සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වරට රු. බිලියන 3ක ලාභයක් වාර්තා කරයි

151
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා (26දා) පැවති මාධ්‍ය හමුවේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය ඇමතූ අයුරු. ඡායාරූපයේ වමේ සිට.. අසංඛා ගුණසිංහ (සහකාර සාමාන්‍යාධිකාරිනි - අලෙවි, සංවර්ධන ලොතරැයි මණ්ඩලය), අනුර ජයරත්න (සාමාන්‍යාධිකාරි), අජිත් ගුණරත්න නාරගල (සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි - සංවර්ධන ලොතරැයි මණ්ඩලය), චානක දොඩංගොඩගේ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - අලෙවි) සහ විජිතා සෝමරත්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි - මූල්‍ය) යන මහත්වරු හා මහත්මිහු ද වෙති. ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ජනාධිපති අරමුදලේ මහජන සේවාවන් සඳහා සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සඳහා අරමුදල් සම්පාදනය අරමුණු කරගනිමින් 1997 අංක 20 දරණ පනත මගින් පිහිටුවා ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2022 වසරේ දී සිය වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට රු.බිලියන 3ක වාර්තා ගත ලාභයක් සනිටුහන් කරයි.

කොවිඩ් ව්‍යවසනය හමුවේ රටතුළ පැන නැගුණු උග්‍ර ආර්ථික අභියෝග සහ දේශපාලනික ගැටලුකාරි තත්ත්වයන් මත 2022 වසරේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාරික ආයතනවල මෙහෙයුම් ඇතැම් අවස්ථාවන්වල අකර්මන්‍ය වී දින ගණන් පැවති අවස්ථා ද දක්නට ලැබුණු අතර, ඒ මත සිය ව්‍යාපාරික අරමුණු සහ වාර්ෂික ආදායම් ඉලක්ක සපුරාගත නොහැකි වූ රාජ්‍යමෙන්ම පෞද්ගලික ආයතන ගණනාවක් ද දැක ගත හැකිවිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ව්‍යාපාරික කටයුතු සඳහා ද ඉහත කී අභියෝග ඍජුව බලපෑව ද එය මනාව පාලනය කරගනිමින් කළමනාකරණය කිරීමට වර්තමාන සභාපතිවරයා සමග අධ්‍යක්ෂක මණ්ඩලයටත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුලු කාර්ය මණ්ඩලයට හැකියාව ලැබී ඇත.

ත්‍යාග මුදල් වශයෙන් රු.බිලියන 10ට ආසන්න මුදලක් සුපිරි ත්‍යාග ප්‍රථම, දෙවන, තෙවන ත්‍යාග හා සෙසු ත්‍යාග වශයෙන් 2022 වසරේ දී සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින් ද, අලෙවි නියෝජිත කොමිස් මුදල් වශයෙන් රු.බිලියන 03 ට වැඩි මුදලක් ලබා දෙමින් ද, රජය විසින් පනවන ලද සියලුම බදු වියදම් ලෙස රු. මිලියන 837ක මුදලක් රජය වෙත ලබා දෙමින් සහ මණ්ඩලයේ අනෙකුත් සියලු වියදම් ද දරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය රු. බිලියන 03ට වඩා වැඩි ලාභයක් සමගින් රු.බිලියන 19 ඉක්මවා පිරිවැටුමක් ලබා ගැනීමට හැකි වූ බව තවදුරටත් පවසයි. විශේෂයෙන් ම, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා හා කළමනාකාරිත්වයේ සෘජු අධීක්ෂණය යටතේ 2022 වසරේ දී දියත් කරන ලද වැඩසටහන් මාලාව මෙම ප්‍රගතිය ළඟාකර ගැනීමට පිටුවහල් වූ බව ආයතනය පෙන්වා දේ. එහි දී, සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් සහ අලෙවි නියෝජිතයින් සඳහා ඔවුන්ගේ වාර්ෂික අලෙවි නියෝජිත හමුව “සංවර්ධන අභිමන්” නමින් නව මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු කර, පෙර සම්ප්‍රදායන් වෙනස් කරමින් මෙම සුවිශේෂී අලෙවි නියෝජිත හමු සඳහා ලොතරැයි ව්‍යාපාරයට ඍජුව ම සම්බන්ධවන ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවල උසස් නිලධාරින් ඇතුලු බල අධිකාරින් ද කැඳවීම තුලින් අලෙවි නියෝජිතයින්ගේ සහ අලෙවි සහයකයින්ගේ ඉතා දීර්ඝ කාලයක් තුළ පැවති ගැටලු නිරාකරණය කරගැනීමට ද හැකියාව ලැබී ඇත. එසේ ම වාර්ෂික වැඩිම අලෙවියක් වාර්තා කළ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයින් ඇගයීමත්, ඔවුන්ට ත්‍යාග මුදල් හා සහතිකපත් ප්‍රදානය කිරීමත් සිදු කළ අතර, වැඩසටහන තුළ නව ආකාරයකින් ඔවුන්ව අභිප්‍රේරණය කිරීම 2022 වසරේ සාර්ථකත්වයට තුඩු දුන් කාරණාවක් විය.

2023 වසරේ ජනවාරි 19 වන දින විජයග්‍රාහි 40 වන සංවත්සරය සමරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආයතනික ලාංඡනය සමග ආකර්ශණීය නව ව්‍යාපාරික ලාංඡනයක් හඳුන්වා දෙමින්, දිනෙන් දින දියුණු වන නව ලොතරැයි වෙළඳපොළත්, නවීන තාක්ෂණයෙන් පිරිපුන් තාරැණ්‍යයත්, මෙතෙක් අප සමග එකතු නොවූ පාරිභෝගික කොටස් එකතු කරගැනීම මෙම නව ව්‍යාපාරික ලාංඡනය දියත් කිරීමේ අභිලාෂය වී ඇත. එසේ ම ලොතරැයි ව්‍යාපාරය තුළ නවීන දිනුම් ඇදීමේ ක්‍රමවේදයන්

අනුගමනය කරමින් පැරණි සන්නාමයන් වෙනුවට නව සන්නාමයන් හඳුන්වාදීම තුළින් 2023 වසරේ මූල්‍ය ඉලක්ක ළඟා කරගැනීම තුලින් ඉහළ පිරිවැටුමක් ලබාගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය බලාපොරොත්තු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment