සංචාරක ව්‍යාපාරය ගැන හඳුන්ගෙන් රනිල්ට උපදෙසක්…

332

කලක් තිස්සේ රටේ පැවති අර්බුදකාරී අනාරක්ෂිත වාතාවරණය ටිකෙන් ටික පහව ගොස් රට සුරක්ෂිත තත්ත්වයට පත් වුණද රටේ ආර්ථිකය හා සමාජ සුබසාධනය මහජනතාවට හිතකර තත්ත්වයකට පත් වූයේ නැත. මහජනතාව එදා වේල පිරිමහ ගනිමින් මහත් අසීරුවෙන් අසහනයෙන් ජීවත් වන තත්ත්වයට රට පත්ව තිබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර උපකාර ඇතිව ජාත්‍යන්තරයෙන් ද උදව් ලැබී රටේ ප්‍රශ්න ඉතා ඉක්මනින් අවසන් වෙතැයි බොහෝ දෙනා බලා සිටියහ. ඒත් විසඳුමක් පිළිබඳ බලාපොරොත්තුව දවසින් දවස සතියෙන් සතිය ඉදිරියට කල් ගියා මිස අපි හිතන තරම් ඉක්මනින් යථාර්ථයක් වූයේ ම නැත. එහෙයින් ජනතාව සිටියේ අපේක්ෂා භංගත්වයකය.

ජනතාව අපේක්ෂා භංගත්වයෙන් ජීවිත සටනට උර දෙන තවත් සතියක් ඉතා ඉක්මනින් ගෙවී ගියේය. පසුගිය දිනවල රාජ්‍ය අමාත්‍යවරු හතළිස් දෙනකු පත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුවට තවත් අලුත් චෝදනාවක් පැමිණියේය. බොහෝදෙනකු කිව්වේ ජනතාව ඉමහත් අපහසුතාවයෙන් ජීවත් වන අල්ලපනල්ලේ මහජන මුදලින් නඩත්තු කෙරෙන රාජ්‍ය ඇමැතිවරු 40ක් පත්කිරීම ජනතාවට එල්ල කළ බලවත් කනේ පාරක් බවයි.

ඒ අතරතුර කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම පත්කර අවසන් වී තිබුණේ ද නැත. තවත් කැබිනට් ඇමැතිවරු දහ දෙනෙක් හෝ පහළොස් දෙනෙක් පත් කරන්නට නියමිතව ඇති බව විපක්ෂය චෝදනා කළහ. දැනටමත් පොහොට්ටුව තමන්ට තවත් කැබිනට් ඇමැති ධුර 10 ක් අවශ්‍ය යයි කියා ජනාධිපතිවරයාට බලපෑමක් කළ බවට කතාවක් ද පැතිර ගියේ ඒ අතරය.

කෙසේ වුවද ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟතාව පළ කර ඇතැයි වාර්තා විය. එළිසබෙත් රැජනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ලන්ඩනයට යන ජනාධිපතිවරයා එය අවසන් වූ පසුව ජපානයේ සංචාරයකට ද එක්ව ආපසු මෙරටට පැමිණි පසු මෙම ඇමැති පත්වීම් කරනු ඇතැයි වාර්තා විය. ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරු පහළොස් දෙනකුවත් පත් කරන්නට ජනාධිපතිවරයාට සිදු වනු ඇතැයි විපක්ෂය පෙන්වා දුන්නේ චෝදනාත්මක ව ය.

කෙසේ වෙතත් මධ්‍යස්ථ මතධාරීන්ගේ විවේචනය වූයේ රජයේ වියදම් අවම කිරීමට රාජ්‍ය සේවය පවා සීමා කරන්නට යෝජනා කරමින් මහජනතාවට තව තවත් පටි තද කරගන්නැයි කියන ආණ්ඩුව අසීමාන්තිකව ඇමැතිවරුන් පත් කිරීමේදී රාජ්‍ය වියදම් ගැන නොතකා හැරීමයි.

● අභියෝගය සමගම රනිල් ඉදිරියට යයි…

තමන්ගේම පක්ෂයකින් ලැබුණු පාර්ලිමේන්තු බලයක් නොමැතිව පොහොට්ටුවේ බලය මත යැපෙමින් ආණ්ඩුව ගැට ගසාගෙන යෑමට සිදුව ඇති නිසා ජනාධිපතිවරයාට මේ අර්බුදවලට මුහුණ පාන්නට සිදුව තිබිණි.

තත්ත්වය එසේ තිබුණත් ඒ කිසිවකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුබට වූයේ නැත. ඔහු අභියෝගය අතහැරියේ ද නැත. ගමන අසීරු වුණත් ඔහු අභියෝගයත් සමග ඉදිරියට යෑමේ මාර්ගය තෝරා ගත්තේය.

පසුගිය සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතරගම බලා පිටත්ව ගියේය.

සෙනසුරාදා පෝය දිනයේ ජනාධිපති රනිල් කිරිවෙහෙර වැඳපුදාගන්නට ගියේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද ඔහු සමඟ විය. ඒ මොහොතේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද එතැනට පැමිණියේය. එහිදී රාජ්‍ය නායකයා පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහදව කතා බහ කරන්නට පටන් ගත්තේය.

“නිවාඩු කාලේ දැන් කට්ටියම ට්‍රිප් යනවා නේද?” ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසෙන් විමසා සිටියේය.

“ඔබතුමාව ඉතින් අපි දකින්නේ ටී.වී එකේ විතරනේ. මෙහෙම දකින්න ලැබීම ගැන අපිට සතුටුයි.” වන්දනා නඩයේ සිටි කාන්තාවක් කීවාය.

“ඇත්තටම ජනතාව අඩුවෙන් ඉන්න වෙලාවට තමයි මම පොදු ස්ථානවලට යන්නේ. මොකද මම කොහෙට හරි ආවාම මිනිස්සුන්ට කරදරයිනේ. ඒ නිසා ජනතාව අඩු වෙලාවට තමයි මම පොදු ස්ථානවලට එන්නේ.” ජනාධිපති රනිල් කීවේ සිනාසෙමිනි.

පිරිසෙන් සමුගත් ජනාධිපතිවරයා අෂ්ටඵල බෝධිය වන්දනා කිරීමෙන් පසු කතරගම දේවාලයට පැමිණ එහි පූජාවට ද සහභාගී වූවේය. ගණ දේවාලය, වල්ලිමාතා දේවාලය ඇතුළු දේවස්ථාන වෙත ගොස් වන්දනා මාන කළ ජනාධිපති රනිල් ඉන් පසුව අභිනවාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගත්තේය.

වැඩහිටිකන්ද සාමාන්‍යයෙන් කතරගම යන රාජ්‍ය නායකයන් නිතර යන එන තැනක් නම් නොවේ. ජනාධිපති රනිල්ට වැඩහිටි කන්ද නඟින්නට අවශ්‍ය විය. එදින හවස ඔහු වැඩහිටිකන්ද වඳින්නට ද ගියේය.

ඒත් සමගම ඔහුට මාතර පැත්තෙන් හවස යළි කොළඹ එන්නට අවශ්‍ය වූයේ සහභාගිවන්නට අත්‍යවශ්‍ය වූ එක්තරා මළ ගෙදරකට ගොඩ වදින්නට තිබූ නිසාය. මළගෙදර කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ මෑණියන්ගේ ය.

ජනාධිපතිවරයා එම මළ ගෙදරට ගිය අවස්ථාවේ එහි දී ඉතා සුවිශේෂී හමුවීම කිහිපයක් දැකගත හැකි විය. ඒ අතරින් එකක් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති හා රනිල් වික්‍රමසිංහගේ හමුවයි.

ජනාධිපතිවරයා එම නිවෙසට යන විට විමලවීර දිසානායක හා තේනුක විදානගමගේ මන්ත්‍රීවරු ද එහි පැමිණ සිටියහ.

ඔවුන්ටත් එහිදී ජනාධිපතිවරයා සමග සමීපව කතා බහ කරන්නට හැකි විය.

දේහයට අවසන් ගෞරව දක්වා විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කර තිබූ කාමරයේ ජනාධිපතිවරයා මන්ත්‍රීවරු සමග කතාබහ කරමින් සිටින අතරතුර සුවිශේෂී අමුත්තකු එතැනට ආවේය. ඒ ජාතික ජන බලවේගයේ සාමාජික ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ය.

මළගෙදර අයෙක් සුනිල් හඳුන්නෙත්තිව ද විශේෂ අමුත්තන්ගේ කාමරය වෙත එක් කරගෙන ගොස් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වාඩිවී සිටි අසුනට යාබද අසුනේ වාඩි කරවූයේය.

● ජනාධිපති මන්දිරයත් ආර්ට් ගැලරියක්!

“ආ… මේ අපේ තව හොඳ යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ….” රනිල් එසේ කී විට කාමරේ සිටි අනිත් අය ද හැරී හඳුන් දෙස බැලුවේය.

“ඔබතුමා කියපු කතාවක් නිසා මට දැන් එක් එක්කෙනා අහන ප්‍රශ්නවලට ටෙලිෆෝන් එකෙන් උත්තර දීලා ම එපා වෙලා.”

“ඒ මොකක්ද ඒ…” තේනුක ඇසීය. ජනපති රනිල් ද ඒ දෙස විමතියෙන් බැලුවේ හඳුන් කීවේ මොන කතාව ගැන දැයි තේරුම් ගන්නට බැරිවය.

“ඇයි ජනාධිපතිතුමා අයවැය කතාව ආරම්භ කළේ මම කියපු කතාවක් කියලනේ…” සුනිල් හඳුන්නෙත්ති විස්තර කළේය.

“හරි හරි… මම කිව්වේ බොරුවක්ද… බොරුවක් නෙවෙයි නේ. මම කියන්නෙත් ඕගොල්ල කියන කතාවම තමයි. රාජ්‍යය තියෙන්නේ ව්‍යාපාර කරන්න නෙවෙයි. ඕගොල්ලො කියන කතාව ඇත්ත.” ජනාධිපතිවරයා එසේ කියමින් හඳුන්ට විහිළු කරන්න පටන් ගත්තේය.

ඉන්පසුව කතාබහ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය තුළින් ලබාගත හැකි ජයග්‍රහණ කෙරෙහි යොමු විය. එහිදී ජනාධිපතිවරයා කොළඹ සිට දකුණු ප්‍රදේශය දක්වා දිවෙන යෝධ සංවර්ධන සැලැස්මක් විස්තර කළේය. දුම්රිය ස්ථානවල ඇති ඉංග්‍රීසි යුගයට අයත් ගොඩනැගිලි හා ස්මාරක වැඩි දියුණු කර සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගන්නා ආකාරය ඔහු ටිකක් වැඩියෙන් පැහැදිලි කළේය. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා මෙවන් ගොඩනැගිලි ඕනෑතරම් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන බව රනිල් පෙන්වා දුන්නේය.

“ලංකාව පුරාම ලොකුම ගොඩනැගිලි තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට. ඔවුන්ගෙන් දැන් කෙරෙනා සේවය බැලුවාම එම ගොඩනැගිලිවල වැඩි ඉඩක් ඔබතුමාගේ සැලසුමට එකතු කර ගන්න පුළුවන්. මොකද ඒ ගොඩනැගිලි බහුතරයක් යටත් විජිත යුගයේ හදපු ඒවා.” හඳුන්නෙත්ති තවත් යෝජනාවක් ඉදිරිපත් කළේ එලෙසිනි.

“ඔව් ඒ යෝජනාවත් හොඳ යෝජනාවක්. මමත් හිතාගෙන ඉන්නේ ජනාධිපති මන්දිරය ආර්ට් ගැලරියක් කරන්න. නිල උත්සවවලදී පමණක් ජනාධිපති මන්දිරය ලෙස භාවිතා කරනවා. අනෙක් වෙලාවට කලාගාරයක් ලෙස භාවිතා කරනවා.” ජනාධිපති රනිල් තවත් ඌනපූරණයක් කතාවට එකතු කළේය.

“ඔව් ඒක හොඳ අදහසක්. රොස්මිඩ් වලව්වත් දැන් සංචාරක හෝටලයක් කර තිබෙන නිසා විදෙස් සංචාරකයෝ විශාල ප්‍රමාණයක් එහි එනවා. බහුතරයක් දෙනා වෙන් කර ගන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ කාමරය කියලා තමයි ආරංචිය.” සුනිල් හඳුන්නෙත්ති කියද්දී සැමගේ ඇස් ඉහළට එසැවිණි.

ඉන් පසුව කොළඹ කොටුව ප්‍රදේශය සංචාරක පුරවරයක් කිරීමේ සැලසුම ද ජනාධිපතිවරයා ඉදිරිපත් කළේය. ගුවන් හමුදා මූලස්ථානය අකුරේගොඩට ගෙන යෑමත්, එම ගොඩනැගිලිවලට පොලිස් මූලස්ථානය ගෙනෙනා ආකාරයත් ජනාධිපති රනිල් එහි සිටි පිරිසට පැහැදිලි කර දුන්නේය.

“දැන් නෙලුම් කුලුන ජනතාවට විවෘත කරපු එකටත් අපිට බණිනවා. හැබැයි මේක නිකං තිබුණා කියලා මුදල් ලැබෙන්නේ නෑ. නමුත් අපි ණය ගෙවන්න ඕනේ.

අඩුගාණේ මේක ලංකාවේ මිනිස්සුන්ට විවෘත කළාම මේ ගැන තොරතුරු පිටතට ගොස් ආයෝජකයෝ ගෙන්වා ගන්නත් පුළුවන් වෙනවා.” ජනාධිපති ලේකම් ද හඬ අවදි කළේ එලෙසිනි.

“ඔබතුමා හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කළා. අපිත් එක්ක එකතු වෙලා ඒ යෝජනා ක්‍රියාත්මක කරමුකෝ. ඒකට ඔබතුමාලා ආණ්ඩුවට එන්න.” විමලවීර දිසානායක ද හඳුන්නෙත්තිගෙන් ඉල්ලීමක් කළේය.

“නෑ නෑ අපි එළියේ ඉඳන් ආණ්ඩුව කරන හොඳ දේට සහාය දෙනවා. වැරදි දේ විවේචනය කරනවා.” සුනිල් හඳුන්නෙත්ති කියද්දී ජනාධිපතිවරයා කීවේ “එහෙනම් මේ වැඩේට අපි ඔයාලගේ සහාය බලාපොරොත්තු වෙනවා” කියාය.

ඉන්පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස අවමඟුල් නිවසින් පිටත් වූවේ තවත් රාජකාරියකට යෑමට තිබෙන බව කියමිනි.

● අරලියගහ මන්දිරය දිනේෂ්ට විවෘතයි…

පසුගිය සඳුදා (12දා) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අගමැති ලෙස අරලියගහ මන්දිරයේ රාජකාරි ආරම්භ කළේය. කඩාබිඳ දැමීම්වලින් අනතුරුව මාස 4ක් පමණ අරලියගහ මන්දිරය වසාදමා තිබුණේය. දිනේෂ් අගමැති ලෙස පත්වුවද ඔහු මෙතෙක් සියලු රාජකාරි කටයුතු කළේ කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටය.

“දැන් අපිට අරලියගහ මන්දිරයේ රාජකාරි පටන් ගන්න පුළුවන්” නිලධාරීන් දැනුම් දීමෙන් පසු, වහාම එහි යෑමට අගමැති එකඟ වූයේ නැත.

“අපි රටට, ජාතියට, ජනතාවට සෙත් පතලා, පිරිත් දේශනයක් පවත්වලා, තෙරුවන්ගේ ආශිර්වාදයත් එක්ක වැඩ පටන් ගම්මු” දිනේෂ්ගේ උපදේශය විය.

“හැබැයි ඒකට රජයේ මුදල් වියදම් කරන්න එපා. චාම් ආකාරයෙන් කරමු, මගේ පෞද්ගලික කාර්යක් විදියට”

ඒ අනුව සඳුදා රාත්‍රියේ පිරිත් දේශනය පැවැත්වුණ අතර, උදෑසන දානමය පින්කම පැවැත්විණි.

අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා, මඑපෙ නායකයා ලෙස, ඔහුට ඉතා ම සමීප පිරිසකට පමණක් ඊට ආරාධනා කර තිබිණි. ජනාධිපතිවරයා ද මෙම කාර්යයට ආශිර්වාද කර තිබිණි.

● අගමැති ඉවතට? කට කතාවක් යයි…

අරලියගහ මන්දිරය තුළ පිරිතක් කියවා ආගමික චාරිත්‍රානුකූලව අගමැති තනතුරේ වැඩ රාජකාරි අරලියගහ මන්දිරය තුළින් පටන්ගැනීමට දිනේෂ් කටයුතු කළත් පසුගිය සතියේ පැතිරී ගිය එක්තරා කටකතාවක් නිසා දිනේෂ්ගේ නිලධාරීන් එක්තරා කලකිරීමකට පත්ව සිටියහ. කට කතාවෙන් කියැවුණේ මීළඟ අයවැයට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් කෙරෙනු ඇති බවට පැතිර ගිය ආරංචියකි.

මේ කතාවත් සමගම ඉකුත් සතියේ දේශපාලන ලෝකය උණුසුම් විය. මේ ගැන සොයා බැලූ විට එම ගින්න පත්තු කළේ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන විසින් බව පැහැදිලි විය. ඇත්තෙන්ම ඔහු එය මුලින්ම කීවේ පාර්ලිමේන්තුවේ දීය.

ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ අයවැයට පෙර වත්මන් අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීමට තම කණ්ඩායමේ සහය ඉල්ලන බවය.

මේ ආරංචිය කනවැකුණු බොහෝ දෙනෙකු ඒ ගැන පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් විමසීය.

“මම නම් එහෙම දෙයක් දන්නේ නෑ… අපේ පක්ෂය එහෙම දෙයක් තීන්දු කරලත් නෑ. කියන අයගෙන්ම ඒක අහගන්න.”

බැසිල්ගේ පිළිතුර විය.

ඒ වනවිට බැසිල් සිටියේ විදේශගතවීමට සූදානම්වය. සිය සංචාරයට පෙර මෙම ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව තීරණය කළ බැසිල් පසුගියදා ඇමැති ප්‍රසන්න කැඳවීය.

“අගමැතිතුමා අයින් කරනව කියන කතාව මොකද්ද ප්‍රසන්න. අපි එහෙම දෙයක් කතා කරලවත් නෑනේ.”

බැසිල් ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“ඕව හීනෙන් බයවෙලා වගේ කියන විකාර කතා සර්. අපි ඕවට කලබල වෙන්න හොඳ නෑ.”

ප්‍රසන්නගේ පිළිතුර විය.

“ඔව්… ඒක ඇත්ත. මම රට යන්න හදන්නේ. ඊට කලින් මේ ප්‍රශ්නය විසඳන්න ඕන. ඔයා දැන්ම ගිහිල්ලා ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි දෙන්නටම කියන්න අගමැතිතුමා ඉවත් කරන්න අපි තීරණය කරල නෑ කියලා. මේක බොරු කතාවක් කියලත් කියන්න.”

ඒ අනුව තකහනියේම ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුණගැසුණු ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාටම බැසිල් රාජපක්ෂගේ පණිවිඩය දැනුම් දුන්නේය.

● ශ්‍රීලනිපය රැකගන්න සටන් පෙරමුණු තුනක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පසුගිය සතියේත් තීරණාත්මක එකක් විය. මන්ද එය මේ වන විට කඳවුරු තුනකින් මෙහෙයවෙන දේශපාලන කාර්යභාරයක් වී තිබෙන නිසාය.

ප්‍රධාන ධාරාවේ දේශපාලනය ක්‍රියාත්මක වූයේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ඩාලි පාර කාර්යාලයේ නායකත්වය යටතේය. 71 වැනි සංවත්සරය අවසන් වීමෙන් පසුව ඔවුන් නව ජවයකින් ඉදිරියට යමින් දේශපාලන කටයුතුවලට මුහුණ දෙන්නට සූදානමින් වැඩකටයුතු සංවිධානය කරන්නට පටන් ගත්තා පමණි.

එහෙත් කුමාර වෙල්ගම මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තියෙන්නේ තමන් ළඟ බව කියමින් වෙනම දේශපාලනයක නිරත වන්නට පටන් ගත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් ද පිහිටුවා ගනිමින් ‘අපි ශ්‍රී ලංකා’ යන නමින් ආරම්භ කළ පක්ෂය තුළින්ය. එම පක්ෂයට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජීවන් කුමාරතුංග වැනි නායක නායිකාවන් එක් කරගෙන සිටීම නිසා ඔවුන් අනාගතයේදී මෙහෙයවන දේශපාලනය කවර මුහුණුවරක් ගනීවිදැයි තේරුම් ගත නොහැකි විය. මේ අතර ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය ද පසුගිය සතියේ කැපීපෙනෙන එකක්ව තිබිණි.

එම කණ්ඩායමට අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා වරාය හා නාවික අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූයේ අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. එය කැඳවා තිබුණේ අමාත්‍ය සියඹලාපිටිය විසිනි. දුමින්ද, ලසන්ත, අමරවීර, ජගත්, චාමර සම්පත්, ශාන්ත බණ්ඩාර, රාඝවන් ඇතුළු නව දෙනකු මෙම හමුවට එක්ව සිටියහ. දීර්ඝ වේලාවක් පැවති සාකච්ඡාවේදී පක්ෂය ආරක්ෂා කර ගැනීම සහ පක්ෂයේ අනාගත කටයුතු පිළිබඳ සාකච්ඡා වූ අතර සාමූහිකව සෑම විටම කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා විය.

● ඇමැතිකම ගන්න නාමල්ට බැරි ඇයි?

පසුගිය සතියේදී තේනුක විදානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය. එම අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා වූ ප්‍රසන්න රණතුංග ද එම අවස්ථාවන්ට සහභාගී විය.

එහිදීත් අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳ මාධ්‍යවේදීන් ඇමැති ප්‍රසන්නගෙන් ප්‍රශ්න කළේය.

“කවුරු මොනව කිව්වත් අගමැතිතුමා ඉවත් කරන්න අපි තීරණය කරල නෑ. එතුමා පළපුරුදු දේශපාලනඥයෙක්. ඒක එතුමා තමන්ගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙනවා.”

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ පිළිතුර විය.

නාමල්ටත් ඇමැතිකමක්?

රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකු ඉකුත් සතියේදී දිවුරුම් දුන්හ. එමෙන්ම තවත් කැබිනට් ඇමැතිවරුන් 10 දෙනකු ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ විට එම දිවුරුම්දීම ලබන සතියේදී සිදුවනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසුව පැවැති තේපැන් සංග්‍රහයේදී ඒ ගැන ද කතාබහ විය.

“ඇමැතිතුමා නාමල් රාජපක්ෂටත් කැබිනට් ඇමැතිකමක් ලැබෙනවද? මාධ්‍යවේදියකු ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“අනිවාර්යයෙන්ම එතුමත් ඇමැතිකමකට සුදුසුයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්තෙ එතුමා. ඇමැතිකමක් දරන්න එතුමට තියෙන නුසුදුසුකම මොකද්ද?”

“ඒක ඇත්ත.”

අසල සිටි තේනුක විදානගමගේ, ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර ඇතුළු පිරිස ද එය අනුමත කළහ.

පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ දේශපාලනය ද රටේ කැපී පෙනෙන විපක්ෂයේ කාර්ය භාරයක් ඉටු කළ බව පැහැදිලිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ දිනවල දේශපාලන කරළියේ සිටින ප්‍රධානම අභියෝගකරුවා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකටත් වඩා සජිත් ප්‍රේමදාස ය. ආණ්ඩුවේ හැම දුර්වලකමක් ම සජිත්ගේ උකුසු ඇසට අසුවිය. ඔහු සිරගෙවල්වලට යමින්, වැඩ බිම්වලට යමින්, ගොවිබිම්වලට යමින් වීදි සටන්වලට සහභාගි වෙමින්, දුක් විඳින පොදු ජනතාවගේ හඬ නියෝජන කරන්නට පටන් ගත්තේය. අපේ රටේ අනාගත දේශපාලනය තුළ සජිත් කලබල නැති අරමුණු සහගත අපේක්ෂා සහගත ගමනක් යමින් සිටින බව බොහෝ දෙනකුගේ අදහස් විය.

● නිදහසේ මන්ත්‍රීවරු බසයකින් මහනුවරට

ඉකුත් සතියේ “නිදහස” ජනතා සභාවේ නියෝජිතයින්ගේ මහනුවර සංචාරය ඉතා සාර්ථකව සිදු කෙරුණි. පෙර කතා කරගත් පරිදි කාර්යාලයට රැස් වූ පිරිස කලින් අනුරාධපුර සංචාරය සිදු කළ අයුරින්ම මෙවරත් බස් රථයකින් මහනුවර බලා පිටත් ව ගියහ. මෙවර සිය කණ්ඩායමේ ස්ථාවරය පිළිබඳව මහානායක හිමිවරු දැනුවත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය.

නිදහස් මන්ත්‍රීවරුන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රශංසා කළ මහානායක හිමිවරු රටේ වත්මන් තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කළහ. අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවීම් දෙකකට මේ පිරිස සහභාගි වූහ.

මේ හමුවීම් ඉතා සාර්ථකව පැවැත්විණි.

“ඔබතුමන්ලා හැකි ඉක්මනින් ගම්මට්ටමට ඇවිත් පාක්ෂිකයන් හමු වෙන්න. ඒ අය බොහොම කලකිරිලා ඉන්නෙ මේ වෙලාවේ.” බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ එයයි.

එක් පුද්ගලයෙක් මන්ත්‍රීවරු හමුවට පැමිණියේය.

“කතා කරන්න පුළුවන් නේද ඔබතුමාලා එක්ක.”

“ඔව්… ඔව්… මොකද බැරි.”

“නැහැ ඉතිං. පොහොට්ටුවේ සංවිධායකලා ලොකු ලොක්කොන්ට ළං වෙන්න අපි වගේ සොක්කන්ට අවස්ථාව දෙන්නෙ නැහැ නේ.”

“අපි ඔක්කොම එක සමානයි සහෝදරයා. ලොකුකම් අපි ළඟ නැහැ.” ඩලස් කීය.

“ඔබතුමන්ලා සංවිධායකවරු පත්කරගත්තට පස්සෙත් ඒකම වෙයිද දන්නෙ නැහැ.”

“ඒ ගැන සැකයක් තියාගන්න එපා සහෝදරයා. අපි නිදහස් අදහස් තියෙන පිරිසක් නේ.” ඩලස් නැවත කීය.

“පොහොට්ටුව දැන් ගමේ දේශපාලනයෙන් අතුගෑවිලා ඉවරයි මහත්තයෝ. මම මේ ගමන ආවෙත් මළ ගෙදරක යනවා කියලා.” ඔහු නැවත කීය.

“ඔබතුමා කියන දේ අපිට පැහැදිලියි.”

“අපිට පාරක බැහැලා යන්න බැහැ. බය්යො කියලා නෝන්ඩි කරනවා. හොරු රකිනවා ලු. ආයෙ පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා නම් කට ඇරලා කියන්න බැහැ මහත්තයෝ. පුංචි කාලෙකින් අපි ඒ තරමට අසරණ කළා” ඔහු වේදනාවෙන් කීවේය.

“ඔය ප්‍රශ්නේ ගැන අපි මේ දවස්වල කතා කරනවා. අපිටත් ඔය අත්දැකීම හොඳටම දැනිලා තියනවා” ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා පිළිතුරු දෙමින් පැවසීය.

“පුළුවන් ඉක්මනට අපිට ගමේ එළියට බහින්න පුළුවන් විදිහෙ අලුත් ගමනක් පටන් ගන්න” යැයි ඉල්ලා සිටි ඒ පුද්ගලයා මන්ත්‍රීවරුන්ගෙන් සමු ගත්තේ ය.

එම රැස්වීමෙන් පසුව නිදහස් මන්ත්‍රීවරුන්ගේ බස් රථය දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු විය. මන්ත්‍රීවරු බස් රථයෙන් බසින දෙස බොහෝ දෙනෙක් බලා සිටියහ.

දළදා වහන්සේ වැඳ පුදා ගත් පිරිස මාලිගා පරිශ්‍රයේ පඩිපෙළ බැස එන අතරේ කාන්තාවක් ඔවුන් හඳුනා ගත්තාය.

“මන්ත්‍රිතුමා මම හඟුරන්කෙත විශ්‍රාමික විදුහල්පතිනියක්. මම දේශපාලනඥයින්ටයි, දේශපාලනයටයි කැමති නැහැ. ඒත් ඔබතුමා අධ්‍යාපන ඇමැතිතුමා වෙලා හිටපු පොඩි කාලේ අධ්‍යාපනය වෙනුවෙන්, කරන්නට ගිය වැඩපිළිවෙළ ඉතාම හොඳයි.” කීවාය.

“ඔබතුමියව හඳුන ගන්න ලැබීම ගැන සතුටුයි. බොහොම ස්තූතියි ඒ අගය කිරීමට.” ඩලස් කීය.

“අපේ රටේ අධ්‍යාපන මට්ටම ලෝකයේ දියුණු රටවල මට්ටමට ගන්න ඔබතුමා ගත්තු උත්සාහය ගැන අපි අවංකව සතුටු වෙනවා.

“ඉසෙඩ් ලකුණු ක්‍රමය, දිස්ත්‍රික් පදනම, අපේ ගමේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් මට්ටමට ගළපන්න. ගමේ දරුවන්ට සාධාරණයක් කරන්න ගත් උත්සාහය අපිට හොඳට වැටහුණා.” ඇය නැවතත් කීවාය.

“ඉස්සරහට ඒ දේවල් ක්‍රමවත් කරන්න අපි උත්සාහ කරමු” ඩලස් නැවත කීය.

“හැබැයි ඔබතුමා කරපු දේවලට ලොකු ප්‍රචාරයක් දුන්නේ නෑ. ඒකටවත් ඉඩක් නොලැබුණු එක ගැන

කනගාටුයි” ඇය කීවාය.

“රටේ අනාගතය කියන්නේ අපේ දරුවෝ. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය හරිම වැදගත්” ඩලස් කීය.

● ඇමැති ප්‍රසන්න බලතල පවරයි

රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල ලබානොදීම නිසාවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් ඉකුත් ආණ්ඩුවල බහුලවම දක්නට ලැබුණි.

ඒ ගැන සිතා බැලූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තම අමාත්‍යාංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට බලතල පැවරීමට පසුගිය සතියේදී තීරණය කළේය.

“අපිට ප්‍රශ්නයක් නෑ… අපි සර් එක්ක වැඩ කරන්නම්.”

තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාම එකහඬින් පැවසීය.

“නෑ… නෑ… එහෙම නෙවෙයි. බදාගෙන වැඩ කරනවට වඩා මම කැමති වැඩ බෙදාගෙන කරන්නයි. ඒක නිසා ඔයාල මේ වැඩ ටික කරගෙන යන්න. ඔයාල වැඩ කරනකොට නිකම්ම මට ලකුණු ලැබෙනවා.”

ඇමැති ප්‍රසන්න කී කතාවට නිලධාරීන්ටත් හිනාය.

“කැබිනට් අමාත්‍යාංශයයි… රාජ්‍ය අමාත්‍යාංශ දෙකයි කියන්නේ අමාත්‍යාංශ තුනක් නෙවෙයි එකක්. අපි එක පවුලක් වගේ වැඩ කරමු. එතකොට මේ අර්බුදවලින් ගොඩ එන්න පුළුවන්.”

“සර් වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම අපිට හොඳ අත්දැකීමක්.”

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාම නැවත කීය.

“අපි හැමදාම මේ තැන්වල ඉන්නේ නෑ. ඔයාලත් වැඩ ඉගෙන ගන්න ඕන. බයවෙන්න එපා මම පිටිපස්සෙන් ඉන්නවා.”

අනතුරුව අමාත්‍යවරයා නිලධාරීන්ට මෙසේ කීවේය.

“අපි තුන්දෙනා අවබෝධයෙන් වැඩ කරනවා. ඒ නිසා කේලම් කියල අපිව කොටවන්න කාටවත් බෑ. නිලධාරී මහත්වරු ඒකට ලෑස්ති වෙන්නත් එපා. මම නිවැරදි මිනිහ වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි වැරදි අය ආරක්ෂා කරන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න.”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග දැඩිව කීය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment