සංහිඳියාවේ ප්‍රතිමූර්තිය වූ යගම්වෙල සුෆි සමාධිය

107

වසර 300 කට වඩා ඉපැරණි කීර්තිමත් ඉතිහාසයක් උසුලන, යගම්වෙල සුෆි සමාධිය දිවයිනේ සුෆි භක්තිකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට හා ගෞරවාදරයට ලක්වූ සුවිශේෂ සිද්ධස්ථානයකි. යේමනයේ ජන්ම ලාභය ලැබූ සුෆි අධ්‍යාත්මික දිවැසිවර, ගෞරව, අස් සෙයියද් ආරිෆුබිල්ලාහ් අෂ්ෂෙයික්, ඉස්මායිල් වලියුල්ලාහ් ශාන්තුවරයාණන් වහන්සේ ලංකාවට වැඩම කර කුරුණෑගල දිස්ත්‍රික්කයේ යගම්වෙල ග්‍රාමයේ වැඩහිඳ තම තපස් දිවිය ඇරඹීය.

විශේෂයෙන්ම ප්‍රදේශවාසී සිංහල ජනතාවගේ මහත් ගෞරවාදරයට හා විශ්වාසනීයත්වයට පාත්‍ර වූ එතුමා වෙද හෙදකම මනාව දත් අයෙකු විය. ඒ නිසාම ප්‍රාදේශීය රජවරුන්ගේ රාජ සභාවේ අසුන් ගත් මහාමාත්‍යාදීන්ටද මෙතුමා වෛද්‍ය ප්‍රතිකාර සිදු කර ඇත. එතුමා සතු අධ්‍යාත්මික ශක්තියේ බලය හා එතුමා සිදු කළ යම් යම් ආශ්චර්යමත් ක්‍රියාවන් මගින් රෝග පීඩා සුව කිරීම ජනයා අතර ප්‍රචලිත විය.

දැනට යගම්වෙල මස්ජිදුල් අක්බර් දේවස්ථාන භූමියේ පිහිටි දැවැන්ත තෙළඹු ගස පාමුල එතුමා බවුන් වැඩූ බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ.

එවන් චිරප්‍රසිද්ධ මෙම සමාධිය, වහාබ්වාදී අන්තවාදීන් (සහරාන්ගේ පළමු පෙළ අනුගාමිකයන්) විසින් 2018 වර්ෂයේදී ගිනිබත් කිරීම සුෆි භක්තිකයන් මහත් කම්පනයටත් ශෝකයටත් පත් කරන්නක් විය. සහරාන් විවාහ වී සිටියේ ද මෙම ගම්මානයට නුදුරින්මය. ඒ නිසා ඔහුට මෙම ග්‍රාමයේ ඇතැම් පුද්ගලයන් සමග සම්බන්ධතා තිබිණි. ඔහු අන්තවාදී දේශනා පැවැත්වීම සඳහා ද කිහිප විටක්ම මෙම ප්‍රදේශයට පැමිණ ඇත. යගම්වෙල ග්‍රාමය ඔහුගේ අන්තවාදී අදහස් වපුරන කෙත් බිමක් කර ගැනීමේ අභිප්‍රායක් ඔහුට තිබිණි. එයට ප්‍රබල බාධාවක් ලෙස ඔහු සැලකුවේ මෙම සමාධිය හා ප්‍රදේශවාසී සුෆි වරුන්ය. ඒ නිසා මෙම සමාධිය විනාශ කළ යුතු යැයි ඔහුගේ තීරණය විය. 2018.12.26 වන දින එනම් මාවනැල්ල බුදු පිළිම වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ දිනයට පසු දින, මෙම තිරශ්චීන ප්‍රහාරය එල්ල කරන ලදී. මෙමගින් ශාන්තුවරයාණන් පිළිබඳ විශ්වාසයන්ට නිග්‍රහ කිරීම මෙන්ම, මෙම ප්‍රහාරය මාවනැල්ල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් බව හඟවා සිංහල මුස්ලිම් ගැටුමක් ඇවිලවීම ද මොවුන්ගේ අභිප්‍රාය විය. නමුදු සුෆි මුස්ලිම්වරුන් දිගින් දිගටම කියා සිටියේ මෙය සිංහල ජනතාව සිදුකළ ක්‍රියාවක් නොව වහාබ්වාදී ක්‍රියාවක් බවය.

ශාන්තුවරයාණන් වහන්සේ විසින් තම අතින්ම ලියන ලද ශුද්ධ වූ අල් කුරාණයේ අත්පිටපතක් එම ගිනිබත් කිරිම හමුවේ ද කිසිම උපද්‍රවයකට භාජනය නොවී තිබීම සැබවින්ම ආශ්චර්යයකි.

සුෆි ශාන්තුවර, ෂෙයික් ඉස්මායිල් වලියුල්ලාහ් තුමා ස්මරණය කරමින් වාර්ෂිකව මහා මංගල්‍යය එතුමාගේ සමාධි පරිශ්‍රයේ වසර 108 පුරා පැවැත්විණි. නමුදු අවාසනාවන්ත ලෙස මෑත ඉතිහාසයේ නැගී ආ වහබ්වාදී බලපෑම නිසා පසුගිය වසර 20 ක් පුරාවට මෙම මංගල්‍යය පැවැත්වීමට අවහිර ඇතිකොට තිබිණි.

බාධා හමුවේ වුව ද පසුගිය වසරේ සිට මෙම මංගල්‍යය නැවත ආරම්භ කිරීමට සමස්ත ලංකා සුෆි අධ්‍යාත්මික සම්මේලනය පියවර ගෙන තිබේ. එහි සභාපති ආචාර්ය දේශබන්ධු දේශමාන්‍ය අෂ්ෂෙයික් අබ්දුල්ලාහ් මව්ලවි තුමාණන්ගේ කැපවීම පැසසිය යුත්තකි. එමෙන්ම එහි ලේකම් දේශමාන්‍ය, විශාරද, ශිරාස් සම්සුදීන් මහතා ඇතුළු සංවිධායක කමිටුව මෙම උත්සවය සංවිධානයෙහිලා විශාලා කර්යභාරයක් උසුලන ලදී. මෙවර මෙම මංගල්‍යය පැවැත්වෙනුයේ 110 වන වතාවටය.

ප්‍රදේශවාසී සිංහල ජනයා ද තම දූ දරුවන් සමග මෙම උත්සවයට සහභාගි වී සිටිනු දක්නට ලැබීම ජාතීන් අතර සැබෑ සංහිඳියාව ඔප්නැංවුණු කදිම අවස්ථාවක් විය. චිරාත් කාලයක් මුළුල්ලේ පල්ලියේ මුත්තා යන ආදරණීය නාමයෙන් සිංහල ජනතාව අතර ප්‍රසිද්ධියට පත් ෂෙයික් ඉස්මායිල් වලියුල්ලාහ් ශාන්තුවරයාණන් වහන්සේගේ ආශීර්වාදය ලබනු පිණිස මෙන්ම තමන්ගේ විවිධ අවශ්‍යතා සඳහා පිහිට යැදුම පිණිස මහත් වූ භක්තියෙන් ඔවුන් පැමිණ සිටියහ. මෙම මංගල්‍යය නැවත ඇරඹීම ඔවුන්ගේ මහත් අමන්දානන්දයට ලක්වූ බව පෙනුණි.

මංගල්‍යයේ දෙවැනි දිනය වූ ඉරිදා දින ධර්ම දේශනා හා සංස්කෘතික අංග රාශියකින් සමන්විත වූ උත්සවය සඳහා විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගි වී සිටියහ. සර්ව ආගමික පූජක තුමන්ලාද, රාජ්‍ය නිලධාරීන් ද, මහජන නියෝජිතයෝ ද, ප්‍රභූවරු හා වෙළඳ ව්‍යාපාරිකයෝ ද ඒ අතර විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන විද්‍යා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සුමේද වීරවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අබුබකර් මුෆිසාල්, නීතිඥ මර්සූම් මවුලානා, සහිරා විද්‍යාලයේ හිටපු ආචාර්ය ෆයිසාල් කාරි ඇතුළු සම්භාවනීයන් විසින් දෙසුම් පවත්වන ලදී.

එමෙන්ම අහ්ලුල් සුන්නත්වල් ජමාත් හි අධ්‍යාත්මික දේශක අල් උස්තාද් අල් ආලීම් සෆා මුහම්මද් නජාහි, සුන්නත්වල් ජමාත් ගෝලීය විද්වත් දේශක අෆ්ලලුල් උලමා අල් ආලීම් හාෆීල් ඉහ්සාන් ඉක්බාල් කාදිරි, අල් ආලීම් අධ්‍යාත්මික ගායක අජ්මීර් බාතුෂා අසීසි, අධ්‍යාත්මික දේශක අල් ආලීම් මුහම්මදු ෆාසීල් නජාහි, සුන්නත්වල් ජමාත් හි අධ්‍යාත්මික දේශක සමස්ත ලකා මජ්ලිසුල් උලමා සංවිධානයේ ලේකම් හා සමස්ත ලංකා සුෆි අධ්‍යාත්මික සම්මේලනයේ අනුශාසක අල් ආලිම් හාෆිස් සිරාජ් නජාහි ආදී ලංකාවේ දැනට සිටින කීර්තිමත් සුෆි පූජක උතුමාණන් (මව්ලවි) වහන්සේලා රාශියක් එකම වේදිකාවක හිඳ ධර්ම දේශනා පැවැත්වීම දුර්ලභ අවස්ථාවක් විය.

මෙම දෙදින පුරාවට පොලිසිය මගින් ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සහභාගි වූවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලදී. විශේෂයෙන්ම ඒ පිළිබඳව පොලිස්පතිතුමා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment