සංශෝධිත ඛනිජ තෙල් පනතින් ඉන්ධන සැපයීම හා ආයෝජන අවස්ථා පුළුල් කරනවා – ඇමැති කංචන විජේසේකර

127

ඉල්ලුමට අනුව ඉන්ධන සැපයීම සඳහා ජාත්‍යන්තර ඉන්ධන සැපයුම් කරුවන් කිහිප දෙනෙකුට මෙරට වෙළෙඳ පොළ අවස්ථාව ලබාදීමට සහ නව ආයෝජන සඳහා ඉඩ සැලසීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ විය.

සංශෝධිත ඛනිජ තෙල් පනතින් ඉන්ධන සැපයීම හා ආයෝජන අවස්ථා පුළුල් කරනවා - ඇමැති කංචන විජේසේකර

විවාදය ආරම්භ කරමින් විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා –

මෙම පනත සංශෝධනය කරන්න කටයුතු ආරම්භ කෙරෙන්නේ 2002දී විපක්ෂයේ සිටින බහුතර මන්ත්‍රීව රුන්ගේ යෝජනාවක් අනුවයි. එදා එතුමන්ලාට කිරීමට නොහැකි වූ කාරණා යම් ප්‍රමාණයක් ඉටු කර ගැනීම සඳහා අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය මත මෙම පනත ගෙනැවිත් තිබෙනවා. මෙම පනතින් බලාපොරොත්තු වෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් නොවෙයි, තවත් සැපයුම්කරුවන් දෙදෙනකුට ඛනිජ තෙල් ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා අවසර දීමට. එදා සැපයුම්කරුවන් තිදෙනෙකුට අවස්ථාව දුන්නා. ලංකා අයිඕසී සමාගමටත් ඒ අවස්ථාව ලැබුණා. නමුත් වසර කිහිපයක් තිස්සේ ඒ කටයුතු සිදු නොවීම මත ඛනිජ තෙල් සංස්ථාව සහ අයිඕසී සමාගම කියන සැපයුම් කරුවන් දෙදෙනා පමණයි ඒ කටයුතු කළේ. නමුත් අපි තවත් ජාත්‍යන්තර සැපයුම්කරුවන් කිහිප දෙනෙකුට එම අවස්ථාව ලබාදීමට කටයුතු කරනවා. ඒතුළින් ඉල්ලුමට අනුව ඉන්ධන සැපයීම සඳහා මෙරට වෙළෙඳ පොළ විවෘත කිරීම සහ නව ආයෝජනසඳහා ඉඩ සැලසෙනවා. මෙතෙක් ගුවන් යානා ඉන්ධන සැපයුම සඳහා ඒකාධිකාරිය තිබෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවට. නමුත් මෙම පනතින් එය ලිහිල් කිරීම සිදුවෙනවා. පසුගිය කාලයේ ඉන්ධන පෝලිම් තිබුනත් මාධ්‍ය වාර්තා කළේ ඒ පෝලිම් සහ ඒවායේ සිදුවන මරණ ගැනයි. එහිදී අපට යම් යම් තීන්දු තීරණ අරගෙන එය පාලනය කිරීමට අපට සිදුවුණා. බොහෝ රජයන් පත්වෙද්දී ඉන්න මිල ගණන් අඩු කරනවා කියලා පොරොන්දු දෙනවා. එය වරදක්. අප සත්‍ය තේරුම් කරගෙන කටයුතු කරන්න ඕනා. මොකද මේ වෙලාවේ රට තිබෙන තත්ත්වය අනුව අපට ඉන්ධන ආනයනය සීමා කරන්න වුණා.

අපිට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුවකටත් යන්න සිදු වුණා. ඒ වගේම අපේ ඉන්ධන අවශ්‍යතාවයත් වැඩි වී තිබෙනවා. මේවන විට එය අපට දරාගන්න නොහැකි තත්ත්වයක් වෙනවා. මහ බැංකුව කිව්වේ අපට ඩොලර් මිලියන 350යි උපරිම දෙන්න පුළුවන් කිව්වේ. ඒ නිසා අපට එය කළමනාකරණය කර ගන්න සිදුවුණා. ඒතුළ අපට ඉන්ධන බෙදා හැරීමට කිව් ආර්. ක්‍රමවේදය හඳුන්වා දෙන්න වුණා. නමුත් මේ අකාරයට ඉන්ධන ලබාදීම සීමා කිරීම තුළ අපේ වැටුනු ආර්ථිකය නැවත නැගිට්ටන්න අමාරුයි. ඒ නිසා අපට අලුත් සැපයුම්කරුවන් අවශ්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල් මේවන විට තමන්ට ඉන්ධන සැපයීම වෙනුවෙන් ඔවුනගේ වෙළෙඳ පොළ විවෘත කරලා තිබෙනවා. සිංගප්පූරුව අද ඔවුනට තෙල් නැති වුණත් ඒරට ආනයනය කරලා අනෙක් රටවලට බෙදා හරින තත්ත්වයට පත්වෙලා. අපට තෙල් ටැංකි තිබිලත් එය කර ගන්න නොහැකි වුණා. නමුත් උදය ගම්මන්පිල ඇමැතිවරයා ඒසඳහා නව නීති සකස් කර ඒ වෙනුවෙන් කටයුතු කිරීම ගැන මා ස්තුතිවන්ත වෙනවා.

අද වෘත්තීය සමිති ක්‍රියා කරන ආකාරය අපි දන්නවා. ඒ අය ඇවිත් කියනවා ලෙඩ නිවාඩු දානවා කියලා. විරුද්ධ වෙනවා. මේ විරුද්ධ වීම තුළින් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ. අශෝක රන්වල, ආනන්ද පාලිත වැනි අය අනෙක් අයව පොළඹවා ගන්නවා. ඔවුනගේ ව්‍යාපෘති වෙනුවෙන්. නමුත් අපි පැහැදිලිව කියන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කාර්යක්ෂම කරලාපාඩුනොලබන තත්ත්වයට පත් කිරීමයි. නැතුව පිරිපහදුව වසා සංස්ථාව ඈවර කිරීම නොවෙයි කරන්න හදන්නේ. අපට පසුගිය කාලයේ ඉන්ධන ආනයනය කිරීම ගැනත් චෝදනා කළා. නමුත් අපි කියන්න ඕනා ඩොලර් මිලියන 751 ක් අපට ගෙවන්න තිබුනා අපේ ප්‍රධානතම සැපයුම්කරුවන් වෙනුවෙන්. ඒ මුදල් අපට පියවන්න බැරි වුණා. අපි පසුගිය කාලයේ ටෙන්ඩර් 24ක් ඉදිරිපත් කළා බොරතෙල් ගෙන්වන්න. නමුත් එකම හෝ සැපයුම්කරුවකු ඉදිරිපත් වෙලා නෑ. ජනවාරි මාසේ

01 දා සිට අගෝස්තු මාසේ දක්වා පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන ගෙන්වන්න ටෙන්ඩර් 67ක් දැම්මා. නමුත් කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. අපට ණයවර නිකුත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. අපි පසුගිය කාලයේ අභියෝග රැසක් මධ්‍යයේයි ඉන්ධන ආනයනය කළේ. මේ පනත සංශෝධනය කිරීම තුළින් ගුවන් යානා සඳහා ඉන්ධන ඒ ආයතනවලට අවශ්‍ය නම් ගෙනැත්විත් ගබඩා කර ගන්නත් පුළුවන්.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) – ඇමැතිතුමා ගොඩක් දේවල් කතා කළත් පනත ගැන අඩුවෙන් තමයි කතා කළේ. මේ පනත අපේ කාලයේ ගෙනාවා කියලත් එතුමා කිව්වා. නමුත් මේ පනත එදාට වඩා සංශෝධනය කරලා තිබෙනවා. එය හරියට හොරකම් වහන්න භාවිතා කරපු සාඨකයක් වගෙයි. බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

කංචන විජේසේකර මහතා – දිවයින සහ සන්ඩේ ටයිම්ස් පුවත් පත් වැරදි පුවත් තමයි වාර්තා කර තිබුනේ. ඒගැන අපි පියවරක් ගන්නවා.

කබීර් හෂීම් මහතා – හැබැයි මේ වගේ චෝදනා තිබෙද්දී මේ පනතෙන් ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. මම වෘත්තීය සිමීතිවලට ස්තුතිවන්ත වෙනවා. ඒ අය අධිකරණයට ගිය නිසා තමයි මෙය සංශෝධනය කර තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙය සංශෝධනය කර තිබෙනවා. පනතේ හත්වැනි වගන්තිය සම්බන්ධයෙන් කියනවා ජනමත විචාරණයකට යන්න ඕනා කියලා.

කංචන විජේසේකර මහතා – හත්වැනි වගන්තිය සංශෝධනය කළා. උපදේශක කාරක සබාවේදී ඒ ගැන කතා කළා. ඔබතුමා ආවේ නෑ.

කබීර් හෂීම් මහතා – අපේ කාලයේ මේ පනතට මෙහෙම යෝජනා ගෙනත් තිබුනේ නෑ. අපි ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කරනවා. නමුත් එය විනිවිධභාවයකින් වෙන්න ඕනේ. මේ හත්වැනි වගන්තිය ගැන සැකයි. ඇයි ඒ වගන්තිය දැම්මේ කියලා. සේවකයන්ට අසාධාරණයක් වෙන්න බෑ. ඒ වගේම සමස්ත ජනතාවටත් වාසියක් විය යුතුයි. මේක නැවත දේශපාලනීකරණයක්ද කියලා අපට සැකයි.

වරාය හා නාවුක කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා – ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යනවාට වඩා ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දිය යුතුයි. ජනතාවගේ අවශ්‍යතාව සැපිරීම වෘත්තීය සමිති රැකීමට වඩා වැදගත්. සංස්ථාව අද කඩා වැටිලා. ඇමැතිට විකල්ප ක්‍රියාමාර්ග ගන්න බලයක් තිබුණේ නැහැ.

ගුවන්යානා ඉන්ධන ලබාදීමේ වගකීම මග නතර වුණා. එරොප්ලොට් ගුවන් යානා ගෙන්වා ගැනීමට කරන සාකච්ඡාවේදී ලංකාවේ තෙල් නැති බව කිව්වා. මම එහිදී ඔවුන්ට තෙල් ලබාදීමට ඇප වුණා.

මේ පනත් සංශෝධනය තුළින් ආයෝජකයන් දිරිගැන්වෙනවා. වරායේ ඉන්ධන ගබඩා හදන්න අපි ආයෝජකයන්ට ඉඩ දෙනවා. ආයෝජකයන් ආවොත් අපිට සංස්ථාව මත යැපිය යුතු නැහැ. රජයේ ආයතනවලට සියලු කටයුතු බදාගෙන ඉන්න බැහැ. නව ලොවට ගැළපෙන පරිදි සියල්ල සකස් විය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) : ආර්ථික අර්බුදය ඇති වුණේ පාලකයන්ගේ වරදින්. එයින් ජනතාව බැට කනවා. බලශක්ති අර්බුදය විකිණිල්ලට පාර කපා ගත්තා. අර්බුදය පාවිච්චි කර විකුණන්න ආණ්ඩුව පියවර ගත්තා. 2002 කරපු ඒවා නැවත කරන්නද මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන්නෙ. නෑ ඒවා නවත්වන්න. මහින්ද රාජපක්‍ෂ කිව්වෙ අපි ආවොත් එජාපය විකුණපු ඒවත් ගන්නවා කියලා. අද විකුණන්න පටන් අරන්.

වෘත්තීය සමිති ව්‍යවස්ථාවට පටහැනි පනතක් සම්මත වන්නේ. ඔවුන් නිසා තමයි ආයතනය රැකුනේ. ඇමැතිවරු ඇවිත් සේවකයන් පුරවලා යනවා. වෘත්තීය සමිති නායකයෝ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පනත මේ විදියට හරි පාලනය වුණේ.

ජාතික ආරක්‍ෂාවේ ප්‍රබල කරුණක් තමයි බලශක්තිය. ඕනෑම රටක් පාලනය කරන්න පුළුවන් බලශක්තිය අල්ලා ගත්තොත්. එවැනි අවස්ථාවකටයි පාර කපන්නේ බලශක්තිය. පුද්ගලික අංශයට පැවරීම දේශද්‍රෝහී ක්‍රියාවක්. ජාතික ආපරාධයක්. ඉන්ධන පිරවුම්හල් ටික විකිණීමෙන් තෙල් ආනයන බලපත් පුද්ගලික අංශයට යනවා. ගුවන් යානා තෙල් විකුණා ඩොලර් ඉපයීමට ඇති අවස්ථාවන් නැතිකර ගන්නවා.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ): ඒකාධිපති බලතල ආර්ථිකයේ තිබුණොත් අපි විරුද්ධයි. තරගකාරීත්වය අවශ්‍යයි. එවිට තමයි ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නෙ. ලයිසන් එකත් දිය යුත්තේ නියාමන අධිකාරියක් විසින්මයි. තෙල් බලශක්තිය පමණක් නොව හැම අංශයකටම එය පොදුයි.

මහජන උපයෝගිතා කොමිසම යටතේ මේ නියාමනය කිරීම කරන්න තිබුණා. මේ නිසා තවත් ප්‍රශ්න ඇති වේවි. කඩිමුඩියේ පනත ගෙනාපු එක ප්‍රශ්න සහගතයි.

රාජ්‍ය ඇමැති කනක හේරත් : ඛනිජ තෙල් අඛණ්ඩව දෙන්න නොහැකි වූ නිසා රටේ ප්‍රශ්න ඇති වුණා. ඛනිජ තෙල් බෙදාහැරීම, ගෙන්වීම තවත් අයට දීම කලෝචිතයි. අපි කලින් විරුද්ධ වුණා. එහෙත් නියාමනයක් ඇතිව ක්‍රියාත්මක විය යුතුයි. විනිවිදභාවයකින් හා මිල පාලනයකින් යුක්තව ලබාදිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ : අයි.ඕසීය උපයන මුදල් පිටරට ගෙනියන්නේ ඩොලර්වලින්. එවිට ඩොලර් ප්‍රමාණය අඩුවන විත්තිය ආණ්ඩුව හිතන්නෙ නැද්ද. කවුරු ඉන්ධන ගෙනාවත් ඩොලර් යන්නෙ රටේ මූල්‍ය වෙළෙඳපොළෙන් පමණයි. ඩොලර් එකට තව පීඩන ඇති කරනවා. නව සමාගම්වලට තෙල් බෙදාහැරීම භාර දුන්නොත් තව ඩොලර් වැය වෙනවා විතරයි වෙන්නෙ.

තරඟකාරීත්වය හැදිය යුතුයි. දේශීය ආයතන සමාගම් සමග තරඟකාරීත්වය හැදිය යුතුයි. ඩොලර් අර්බුදය උත්සන්න කිරීම පමණයි මේ පියවර තුළින් සිදුවන්නෙ.

තෙල්, ගෑස් ඒකාධිකාරිය රුසියාවට තියෙන නිසා යුරෝපා රටවලට අද සීත කාලය ගැන බියක් ඇතිවෙලා. බලශක්තියේ බලය අද පෙන්වනවා. ජාතික ආරක්‍ෂාව යනු හමුදා ආරක්‍ෂාව පමණක් නොවෙයි. බලශක්තිය වගේම ආර්ථිකයත් ආරක්‍ෂා විය යුතුයි.

ඒකාධිකාරිය බිඳිය යුතුයි. ඒ සඳහා දේශීය තරගකරුවන් පමණයි ඊට යොදාගත යුත්තෙ. අර්බුද අස්සෙ සාක්කුව පුරවාගන්නෙ නැතිව ගැඹුරට හිතන්න. ජාතික ආරක්‍ෂාව ගැන සිතන්න.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ – ඛනිජ තෙල් පනත හදිසියේ ගෙනා එකක් නොවෙයි. 2002 සිට සිදුවූ දෙයක්.

අද කාටවත් තෙල් පෝලිම් මතක නැහැ. ජනතාව දුක් වින්දා මියගියා. මේ ගැටලුවට උත්තර හොයන්න අවශ්‍යයි. ගැටලුවකින් තොරව තෙල් ලබාදීමට අපි පියවර ගන්නවා.

විපක්‍ෂයේ කණ්ඩායම් මන්ත්‍රීවරුන්ව ජනතාව අතර වෛරයට ලක්කරලා. ඉන්ධන පිරවුම්හල් ටික දෙන්න යනවා කියලා බොරු බිල්ලෙක් මවනවා. අදත් ෂෙඩ් දහසකට වැඩිය අයිතිය තියෙන්නෙ පුද්ගලික අංශයට. බිල්ලෙක් මවන්න එපා. විපක්‍ෂය තමන්ගෙ අනාගත දැක්ම කියන්න. අර්බුදය තුළ සමාජ විරෝධය ඇති කරන්න එපා.

කම්කරු හා විදේශ සබඳතා ඇමැති මනුෂ නානායක්කාර : රට හරි පැත්තට හැරෙනවාට බය අය තමයි බොරු ප්‍රචාර කරන්නෙ. ඒකාධිකාරිය නැති කරලා රටට ආයෝජකයන් ඇවිත් තෙල් අඩුමිලට ලබාදෙයි කියා සමහරු බියට පත්වෙලා. මොනවා හරි වැඩක් කරන්න යනවිට පාරට බැහැල විරෝධය පළ කරලා ඇත්ත කරුණු වසා දමනවා.

සංචාරක ක්‍ෂේත්‍රය කඩා වැටුණත් කමක් නැහැ උද්ඝෝෂණ කරලා. රට විනාශ කිරීමයි විරෝධතාකරුවන්ගේ උපක්‍රමය. රට ඇතුළේ අවුලක් හදලා ජාත්‍යන්තරය හමුවේ රට විනාශ කර දේශපාලනය කිරීමටයි සමහරුන්ට අවශ්‍ය වී තිබෙන්නෙ. මේවා කසිකබල් දේශපාලනයයි.

ගෑස්, ගල් අඟුරු ගෙනාවාට ඒවාට විරුද්ධව බොරු චෝදනා කරනවා, නොමග යවනවා. විදේශගත ශ්‍රමිකයෝ සල්ලි එවනවා දැන් වැඩිවෙලා. ඒත් සල්ලි එවන්න එපා කියලා සමහරු කියනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ)

අපි යහපාලන ආණ්ඩුව කාලේ මොන ආයතනද වික්කෙ කියලා ජවිපෙන් අහනවා. එදා බොරු බිල්ලො මවලා මහින්ද රාජපක්ෂ මහත්තයා කරළියට ගේන්න ජවිපෙ කටයුතු කළා. ජවිපෙ රෙදි ඇඳගෙනද එදා ඒවා කළේ. අපි එදා කිව්වා තෙල් සංස්ථාවේ පාඩුව අඩුවෙනවා කියලා. ඒවා ඇහුවේ නැහැ. අද නැවත ගේන්න මේ ආණ්ඩුවට සිදුවෙලා.

තෙල් පරිපහදුව ක්‍රියාත්මක කළා නම් භූමිතෙල් අවශ්‍යතාව පිරිමහන්න තිබුණා. ධීවරයෝ අතරමන් වෙලා. ‘දිවයින’ පුවත්පතේ සඳහන් වෙනවා ඉන්ධන මිලදී ගැනීමේදී විගණකාධිපතිට ලෝක බැංකුව උපදෙස් දුන් බව. ඉන්ධන මිලදී ගැනීමේදී හොරකම් සිදුවන බව ලෝක බැංකුව කියනවා.

ඇමැති කංචන විජේසේකර – පුවත්පතේ සඳහන් පුවතට විරුද්ධව අපි පියවර ගන්නවා. එහෙම එකක් ලෝක බැංකුව කියලත් නැහැ. අපිට ලැබිලත් නැහැ.

මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම – නීතිමය පියවර ගන්නවා කියන්නෙ හරියට පණිවුඩකාරයාට වෙඩි තියනවා වගේ වැඩක්

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

ඛනිජතෙල් සංස්ථාව විනාශ කෙරුවේ සමහර ඇමැතිවරු. සංස්ථාවේ සේවකයන්ට චෝදනා කරන්න එපා. මුදල් අමා්‍යාංශය වැරදි තීන්දු ගත්තා. ඒවා සංස්ථාවේ විනාශයට බලපෑවා. සංස්ථාව විනාශ කරනවාට වඩා එය ආරක්ෂා කරගෙන තවත් කාර්යක්ෂම කරන්න අවශ්‍ය සැලසුම් සකස් කළ යුතුයි.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර – ජනතාව පීඩනයෙන් ඉන්නවා දකින්න අපි මහජන නියෝජිතයන් ලෙස කැමැති නැහැ. පෝලිම් යුග යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමයි අපි කරන්නේ. ආණ්ඩුවක වගකීම නිසි කලට තෙල්, ගෑස්, විදුලිය ලබාදීමට පියවර ගැනීමයි. ඒ සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.

අරගලය කිව්වේ වෙනසක් කළ යුතුයි කියලා. ඒ වෙනස කරන්න ගියාම විපක්ෂය විරුද්ධව දඟලනවා ඡන්ද ඉල්ලනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක

බලපත්‍ර ලබාදීමෙන් කළුකඩ බිහිවෙනවා. තවත් අයට තෙල් ගෙන්වීමේ අයිතිය දීමෙන් කළුකඩ ඇති කර ගන්නවා. එය වැළැක්වීමට ක්‍රමවේදයක් අවශ්‍යයි. පිරිපහදුව නවීකරණය කිරීම අවශ්‍යයි. ඊට ගැළපෙන තෙල් මිලදී ගැනීමත් කළ යුතුයි. තරගයක් ඇති කරනවා නම් මහජන උපයෝගිතා කොමිසම මගින් පාලනයක් ඇති කළ හැකියි. සංස්ථාවේ සේවක පිරිස කාර්යක්ෂමව කරගෙන යනවා නම් ඇගයීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

ඇමැතිවරයාට යන්න වෙන විකල්පයක් නැහැ. අපට තෙල් ගන්න ඩොලර් බිලියන 500 ක් හොයාගන්න බැරිවුණා. ඉදිරියේදී තෙල් මිලදී ගැනීම ගැටලුවක් නොවන බව විශ්වාසයි. විපක්ෂය කැමති මිනිස්සු පාරට බහිනවා නම්, තෙල් නැතිවෙනවා නම්. මේ ක්‍රමවේදයක් තුළ ජනතාව සාමාන්‍ය පරිදි ජීවත්වීමෙන් ප්‍රශ්න විසඳෙනවා. මේ පනත නොගෙනාවා නම් සංස්ථාව විකුණන්න වේවි. පනත ගෙනාපු නිසා සංස්ථාව ආරක්ෂාවී සේවක අයිතීන් රැකෙනවා.

සංස්ථාව ටි්‍රලියන 1.2 ක් ණයයි. චෝදනා රැසක් සංස්ථාවට එල්ල වෙලා. ඒකාධිකාරය නැති කළොත් එල්ලවෙන චෝදනා නැති වෙනවා. යම් ස්වාධීන නියාමනයක් අවශ්‍යයි. අද තෙල් මිල අඩු වෙනවා. රට සාමාන්‍ය වෙනවා. එයට විපක්ෂය කැමති නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ)

94 සිට ඇමැතිකම් කරලා රට බංකොලොත් කරපු අය තවම ඉන්නවා. 2002 කරු ජයසූරිය මහතා මීට සමාන පනතක් ගෙනාපු වෙලාවේ එදා විරුද්ධ වූ අය යළිත් පනතක් ගෙනල්ලා. රට ලෝකය ඉදිරියට ගෙන ගියේ නැහැ. ඒවාට අද ජනතාවට වන්දි ගෙවන්න සිදුවෙලා.

මේ රජය ගැන ලෝකයාට විශ්වාස නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට වටේ ඉන්නෙ පරණ සෙට් එක.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර (සජබ) – තෙල් නැව් ඇවිත් දවස් ගණන් මුහුදේ තියෙන්නෙ කාගේ වැරදි නිසාද, ආණ්ඩුව නිසා. හරියට මුදල් හොයාගෙන තෙල් ගේන්න. අද වැඩිපුර මුදල් ගෙවන්න වෙලා. ඉතිහාසයේ පළමු වරට ඩීසල් මිල පෙට්‍රල් මිලට වඩා වැඩිවෙලා. අයි. ඕසිය විශාල ලෙස ලාභ ලබනවා. එය අයකර ගැනීමට කිසිම පියවරක් ගෙන නැහැ. තව සමාගම් ගෙනාවත් ඔය ටිකමයි වෙන්නෙ. එන සමාගම් විශාල ලාභ ලබයි. සංස්ථාව පාඩු ලබනවා. නියම ඔක්ටේන් ප්‍රමාණය නැති නිසා පෙට්‍රල් ලක්ෂ ලීටර් 90ක් ගොඩගහගෙන ඉන්නවා.

නියම ප්‍රමිතිය නැහැ. ඒවා කලවම් කරලා ගහන විට වාහනවලට ගැටලු ඇතිවෙනවා.

රට බංකොලොත් වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන විකුණලා අතයට ගනුදෙනු කරගැනීමේ වැඩපිළිවෙළක් මේ ගෙනයන්නේ. මේ වනවිට හතර පාරක් පිරිපහදුව වහලා. මෙහෙම නිතර වැහුවම පිරිපහදුවට හානි සිදුවෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන (සජබ) – තමන්ට අවශ්‍ය දේ කරගන්න ඕන වුණාම 2002 කරපු එකක් අල්ලගෙන කතා කරනවා. 2002 කරපු එක 2022 කරන්න හදනවා.

පෝලිම් ඇති කළේ කවුද? මාස හයකට පෙර කවද්ද රටේ තෙල්වලට පෝලිම් තිබ්බේ. කූපන්වලට තෙල් දුන්නේ. මේවට වගකිව යුත්තේ මේ ආණ්ඩුවයි.

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් – අද තරගකාරි ජීවන රටාව තුළ ජනතාවට පහසුකම් ලබාදිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධන සිදු කළා. අධිකරණය තවත් නිවැරදි කළා.

විපක්‍ෂය විවේචනය පමණයි කරන්නෙ. නැවත බලය ලබාගැනීමේ වුවමනාවට පනත පාවිච්චි කරනවා. ලෝකයේම බරපතළ අර්බුද, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල්වල උද්ඝෝෂණ වැඩිවෙලා. අපි මූල්‍ය අර්බුදයත් සමග තෙල් ලබාදීමටයි මේ පියවර ගන්නෙ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල – අද ආණ්ඩුවට රටට ඉන්ධන දෙන්න ඩොලර් නැහැ. එනිසා ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට නව සමාගම්වලට බලපත්‍ර දෙන්න පනතක් ගෙනල්ලා.

ඩොලර් බිලියන 2ක් දෛනිකව නොගත්තොත් වසර දෙකකින් සංස්ථාව වහන්න වෙනවා කියලා එදා මම කිව්වා. නිලධාරීන් ඒක දන්නවා. එදා අපි දැක්ක බියකරු සිහිනය සැබෑ වෙලා. අපි එදා රටවල් සමග කතා කළා ණය ගන්න සංස්ථාව බංකොලොත්, රට බංකොලොත් වෙන්න ඕන්න මෙන්න නිසා ණය දුන්නේ නැහැ. තෙල් සංස්ථාව බංකොලොත් කළා. එය කළේ රට වෙනුවට දේශපාලනයට මුල්තැන දුන්න දේශපාලකයන් නිසයි. පනත සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (19දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment