සංචාරක කර්මාන්තය දේශීය සංගීතයෙන් සුවපත් කිරීමට නම්…

184

ලෝකයේ රට රටවල සංචාරයේ නිරත විදේශිකයන්, තම තමන්ගේ සංචාරය පිණිස තෝරා ගන්නා රටවල් අතරට මෙරට ද එක්කර ගැනීමට නිතර උත්සාහ දරන්නේ මෙරට දී දකින්නට ලැබෙන පරිසර සෞන්දර්ය ඇතුළු තවත් කාරණා රැසක් මුල්කර ගනිමින්ය. ඒ අතරින් ශ්‍රී ලාංකිකයන් සතු ආගන්තුක සත්කාරයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්ය. සංචාරකයන් තුළ මෙරට සම්බන්ධව එවැනි ප්‍රතිරූපයක් පැවැතියේ මීට කලකට ඉහතය. රට තුළ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමග විදේශිකයන් ‘ඇන්දවීම’ තම බඩගෝස්තරය කරගත් පිරිසක් වේගයෙන් බිහිවීමත් සමග ක්‍රමයෙන් මෙරට පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ විදේශිකයන් තුළ පැවැති යහපත් ප්‍රතිරූපය බිඳ වැටීම ආරම්භ විය.

සංචාරක කර්මාන්තය දේශීය සංගීතයෙන් සුවපත් කිරීමට නම්…

මෙම සටහන තබනු ලබන්නේ මෙරට දී මේ වනවිට ද විදේශිකයන් රවටන එක් මාදිලියක් පිළිබඳ හෙළිදරව්වක් පිණිස ය. දකුණු ලක, ආරුගම්බේ හා ත්‍රිකුණාමලය ආශ්‍රිත වෙරළ තීරය තුළ පිහිටි ඇතැම් සංචාරක හෝටල්, රෙස්ටුරන්ට් ආශ්‍රිතව මේ කියන්නට යන ‘ඇන්දවීම’ ජයටම සිදුවන අතර බොහෝ තැන්වල එය නම් කරනු ලබන්නේ ‘SRI LANKAN NIGHT’ යනුවෙන්ය. විදේශිකයන්ට ඉහළ ආස්වාදයක් ලබාදීමත් දේශීය සංගීතය ඔවුන් අතර ප්‍රචලිත කිරීමත් අරමුණින් සංවිධානය කරන ‘SRI LANKAN NIGHT’ පිටුපස පවතින මෙතෙක් හෙළිදරව් නොවූ ඇත්ත සහ එය නිවැරැදි ආකාරයෙන් සිදුකිරීම තුළ රටට අත්වන ප්‍රතිලාභ පිළිබඳව අප හා විස්තර කර සිටින්නේ කැලිෆ් ෂෝ ප්‍රසංග තුළින් විදේශිකයන් සතුටු කිරීම තම වෘත්තිය බවට පත් කරගත් තරුණ සංගීත ශිල්පීන් පිරිසක් විසින්ය. ඔවුන් වැඩිදුරටත් හෙළිදරව් කර සිටින්නේ උසස් රසඥතාවයකින් යුත් දේශීය සංගීතය එය රස විඳීම පිණිස විදේශීය සංචාරකයන් ඉහළ කැමැත්තක් දක්වන බවත් ඒ තුළින් මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ දියුණුව පිණිස විශාල වැඩ කොටසක් කළ හැකි බවත්ය. එහෙත් ඒ පිළිබඳ ඇතැම් සංචාරක හෝටල් හිමියන් මෙන්ම සංචාරක ව්‍යාපාරය සම්බන්ධ නිලධාරීන්ගේ අවධානය තවමත් යොමු නොවීම හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව තම වෘත්තීය ජීවිතය පවත්වාගෙන ගිය සංගීත ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේ වනවිට රට හැර ගොස් ඇති බව ඔවුන් නඟන තවත් චෝදනාවක්ය. මේ පිළිබඳව අප විසින් කරන ලද වැඩිදුරටත් සොයා බැලීමේ දී හික්කඩුව, ගාල්ල සංචාරක කලාප ආශ්‍රිතව ‘කැලිෆ් ෂෝ’ ප්‍රසංග පිණිස තම නිර්මාණාත්මක කුසලතාවයෙන් දායකත්වය සපයන තරුණ සංගීතවේදියකු සඳහන් කර සිටියේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නිහඬවීමත් සමග එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් සියල්ල මුදල මත තීරණය වීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවත්ය. තවමත් එම ක්‍ෂේත්‍රයේ නිරත වන බැවින් නම් ගම් හෙළිකිරීමෙන් වැළකී සිටි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කර සිටින්නට විය.

සංචාරක ව්‍යාපාරය කියන්නේ ලෝකය පුරා ක්‍රියාත්මක දැවැන්ත ක්‍රියාවලියක්. එතැන දී විදේශීය ජාතිකයන් විසින් තම තමන්ගේ සංචාරය පිණිස ලංකාව තෝර ගන්නව. එහෙම අපේ රටට පැමිණෙන සංචාරකයන් පිරිස වසරින් වසර අඩු වැඩි වෙනව. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මොකද තමන්ගේ සංචාරය පිණිස රටක් තෝරා ගැනීමේ දී ඒ ඒ රට ඇතුළේ ඒ සඳහා සුදුසු පරිසරයක් පවතිනව ද කියල මූලික අධ්‍යයනයකින් පසුව තමයි නිවාඩුවක් ගතකිරීම පිණිස කුමන රටට යා යුතුද කියල ඔවුන් තීරණය කරන්නෙ. එහෙම එන සංචාරකයන්ට උපරිම පහසුකම් සහ ආස්වාදයක් ලබා දෙන්න ඒ ඒ රටවලට තිබෙන හැකියාව මත තමයි ඕනෑම රටක සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම රැඳී පවතින්නෙ. රටක් ලෙස අපට පුළුවන්නම් කටුනායකින් ලංකාවට එන සංචාරකයව උපරිම තෘප්තියට පත් කරල නැවත කටුනායකින් පිටත් කරල යවන්න ඒ මත තමයි මෙරට සංචාරක ව්‍යාපරයේ හෙට දවස තීරණය වෙන්නෙ.”

දිගු හෙළිදරව්වක් පිණිස ඔහු ආරම්භය ලබා ගත්තේ ඒ ආකාරයෙන්ය. අපගේ කතාබහට නිමිත්ත බවට පත්වන්නේ දේශීය සංචාරක කර්මාන්තයේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ නොව එහි උප සංස්කෘතියක් වන සංචාරක කර්මාන්තය සහ දේශීය සංගීතය පිළිබඳ කතාබහක් පිණිසය. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිණිස ඉදුම් හිටුම්, නවාතැන් පමණක් නොව දේශීය සංගීතය ද බොහෝ දේ කළ හැකි බව ඔහුගේ මතය බවට පත්ව ඇත. ඔහු චෝදනා ස්වරයෙන් ප්‍රකාශ කර සිටින්නේ රටක් ලෙස අපට තවමත් ඒ පිළිබඳ විධිමත් වැටහීමක් නොමැති බවය.

ලෝකයත් එක්ක බොහොම සමීපව ඇසුරක් පවත්වගෙන යන්න කැමැති විදේශිකයන් තමයි රට රටවල නිතර නිතර සංචාරය කරන්න වැඩි වශයෙන් පෙළැඹෙන්නෙ. එහෙම නම් අපි නිතරම හිතන්න ඕන අපේ රටට එන සංචාරකයන් මෙහාට එන්නෙ ලෝකෙ වටේ කරක්ගහල කියල.

එහෙම එන සංචාරකයන් දවල් දවසේ තමන් කැමැති තැන්වල සංචාරය කරල රාත්‍රිය ගත කිරීම පිණිස තෝරාගත් හෝටලයට ආවට පස්සෙ ඒ අයව තව තවත් සතුටු කිරීම පිණිස තමයි කණ්ඩායම් සංගීතය කියන ප්‍රසංගය සංවිධානය කරන්නෙ. මේක ගොඩක් සංචරක හෝටල් ආශ්‍රිතව සිදුකරන ප්‍රසංගයක් බවට මේ වනවිට පත්වෙලා තිබෙනව. විශේෂයෙන්ම මුහුදුබඩ සංචාරක හෝටල් ආශ්‍රිතව තමයි මේ ප්‍රසංගය වැඩිපුර සංවිධානය කරන්නෙ. තරු පන්තියේ ප්‍රධාන හෝටල් ගත්විටත් ඇතැම් තරු පන්ති හෝටල් තුළත් මේ දෙයම සිද්ධ වෙනව. නමුත් ඒ අය කරන්නේ සංගීතය පිළිබඳ ප්‍රවීණයන්ට ආරාධනා කරල ඔවුන්ට හොඳ මිලක් ගෙවල උසස් සංගීත රසයකින් විදේශිකයව සතුටු කරන එක. ඒක හරි. ඒ පිළිබඳව කාටවත් වරදක් කියන්න බැහැ. නමුත් මේ වෙද්දී තරු පන්තියෙන් බැහැර සංචාරක හෝටල් නිවාඩු නිකේතන ආදියේ සංවිධානය කරන කැලිෆ් ෂෝ ප්‍රසංග බොහොමයක් පවතින්නේ ගුණාත්මක බවින් අඩු මට්ටමක. විෂය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් නැති සංගීත ශිල්පීන් ඒ සඳහා යොදා ගැනීම තුළ තමයි මේ ගැටලුව ඇතිවෙන්නෙ. අද ශිල්පීන් තුන්දෙනෙක් දාල කැලිෆ් ෂෝ එකක් කරනවනම් හෝටලයෙන් ගෙවන්නෙ රුපියල් හත්දහස් පන්සීයක් වගේ මුදලක්. ඒ මුදලට ප්‍රවීණ ශිල්පියෙක් එන්නෙ නෑ. ඒ හින්ද යන්තම් ගිටාර් එකක් ගහල සින්දුවක් කියන්න පුළුවන්නම් එහෙම අයට තමයි අවස්ථාව හිමිවෙන්නෙ. එතැනදී දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් ඒ සංගීතය රස විඳින කෙනාට අවශ්‍ය රසය ලැබෙන්නෙ නැහැ. අඩු මිලට තියෙන සංගීතය හෝටලය ඇතුළට ගේනකොට ප්‍රවීණ දක්‍ෂ ශිල්පියාගේ හැකියාව පෙන්වන්න ඉඩ ලැබෙන්නෙ නෑ. අද වෘත්තිය සංගීත ශිල්පීන් ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙන්නෙ ඒකයි. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දවල්ට ත්‍රීවීල් රැකියාව කරන ඇතැම් තරුණයන් රෑට සංගීත ශිල්පීන් විදිහට හෝටලයට එන්නේ.

එම හෙළිදරව්ව ඔස්සේ යමින් හෝටල් කළමනාකාරිත්ව කීපයකින් අපි කළ විමසුමක දී ඔවුන් සඳහන් කර සිටියේ සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉහත සඳහන් තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් ප්‍රමාණවත් තරම් විදේශීය සංචාරකයන් රට තුළට නොපැමිණීම හේතුවෙන් කෙසේ හෝ සංචාරකයන් පිනවීම පොදුවේ ගත්විට ක්‍ෂේත්‍රයට බරපතළ හානියක් ගෙන දෙන කරුණක් වන බවත්ය. එහිදී වෙනස්ම ආකාරයක හෙළිදරව්වක් සිදු කළ අයෙක් සඳහන් කර සිටියේ සංචාරක ආකර්ෂණය පිණිස ප්‍රාසාංගිකව සිදුකළ හැකි බොහෝ දේ පිළිබඳ ශිල්පීය දැනුම මෙරට තුළ ඇතත් සංචාරක හෝටල් ආශ්‍රිතව ඒ සඳහා වේදිකාවක් තවමත් නිර්මාණය වී නෙැමැති බවත්ය.

‘SRI LANKAN NIGHT’ කියල මොනව හරි සින්දු ටිකක් කිව්ව පමණින් සංචාරකයන්ව සතුටු කරන්න බෑ. ඒ අය කට කොනින් හිනාවෙලා තමයි එතැනින් ඉවත්වෙලා යන්නෙ. සොකරි, නාඩගම් නූර්ති ඇතුළු අපේ රටේ තිබෙන විවිධ සම්ප්‍රදායන් වෙනුවෙන් රැයක් නම් කරල ඒ ඒ රාත්‍රියට විශේෂත්වයක් විවිධත්වයක් ගේන්න වැඩපිළිවෙළක් සංවිධානය කරන්න හෝටල් කළමනාකාරිත්වය කටයුතු කරනවනම් ඒ ඒ ප්‍රසංගය විදේශිකයන් අතරට ගෙනියන්න ඒ වගේම ජනප්‍රිය කරන්න අවස්ථාව ලැබෙනව. නමුත් අපේ රටේ හෝටල් කළමනාකාරිත්වයත් ඒ පිළිබඳව උනන්දුවක් නෑ. හැම හෝටලයකම ඒ ඒ කලාවන් පිළිබඳ දැනුමක් සහිත නිලධාරියෙක් ඉන්නව නම් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. පිටරටවල ජෑස්, රොක්වලට වෙන වෙනම වෙන් කළ රාත්‍රීන් තියෙනව. නමුත් අපේ රටේ එහෙම නැහැ. නිස්කලංක රාත්‍රියක බටනළා හඬක් ඇහෙනවනම් විදේශිකයට ඒක අලුත් අත්දැකීමක් වෙනව. අඩුම තරමින් එහෙම අත්හදා බැලීමක්වත් මෙතෙක් සිදුවී නැහැ. රාත්‍රි 7.00 සිට පැය තුන හතරක් අපේ අය සින්දු කිව්ව කියල සුද්දව සතුටු කරන්න බැහැ. මොකද ඔවුන් විශ්ව සංගීතය පිළිබඳ යම් හෝ අවබෝධයක් සහිත පිරිසක් කියල අපි නිතරම හිතන්න ඕන. න්‍ග ඨග සංගීතයට එහෙම නැත්නම් කැරොකේ සංගීතයට සින්දු කිව්ව කියල දේශීය සංගීතය ජාත්‍යන්තරයට ගෙනියන්න බැහැ. මේ වනවිට අපි මොනව කතා කළත් දකුණ හා නැඟෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් පවති සංචාරක කර්මාන්තය තුළ මේ කියන අඩුපාඩුව ලොකුවට ම දැකගන්න පුළුවන්.

රට වැටී ඇති තැනින් තරමක් හෝ උස්සා තැබීම පිණිස පවතින විකල්ප අතරින් සංචාරක ව්‍යාපාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්ය. ඉහත විස්තර කරන ලද්දේ ඒ තුළ හැකි ඉක්මනින් පිළිසකර කළ යුතු එක් පැතිකඩක් පමණය. දේශීය සංගීතය ඇතුළු අනිකුත් සංස්කෘතික අංගයන් සංචාරක කර්මාන්තය තුළ දැන් පවතින තත්ත්වයත් එය වඩාත් යහපත් තැනක් දක්වා දියුණු කළ යුතු ආකාරයත් පිළිබඳ චෝදනා සහ යෝජනා ආදිය ද ඉහත සංවාදයට ලක්කර ඇත. එය බලධාරීන්ගේ උදහසට නොව අවධානය පිණිස යොමුවේනම් ඕනෑම අර්බුදයක් තුළ අවස්ථාවන් මතුවන ආකාරයත් ඒ සඳහා හොඳම විසඳුම් ලබාදීම පිණිස එයට අවස්ථාවක් කර ගතහැකි බවත් අපගේ අවබෝධය බවට පත්ව ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment