සංස්ථාවෙන් නිසි ලෙස තෙල් ලැබෙන්නේ නෑ – ෂෙඩ් ළඟ පෝලිම් ඒ නිසයි

79

ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම්

මුදල් ලබාදුන්නත් නිසිලෙස තෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබෙන නිසා ඉන්ධන හල් අසල වාහන පෝලිම් වැඩිවී ඇතැයි ලංකා ඛනිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන හල් හිමියන් විසින් තෙල් සංස්ථාවට මෑතකදී රුපියල් කෝටි 6000 ක් පමණ ගෙවා තිබුණත් තෙල් සංස්ථාවෙන් නිසිලෙස ඉන්ධන හල්වලට ඉන්ධන බෙදාහැරීම් සිදුනොවන බවද ඒ මහතා පැවැසීය.

ඉන්ධන හල් හිමියන් ඉන්ධනවලට පොළියද සමඟ’ මුදල් බැංකු හරහා ගෙව්වත් ඉන්ධන හල්වලට නිසිලෙස ඉන්ධන නොලැබෙන නිසා ඉදිරියේදී ඉන්ධනහල් නඩත්තු කිරීම පවා අසීරුවනු ඇතැයිද ඒ මහතා සැක පළ කළේය.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා කියා සිටියේ ඉන්ධන බෙදාහැරීමේදී තෙල් සංස්ථාව නිසි ක්‍රමවේදයක් සකස් කරගෙන නොමැති නිසා ඉන්ධන පෝලිම් ඇතිවන බවයි. ගොවියන්ට අවශ්‍ය ඉන්ධන කොපමණද, ඒ මොන ප්‍රදේශවලටද යන්න නිසි ක්‍රමවේදයකින් හඳුනාගෙන ඉන්ධන බෙදාහැරීම් සිදුනොකරන නිසා තව දින කිහිපයකින් නැවතත් ගොවීන් නැගීසිටිය හැකි බවද හෙතෙම පැවැසීය.

ආණ්ඩුව සතියකට කුමන හෝ ප්‍රශ්නයක් ඇතිකර ජනතාවට ඒ ගැන කථා කිරීමට ඉඩ සලස්වා ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය කරුණු මගහරින ස්වභාවයක් පෙන්නුම් කරන බවද ඒ මහතා කීවේය.

පසුගිය දිනවල විදුලි බිල ගැනද දැන් ජල බිල පිළිබඳවද කතා කරමින් සිටින බවත්, තව සතියකින් වෙනත් මාතෘකාවකට යොමු කරනු ඇති බවත් සන්දනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment