පැමිණීම් වර්ධනය

 වසංගතය සමනය වීමත් සමග උදා වී ඇති නව සාමාන්‍ය තත්ත්වය යටතේ ලෝකයේ රටවල් අතර සංචාරය සැලකිය යුතු දුරකට නැවත ආරම්භ වී ඇත. ඒ අනුව ලෝකයේ වෙනත් රටවල මෙන්ම අපේ රටේ ද සංචාරක පැමිණීම් වැඩි වීම අනිවාර්යයෙන්ම සිදුවේ. එය සාමාන්‍ය දෙයකි. අපේ රටේ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදුවීම ද එසේම මේ කාලයේ සංචාරය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත රටක් ලෙස අපේ රට ලෝකයේ ප‍්‍රචලිත වීම තුළ මේ සංචාරක පැමිණීම් වර්ධනය වීමක් අනිවාර්යෙන්ම සිදු වේ. එහෙත් එයින් පමණක් අපට සෑහීමට පත් විය හැකි ද? කිසිසේත්ම නැත. ඒ ගැන පමණක් සතුටු වී සිටීම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා මේ නව සාමාන්‍ය කාලයට ගැළපෙන අලූත් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම ද ඉතා වැදගත්ය. ඒ තුළින් අපට මේ පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය තවත් විශාල වශයෙන් වර්ධනය කර ගැනීමට හැකියාවක් තිබේ. මේ අනුව රජය මෙන්ම පෞද්ගලික සංචාරක ආයතන විසින් නොයෙකුත් සංචාරක ප‍්‍රවර්ධනයන්ට යොමු වෙමින් තිබේ.

සංචාරක කර්මාන්තයෙන්  ඩොලර් අර්බුදය ජයගත හැකි ද?


* ‘එක දිවයිනක් – ආකර්ෂණයන් දහසක්’

 මේ අනුව ශ‍්‍රී ලංකාවේ සංචාරය ප‍්‍රවර්ධනයට ‘එකම දිවයිනක් – ආකර්ෂණයන් දහසක්’ (One Island, A Thousand Treasures) නම් නවතම සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කිරීම සංචාරක ක්ෂේත‍්‍රයේ නායකයන් රැුසකගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (22* කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ දී සිදු විය. ශ‍්‍රී ලංකාවේ සංචාරය සඳහා යළි ලොවට ඇරයුම් කරමින් මේ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් විය. දශක ගණනාවක් තිස්සේ ශ‍්‍රී ලංකාව ‘නැරඹිය යුතුම’ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් සිනමන් හොටෙල් සහ රිසෝර්ට් විසින් විශාල දායකත්වයක් දක්වමින් තිබේ. මේ ආයතනය ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග එක්ව එහි සහාය ද ඇතිව මේ ‘එකම දිවයිනක් – ආකර්ෂණයන් දහසක්’ නම් වූ නවතම සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන පෙරේදා දියත් කරනු ලැබීය. මෙය දියත් වූයේ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය සහ සිනමන් හොටෙල් සහ රිසොර්ට්හි ප‍්‍රධාන විධායක නිලධාරී මයිකල් ස්වෙන්සන් මහතා ඇතුළු සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් රැුසකගේ සහභාගිත්වයෙනි.

සංචාරක කර්මාන්තයෙන්  ඩොලර් අර්බුදය ජයගත හැකි ද?

මෙම නවතම වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකාව පිළිබඳ අප‍්‍රකට පුරාවෘත්තයන් හෙළි කරමින් ලෝකයේ බොහෝ සංචාරකයින් විසින් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන සංස්කෘතිකමය වශයෙන් සුවිශේෂී වූ අදාළ කතාන්දරයන් ඔවුන් අතර ප‍්‍රචලිත කිරීමයි. සාමාන්‍ය ගමන් හා විනෝද චාරිකාවන්ගෙන් ඔබ්බට යමින් ශ‍්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන, පුද්ගලයන් සහ සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම සිනමන් ආයතනයේ අපේක්ෂාව වී ඇත. එහිදී සමාජ මාධ්‍ය හා ඩිජිටල් අලෙවිකරණ අවකාශයන් හරහා ලොව පුරා රසිකයින් සම්බන්ධ කර ගනිමින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට හා එම අත්දැකීම් විඳ ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීම සිදු වනු ඇත.

 මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය කීවේ මෙම නවතම වැඩසටහන තුළ වර්ධනය වෙමින් ඇති නිර්මාණාත්මක අන්තර්ගතය හා සිත්ගන්නාසුලූ කතාන්දර ඉදිරිපත් කිරීමේ ප‍්‍රවණතාව නිසාම ඒ සමඟ එක් වන්නට ලැබීම පිළිබඳව සතුටට පත් වෙන බවයි. ඇය එහිදී මෙසේ ද කීවාය.

 ‘වැඩසටහනට සම්බන්ධවීම තුළින් වැඩසටහන් නිර්මාණකරුවන්, සමාජ මාධ්‍ය බලපෑම් සිදුකරන්නන් හා සංචාරකයින් එක්ව සැබැවින්ම දකින දේ සහ ඇසෙන දේ සොයා ගැනීමේ අභියෝගය භාරගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ශ‍්‍රී ලංකාව තුළ දැන ගැනීමට ඇති බොහෝ වටිනාකම් ඇති බවට කිසිදු සැකයක් නොමැති අතර වඩා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමේදී මේ ආකාරයේ වැඩසටහනක් ඉතා වැදගත් වන බවද මෙහිදී සඳහන් කළ හැකියි.

 * සංචාරක ඉලක්ක

 සංචාරක ඉලක්ක ජය ගැනීම සඳහා මෙවැනි නව වැඩසටහන්වලින් විශාල දායකත්වයක් ලැබෙන බවට කිසිම සැකයක් නැත. රජය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන ද මෙවැනි නව සංචාරක ප‍්‍රවර්ධන කටයුතු කිරීම රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට විශාල ශක්තියක් වනු ඇත. මේ කර්මාන්තයෙන් යැපෙන විශාල පිරිසක් සිටී. ඔවුන් සියලූ දෙනාම පාහේ කොරෝනා වසංගතය හමුවේ දිගුකලක් ගත කළේ ඉතා දුෂ්කර කාලයකි. සංචාරක කර්මාන්තය තවමත් මුළුමනින්ම යථා තත්ත්වයට පත් වී නැත. නව ප‍්‍රවර්ධන වැඩසටහන් සහ නව උපායමාර්ග හරහා මේ කර්මාන්තය වේගයෙන් යථා තත්ත්වයට පත් කරගත හැකිය. සංචාරක සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු පවසන පරිදි මේ වසරේ (2022) මෙරටට ලක්ෂ 11 ක පමණ විදෙස් සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම මේ රජයේ ඉලක්කය වන්නේ ඉදිරි කාලයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක පමණ ආදායමක් සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීමට බව පෙරේදා මෙම ‘එකම දිවයිනක් – ආකර්ෂණයන් දහසක්’ වැඩසටහනට එක් වෙමින් සංචාරක ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. ශ‍්‍රී ලංකාවේ බොහෝ සැඟවුණු දේ ඇති බවත් එම ආකර්ෂණයන්ගෙන් අප නිසි ලෙස ප‍්‍රයෝජන ගෙන නැති බවත් ඔහු කීවේය.

 නව ප‍්‍රවර්ධන වැඩසටහන ගැන සිනමන් හොටෙල් සහ රිසොර්ට්හි ප‍්‍රධාන විධායක නිලධාරී මයිකල් ස්වෙන්සන් මහතා මෙසේ කියා කීවේය.

 ‘මේ වැඩසටහන තුළින් අප පොදුවේ දකින දේට වඩා අප‍්‍රකට ස්ථාන හා අත්දැකීම් පිළිබඳ දැනුවත් කිරීමෙන් ලෝකය තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට අපි කටයුතු කරමින් සිටිනවා. මෙම නවතම අත්දැකීම් පිළිබඳව වඩා හොඳින් සොයා බැලීම වෙනුවෙන් සංචාරකයින් දිරිමත් කිරීමට මෙම වැඩසටහන පිටිවහලක් වනු ඇති අතරම ඒ තුළින් ශ‍්‍රී ලංකාව සංචාරකයන්ට යළි යළිත් රස විඳිය හැකි ගමනාන්තයක් බවට පත් කිරීමේ හැකියාව උදා වනවා. විශේෂයෙන් සොයා නොගත් ස්ථානයන්, දශක ගණනාවක් පුරා පෙන්නුම් කර ඇති අසමසම හැකියාවන් හා හෙළි කර නොමැති සංස්කෘතික වටිනාකම්වලින් පොහොසත් රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටත්වය අන්තර්ජාලය හරහා ප‍්‍රදර්ශනය කර ශ‍්‍රී ලංකාව නැරඹිය යුතුම ගමනාන්තයක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් ලෙසද සඳහන් කළ හැකියි.

 එසේම මෙම වැඩසටහන තුළින් දේශීය කලා ශිල්ප නගා සිටුවීම මෙන්ම දේශීය ප‍්‍රජාවන් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් නිර්මාණය කිරීම ද අරමුණු කොට තිබීම තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. බොහෝ දෙනා නොදන්නා සිදුවීම් සහ ඉතිහාසය ප‍්‍රවර්ධනය කිරීම තුළින් ආකර්ෂණීය සංචාරක නැවතුමක් සංචාරකයන් වෙත පිරිනැමීම තුළින් රටට තවත් බොහෝ දේ ලැබෙනු ඇති අතර එය මෙම ව්‍යාපාරයේ ප‍්‍රමුඛ අරමුණක් වන තවත් බොහෝ කර්මාන්තයන්හි පාර්ශ්වකරුවන් රැසකට ද සුවිසල් අස්වැසිල්ලක් වනු නිසැකය.’

 * ඩිජිටල් නිර්මාණ

 මේ වැඩසටහන යටතේ ඩිජිටල් නිර්මාණකරුවන් හට සිනමන් හොටෙල් සහ රිසොර්ට් කණ්ඩායම සමඟ එක්ව One Island Thousand Treasures වෙබ් අඩවිය හරහා හෝ ෆේස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම් එසේත් නොමැති නම් යූටියුබ්හි සිනමන් හොටෙල් හා One Island Thousand Treasures ටැග් කිරීම තුළින් ඔවුන් මෙතෙක් සිදුකර ඇති සොයා ගැනීම් පටිගත කර බෙදා ගැනීමට අවකාශ උදා වේ. සුවිශේෂී ස්ථානයක්, පුද්ගලයන් හෝ සංස්කෘතිකාංග පිළිබඳව නිවැරදි ශ‍්‍රී ලාංකේය තොරතුරු ඇතුළත් කතාවක් ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟින් එම එක් එක් යොමු කිරීම් සමාලෝචනය කරනු ලබයි. තෝරාගත් වටිනා තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන් හෝ අන්තර්ගත නිර්මාණකරුවන් හට සිනමන් හොටෙල් සහ රිසොර්ට් ඇතුළු තවත් සන්නාම රැුසක අනුග‍්‍රාහකත්වය යටතේ සුවිශේෂී ප‍්‍රවර්ධන වට්ටම්, දීමනා සහ සංචාරයන් හිමිකර ගැනීමට ද මේ යටතේ අවස්ථාව උදාවන බව ද මේ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමේ දී අදහස් දක්වමින් සිනමන් හොටෙල් සහ රිසොර්ට් උප සභාපති (අලෙවිකරණ සහ උත්සව) දිලිප් මුදාදෙණිය මහතා කීවේය.

 * ගෝලීය ප‍්‍රවර්ධන වැඩසටහන

 ශ‍්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරෙන ගෝලීය ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මේ වසරේ (2022) දෙවන කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ලබාදීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එකඟත්වය පළ කළ බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක කර්මාන්තය පිළිබඳව පසුගියදා (21) මුදල් ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡුාවකදී මෙම එකඟතාව පළ වූ බව ද සංචාරක ඇමැතිවරයා පවසයි.

 මෙරට ප‍්‍රධාන සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගෝලීය ප‍්‍රවර්ධන වැඩසටහනක් වසර 5ක් තුළ ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ගිය වසරේ (2021) හිමි විය. මේ වසරේ (2022) දෙවන කාර්තුවේ සිට එය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ වනවිට ඊට අදාළ මූලික කටයුතු සිදුකර තිබෙන බව ද සංචාරක ඇමැතිවරයා කියයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ප‍්‍රචාරක වැඩසටහන් කළමනාකරණ ඒකකයක්, නිර්මාණාත්මක නියෝජිතායතනයක් හා ඩිජිටල් නියෝජිතායතනයක් පත් කිරීම සඳහා කටයුතු කරමින් තිබේ. එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව, චීනය, ඔස්ටේ‍්‍රලියාව, රුසියාව, මැදපෙරදිග, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව, ස්පාඤ්ඤය, ස්කැන්ඩිනේවියාව ඇතුළු රටවල් 16 ක් මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් වේ. මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මහජන සබඳතා සමාගම් පත් කිරීමට නියමිතව තිබේ. ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සංචාරක විෂය භාරව කටයුතු කළ කාලයේ දී ගෝලීය සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් වූ බව අපට මතකය. එවකට සංචරක සභාපති ලෙස භාෂ්වර සේනාංක ගුණරත්න මහතා කටයුතු කළේය. ඉන්දියාවේ සහ චීනයේ පැවති සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් දෙකකට සහභාගී වීමට මේ ලියුම්කරු ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ද අවස්ථාව ලැබිණි. ඒවා ඉතා ප‍්‍රතිපලදායි විය. මේ වැඩසටහන් නිසා සංචාරක පැමිණීම් විශාල ලෙස ඉලක්ක සපුරමින් වර්ධනය වූ බව ද අපට මතකය. මේ නිසා කොහොමත් සිදුවන සංචාරක පැමිණීම් වැඩි වීමෙන් අමන්දානන්දයට පත් නොවී සංචාරක පැමිණීම් උපරිම කරගත හැකි ප‍්‍රවර්ධන කටයුතු සහ නව උපායමාර්ග වෙත යොමුවීමෙන් අපට වඩාත් සාර්ථක ප‍්‍රතිඵල උදාකරගත හැකිවනු ඇත. සංචාරක කර්මාන්තයෙන් පමණක් ඩොලර් අර්බුදය ජයගත නොහැකි බව ඇත්තය. එහෙත් ඒ සඳහා විදේශ විනිමය උපයා ගැනීමේ බහුවිධ ක‍්‍රියාමාර්ග අවශ්‍ය වේ. එහිදී සංචාරක කර්මාන්තයෙන් ලබාගත හැකි දායකත්වය ද ඉතා සුවිශාලය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment