සංස්ථාවේ පාඩුව බිලියන 70යි – තෙල් මිල උස්සන්නම ඕනෑ – ඛනිජ තෙල් සභාපති

430

* කැබිනට් මණ්ඩලයට කරුණු කියනවා – ඇමැති ගම්මන්පිල

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ඉහළ යෑම හමුවේ පවතින මිල ගණන් යටතේ මෙරට ඉන්ධන මිල පවත්වාගෙන යා නොහැකි බැවින් ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කිරීම මිස වෙනත් විකල්පයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

මේ තත්ත්වය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලබමින් තිබෙන බැවින් ඉන්ධන මිල ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නම් ජනතාවගේ පැත්තෙන්ද සිතා බලා රටේ ආර්ථිකය ඇතුළු සියලූ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් එය සිදු කළ යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඛනිජ තෙල් සංස්ථාව ඉකුත් අගෝස්තු 31 වැනිදා වන විට රුපියල් බිලියන 70 ක පාඩුවක් ලබා තිබෙන බව පැවසූ නීතිඥ සුමිත් විජේසිංහ මහතා ඔක්තෝබර් මාසය ආරම්භ වන විට ඩොලර් 85 කට පැවති තෙල් බැරලයක මිල ගෙවුණු දින එකොළහ තුළ ඩොලර් 92 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසීය. සංස්ථාව මේ අන්දමින් පාඩු ලැබීම නතර කිරීමට නම් පළමුව සිදු කළ යුතුව ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවය. ආණ්ඩුව යම් සහනයක් ලබා දෙන්නේ මිල වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව කී ඇමැතිවරයා, ඉකුත් ජුනි මාසයේදී ඉන්ධන මිල ඉහළ දැමුවේ මැයි මාසයේ ඉලක්කම් පදනම් කරගෙන බවද සඳහන් කළේය.

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් තෙල් සංස්ථාවේ පාඩු පියවා ගැනීම සඳහා ඉකුත් ජුනි මස 11 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කි‍්‍රයා කළේය.

එහිදී ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඔටෝඞීසල් ලීටරයක මිල රුපියල් 07 කින්, සුපර්ඞීසල් ලීටරයක මිල රුපියල් 12 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07 කින් ආදී වශයෙන් මිල ඉහළ නංවනු ලැබිණි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment