සකල ලෝක ධාතුවම කම්පා කළ සම්බුද්ධ පරිනිර්වාණය

605

‘මහණෙනි, දැන් තොප අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. එබැවින් සිහිනුවණින් යුතුව නොපමාව කටයුතු සම්පාදනය කරවු’ මින් අනතුරුව ප්‍රථම ද්විතීය, තෘතීය, චතුර්ථ යන ධ්‍යානයන්ට පිළිවෙළින් සමවැදි බුදුරදුන් ඉන් නැඟී සිට අෂ්ට සමාපත්තීන්ට පිළිවෙළින් යළි සම වැදී අවසානයේ එයින්ද නැඟී සිට නිරෝධ සමාපත්තියට සමවන් සේක. ඉන්පසු මෙයින්ද නැගී සිට නැවත සතර ධ්‍යානයන් සමවැද එදින රාත්‍රියේ අලුයම් වේලේ නිරුපධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

පන්සාලිස් වසක් තිස්සේ මහා ධර්මස්කන්ධයක් දේශනා කළ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සිය ජීවිතයේ සූවිසි වසරක්ම වැඩ විසුයේ සැවැත් නුවරය.

එහි ධනවත් සිටුවර අනේපිඬු සිටාණන් විසින් බුදුරදුන් වෙත පූජා කළ ජේතවනාරාමය සහ ධනවත් පූර්ණවර්ධන සිටුවරයාගේ බිරිඳ වූ විශාඛා මහා සිටුවරිය විසින් පූජා කරන ලද පූර්වාරාමය යන විහාරස්ථානවල වැඩ විසූ බුදුරදුන් එහිදී මිනිසුන්ට මෙන්ම සදිව්‍ය ලෝකවල දෙව් බඹුන් ඇතුළු දිව්‍ය සමූහයාට ධර්මාභි සමය ලබාදුන් සේක. එලෙසම බුදුරදුන් වැඩිම සූත්‍ර දේශනාවන් දේශනා කරන ලද්දේ ද මේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩි සිටි සමයේය.

මෙසේ සූවිසි වසරක්ම සැවැත්නුවර වැඩ වාසය කළ බුදු හිමියන් ලෙඩුන්, අසරණයන්, යාචකයන්, දුකට පත් වූවන් සුවපත් කළා මෙන්ම අංගුලිමාල, දෙව්දතුන් වැනි දමනය කළ යුත්තන් දමනය කළ සේක.

මේ වනවිට බුදුරදුන් සමීපයෙහි ධර්ම ශ්‍රවනය ලත් එමෙන්ම ජීවත්ව සිටි ප්‍රධාන දායක කාරකාදීන් බොහෝ දෙනෙක් සම්බුදු හිමියන් ජීවමානව සිටියදීම මිය පරලොව ගොස් සිටියාය. ප්‍රකට දායකයෙකු වී අනේපිඬු සිටුතුමා බිම්බිසාර රජතුමා, මුගලන් තෙරුන්, රාහුල තෙරුන්, මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණිය සහ යසෝදරා ගෝතමියද ආදීන් මිය පරලොව ගිය අය අතර වෙති.

මෙසේ ලෝකාර්ථ චර්යාවෙහි නිරත වූ සම්බුදුරදුන්, බුද්ධත්වයෙන් පසු හතළිස් පස්වන වස වේළුව ග්‍රාමයට පැමිණ එහිදී අවසන් වස් කාලය ගත කිරීමට තීරණය කළහ. මෙහිදී බුදුරදුන් ප්‍රථම වරට රෝගාතුර වූවාය. තමනට ඉවසා ගත නොහැකි උදරාබාධයක් යළි දස මසක් යනතුරු මතු නොවන්නට බුදුරදුන් විසින් එය මැඩපවත්වා ගත්තේ සිය අධිෂ්ඨාන බලයෙනි.

ඉන්පසු විසාලා මහනුවරට වැඩ එහි පිඬුසිඟා වඩිමින් එහිදී තමන් වහන්සේ මෙම නුවරට වඩින අවසන් අවස්ථාව බව අනඳ තෙරුන් අමතා පැවසූහ. එතැනින් පිටත්ව සෙසු ග්‍රාමීය වැසියනට බණ දේශනා කර භෝග නම් නගරයට වැඩි සේක. මෙහිදී අනන්ද චේතිය ස්ථානයේ භික්‍ෂූන් වහන්සේලා අමතා ‘සතර මහාපදේශ සූත්‍රය’ දේශනා කර පාවා නුවරට වැඩියහ. එහි සිටි චුන්ද කර්මාර පුත්‍රයා බුදුරදුන්ගෙන් දහම් අසා ඉන් පැහැදී පසු දිනම දනට තමාගේ නිවෙසට වඩින ලෙස ආරාධනා කළහ. එය පිළිගත් බුදුරදුන් පසු දින දනට වැඩි අතර එහිදී දනට පිළියෙල කර තිබූ ‘සූකර මද්දව’ නමැති ආහාර වැළඳු බුදුනට ‘ලෝහිත පක්ඛන්දිකා’ නමැති රෝගය ඇතිවී කලක් යටපත්ව තිබූ උදරාබාධය යළි මතුවන්නට විය. මෙසේ දෙවැනි වරට රෝගාතුර වූ සම්බුදුන් පාවා නුවර සිට කුසිනාරාව බලා වැඩි සේක.

මෙහිදී අතරමගදී දැඩි පිපාසයක් ඇතිවූ බුදුරදුන්ට ආනන්ද හිමියන් විසින් අසල කුකුත්ථා නදියෙන් සිසිල් පැන් ගෙන උන්වහන්සේට පිළිගැන් වූහ. මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි පුක්කුස නම් මලල පුත්‍රයා බුදුරදුන් කෙරෙහි පැහැදී ධර්මාවබෝධය ලැබ තමා සතුව තිබූ සුසිනිඳු වස්ත්‍ර දෙකකින් එකක් බුදුරදුන්ටද අනෙක ආනන්ද තෙරුන්ටද පූජා කළහ.

ඉක්බිති කුකුත්ථා නදියේ ගලා යන සිසිල් දිය දහරාවෙන් ස්නානය කළ බුදුරදුන් කුසිනාරාවේ මලල රජුන්ගේ ‘උපවර්ථන’ නම් සල් උයනට වැඩි සේක. ගමන් විඩාවෙන් තරමක ක්ලාන්ත ගතියක් ඇතිවූ නිසා ආනන්ද තෙරුන් ලවා සල් උයනේම සල් රුකක් අතර මඤ්ඤකයක් පිළියෙල කොට ගෙන එහි සිංහ සෙය්‍යාවෙන් සැතැපුනි.

මෙහිදී බුදු සිරුරෙන් මහා රශ්මි ධාරා කදම්භයක් නිකුත්වී අවට පරිසරයම දිළෙන්නට විය. මේ ආශ්චර්ය ගැන ආනන්ද හිමි ඇසූ විට බුදු සමිඳුන් පැවසුයේ බුද්ධත්වය ලබන දිනයේත්, පිරිනිවන් පානා දිනත් මෙසේ සම්බුදු සිරුරෙන් විශ්මිත කසා වර්ණ ආලෝක ධාරා විහිදෙන බවත්ය. පසුව එම මොහොත් භික්‍ෂුන් අමතා මෙසේද කී සේක.

‘මහණෙනි, මාගේ වයස දැන් මුහුකුරා ගොස් පැමිණ ඇත. මාගේ ජීවත්වීම තව ටික දිනක් පමණි. මාගේ පිරිනිවන් පෑම තව නොබෝ දිනකින් සිදුවන්නේය. මල්ලව රජු උයනේ තමන් වහන්සේ පිරිනිවන් පාන බව අවසානයේ ආනන්ද තෙරුන් අමතා පැවසීය.’

සැණෙකින් මහා සල් රුප්පා තුළින් ඇදවැටුනු සල්මල් වරුසාවෙන් සහ අහසින් වැටුනු පරසතු මදාරා මල්වලින් හා දිව්‍ය සඳාුන් සුවඳින් මුළු බුදු සිරුරම වැසී යන්නට විය. මේ මොහොතේ බුදුරදුන් බැහැදැකීමට පැමිණි දිව්‍ය සමූහයාට තමන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට ලැබෙන අවසන් අවස්ථාව හෙයින් ඊට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් සේක. මෙහිදී බලවත් ශෝකයට පත් පුහුදුන් දෙවිවරු හඬා වැළපෙන්න වූවාය. බීතරාගී දෙවිවරු අනිත්‍ය සිහිකර ගනිමින් තම සිත් සනසා ගනිමින් ඉවත්ව ගියාය.

මෙහිදී ආනන්ද හිමියන් අමතා, සැදැහැවත් කුල පුත්‍රයන් විසින් පහන් සංවේගය ඇති කර ගත යුතු ස්ථාන සතරක් ගැන පෙන්වා වදාළහ. ‘බුදුන් ඉපැදුණු ස්ථානය, බුදුවූ ස්ථානය, දම්සක් පැවැත්වූ ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය යනුවෙනි.

ඉන් අනතුරුව බුදුරදුන්ගේ ජීවන ගමනේ දිවි චරියාවට අනුව ශාසනික වශයෙන් දිගු ඉතිහාසයක් කුසිනාරා නුවර තමන් වහන්සේට පිරිනිවන් පෑමට සුදුසු තැන බවත් මල්ලව රජුන්ට මේ ගැන දන්වන ලෙසත් ආනන්ද හිමිගෙන් ඉල්ලා සිටි සේක. මේ ගැන සැළවූ වහාම ශෝකයට පත් මල්ලව රජු බුදුරදුන් වෙත පැමිණ වැඳ නමස්කාර කරන්නට වූහ.

මේ ආරංචිය ඇසූ සුභද්ද නම් පිරිවැජියාද එසැනින් බුදුන් වෙත පැමිණ ධර්මය අසා නිවන් මග පශ්චාත් කරගෙන පැවිදිව රහත් බව ලැබීය. හේ බුදුරදුන්ගේ අවසන් ශ්‍රාවකයා විය.

ඉන් ඉක්බිතිව බුදුරදුන් භික්‍ෂු සංඝයා අමතා තෙරුවන් කෙරෙහි හෝ විමුක්ති මාර්ගය කෙරෙහි හෝ යම් සැකයක්, ගැටලුවක් තිබේ නම් තමන් වහන්සේගෙන් විමසන ලෙස ඉල්ලා සිටියහ. මෙහිදී එබඳු කිසිදු සැකයක් ගැටලුවක් භික්‍ෂු සංඝයා අතර නොමැති බව ආනන්ද හිමි බුදුරදුනට ප්‍රකාශ කළහ.

සම්බුදු පියාණන්ගේ ජීවිතයේ අවසන් හෝරා කිහිපය එළැඹෙත්දී මෙදින රාත්‍රියේ පශ්චීම රාත්‍රියේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන බව දැන මහත් සංවේගයට පත් සම්බුදු පාමුල දිවිතෙක්ම අග්‍ර උපස්ථායකයකු වූ ආනන්ද හිමියන් විහාරගෙයි දොර ධාමේ කුලුනකට බරවී හඬා වැළපෙන්න විය. මෙහිදී අනඳ තෙරුන් සැනසූ බුදුරදුන් සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය මෙනෙහි කරන ලෙස ඉල්ලූ සේක. අනතුරුව භික්‍ෂු මහා සංඝ රත්නය දෙස මහත් කරුණාවෙන් බලා සිටි සම්මා සම්බුදු පියාණෝ අවසන් බුද්ධ වචනය මෙසේ වදාළ සේක.

‘භන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො
වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ…’

‘මහණෙනි, දැන් තොප අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. එබැවින් සිහිනුවණින් යුතුව නොපමාව කටයුතු සම්පාදනය කරවු’ මින් අනතුරුව ප්‍රථම ද්විතීය, තෘතීය, චතුර්ථ යන ධ්‍යානයන්ට පිළිවෙළින් සමවැදි බුදුරදුන් ඉන් නැඟී සිට අෂ්ට සමාපත්තීන්ට පිළිවෙළින් යළි සම වැදී අවසානයේ එයින්ද නැඟී සිට නිරෝධ සමාපත්තියට සමවන් සේක. ඉන්පසු මෙයින්ද නැගී සිට නැවත සතර ධ්‍යානයන් සමවැද එදින රාත්‍රියේ අලුයම් වේලේ නිරුපධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

පන්සාලිස් වසක් මුළුල්ලේ සකල ලෝක සත්වයා කෙරෙහි පැතිරි අපරිමිත මහා කරුණාවෙන් දහම් දෙසමින් ලෝ සතුනට නිවන් මග අවබෝධ කරමින් මුළු ජීවිතයම පරාර්ථ චර්යාව සඳහා කැපකොට වදාළ සම්මා සම්බුදු පියාණන් අසූවන වියේදී පිරිනිවන් පා වදාළේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේය.

බුදුරදුන් ජීවමානව සිටියදී අනඳ හිමියන්ගෙන් ඉල්ලා සිටි පරිදි චක්‍රවර්තී රජ කෙනෙකුගේ ආදාහන කටයුතු මෙන් බුදු කෙනෙකුගේ ආදාහන කටයුතු සිදුකළ යුතු හෙයින් ඒ ආකාරයෙන්ම සත් දිනක් පුද පෙරහැර පවත්වා ‘මුකුට බන්ධන’ චෛත්‍ය ස්ථානයට බුදු සිරුර ගෙන යනු ලැබූහ. එහෙත් මහා කාශ්‍යප තෙරුන් පැමිණෙන තුරු බුදු සිරුර තැන්පත් චිතකයට ගිනි නොඇවිලින. කාශ්‍යප තෙරුන් පැමිණ ශ්‍රී දේහය වටා තුන්වරක් ප්‍රදක්‍ෂිණා කර අවසානයේ ගරු බුහුමන් දැක්වීමත් සමගම චිතකයට ගිනි ඇවිලින. එසැනින් මහා භූමි කම්පාවක් මෙන් මහ පොළොව සසල විය. අහස පුරා මහ හෙණ හඬ, පැතිරින. සකල ලෝක ධාතුවම මහා කම්පනයකට පත්විය. බුදු සිරුරේ දළදාවන් හා අකුදා හැර සියලු ශරීර කොටස් අළුවී විසිරී ගියේය. ශ්‍රී දේහයේ භෂ්මාවශේෂ දෝණ නම් බ්‍රාහ්මනයා විසින් අට කොටසකට බෙදා සියල්ලන් වෙත සමසේ බෙදා දුන්හ. මේ සකල ලෝක ධාතුවම මහා කම්පනයකට පත්කළ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයේ මහා ආශ්චර්යයයි.

ජී. ඒ. කිංස්ලි පෙරේරා,
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment