සක්කිලි ගැහැනියක ගේ ඇතුළාන්තය මම හෙව්වා – රිතිකා කොඩිතුවක්කු

531

ඇය සිනමාවට එන්නේද මීට අවුරුදු හතකට ඉහතදී අශෝක හඳගමයන්ගේ ඇගේ ඇස අග නිර්මාණය හරහායි. එහිදී ඇය රඟපෑ චරිතය ගැන සමාජයේ ලොකු කතාබහක් ඇතිවුණා. යළිත් ඇය ඇවිත්.

 මෙවරද ඇය අශෝක හඳගමයන්ගේ ඇල්බොරාදා සිනමා කෘතියේ සක්කිලි ගැහැනිය නමැති අභියෝගාත්මක චරිතය රඟපායි. ඇය නමින් රිතිකා කොඩිතුවක්කු මේ ඇගේ හඬයි.

* රිතිකා ඔබේ අලූත්ම සිනමා නිර්මාණය වන ඇල්බොරාදා හට ලැබුණ ප‍්‍රතිචාර එහෙම කොහොමද?

 මාධ්‍ය දර්ශනයේදී ලැබුණු ප‍්‍රතිචාර සෑහෙන දුරට හොඳයි. තවම පේ‍්‍රක්ෂකයන් හරියට දැකලා නැති හින්දා මේ ගැන කියන්න දන්නේ නැහැ.

 * දිගු කලකට පසුව තමයි ඔබව දකින්න ලැබෙන්නෙ.

 අවුරුදු හතකට පසුව තමයි මම සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ. මම ආසයි කාලයක් අරගෙන වෙනස්ම විදියකට පේ‍්‍රක්ෂකයා ඉදිරියේ පෙනී සිටින්න. අලූත්ම අත්දැකීම් මොන විදියටද භාර ගන්නේ කියලා දැන ගන්න මම කැමතියි.

 * ඇගේ ඇස අග නිර්මාණයෙන් පසුව ඔබට නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැතිද?

 සමහර අවස්ථාවලදී විවිධ නිර්මාණවලට කතාබහ කරලා තිබෙනවා. හැබැයි මම මගේ පෞද්ගලික වැඩ ටිකක් කරන ගමන් ඉන්න නිසා මම කැමැතියි මට පහසු වෙලාවක මම ආස නිර්මාණ හරහා එළියට එන්න.

 * රිතිකා කොඩිතුවක්කු අශෝක හඳගමයන්ගේ චිත‍්‍රපටවලට පමණක් සීමාවෙලා?

 ගොඩක් අය මොනවා කියනවද කියන්න මම දන්නේ නැහැ. පෞද්ගලිකව මගේ ෆේවරිට් අධ්‍යක්‍ෂවරයා හඳගම තමයි.

 * ඇල්බොරාහි පිටපත ඔබ අතට ලැබුණු වෙලේ මොකද හිතුනේ”

 ඒක ලැබෙනකොට මගේ චරිතය බැලූවොත් මම කලින් දැකලා නැති” අහලා නැති චරිතයක්. අනික මේ පිටපත අතට ගන්නකොට මට තිබුණා ලොකු අභියෝග ගොඩක්. මගේ ඇසේ හැඩයත් සහ පෙනුමේ වෙනස්කම් ටිකක් කරගන්න තිබුණා. ඒක ඉතාම ලෙහෙසි වැඩක්.

 * වෙන මොනවද තිබුණ අභියෝග?

 ඊට වඩා මට තිබුණ අභියෝග තමයි මේ සක්කිලි ගැහැනියගේ චරිතය මොන වගේ කෙනෙක්ද යන්න වග. ඒ වගේම

 ඇගේ ඇතුළාන්තය අල්ල ගන්න ඕනෑ වුණා. එහෙම නැතිව මට ඒ චරිතය නිරූපණය කරන්න බැරි හින්දා මම අධ්‍යක්‍ෂවරයා සමග ඒ ගැන සෑහෙන කතා බහ කළා. මම පුළුවන් විදියට ඇයව තේරුම් ගන්න ඇයව හොයා ගන්න ඇයව අල්ලා ගන්න උත්සාහ කළා.

 * සක්කිලි ගැහැනියගේ චරිතය අභියෝගයක් වුණේම නැතිද?

 අභියෝගයක් තමයි. ඒ කියන්නේ කවදාවත් දැකලා නැති” නොදන්නා සමාජයක් නියෝජනය කරන්න කියන උත්සාහය මතුවෙනවා. ඒ පරිසරය මම දන්නේ නැහැ. ඔවුන්ට තිබුණු පහසු අපහසුකම් මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා මට ඒ අභියෝගය ජයගන්න පුළුවන් වුණා කියලා.

 * මේ දර්ශන ටික රඟපෑවට පස්සේ අධ්‍යක්‍ෂවරයා ඔබට මොනවද කිව්වෙ.?

 මම හිතන්නේ එයා කැමැතියි.

 * සක්කිලි ගැහැනිය අතවරයට ලක් කරන දර්ශන රූගත කිරීමේදී ඔබට අභියෝගයක් වුණාද? ඒ දර්ශනවලට ඔබ කොහොමද මනස හදාගත්තේ.

 මනස හදන්න කිසිම දෙයක් නැහැ. මම රංගන ශිල්පිනියක් වෙන්න කැමතියි කියලා මනස හදාගත්ත වෙලාවේ මට හැම චරිතයක්ම කරන්න පුළුවන්. අරක මේක කියලා චරිත ඇතුළේ විශේෂතා දක්වන්න වුවමනා නැහැ. මම රංගන ශිල්පිනියක්නම් මම චරිත නිරූපණය කරන කෙනෙක් නම් ඒ රූගත කිරීම්වලට දායක වෙනවා හැරෙන්න වෙන වෙන දේවල්වලට මනස හදාගන්න දඟලන්න දෙයක් නැහැ.

 * පසුගිය කාලයේ මොකද කළේ?

 මට මගේ පෞද්ගලික ජීවිතයක් තිබෙනවා. ඒක ඇතුළේ නට නට හිටියා.

 * රිතිකා කියන්නේ හරි නිහඬ චරිතයක්. ඇයි ඒ?

 මට වුවමනා නැහැ හයිස්පීඞ් එකකින් කොහේවත් දුවන්න. ඒක නිසා මම කැමැතියි මට ෆීල් වෙන එකක් කරලා ඉන්න. මගේ ලයිෆ් එක කියලා මට වෙන දෙයකුත් තියෙනවා. සිනමාව මගේ ලයිෆ් එක ඇතුළේ එක කෑල්ලක් විතරයි.

 * ජනප‍්‍රියත්වය කියන සම්මාන කියන දේවල් බලාගෙන නොවෙයිද රඟපෑමට ආවේ?

 ඒ දේවල් පස්සේ යනවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්නේ. එහෙම නොකර ඉන්නේ ඒ දේවල් පස්සේ යන්නේ නැති හින්ද. හැබැයි මිනිස්සු ආදරය කරනවට මම ආසයි ඒකේ කිසි ප‍්‍රශ්නයක් නැහැ.

 * ඇත්තටම රිතිකා කොඩිතුවක්කු කියන්නේ කවුද?

 මම දන්නේ නැහැ. මාත් හොයමින් තමයි යන්නේ.

 * දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?

 ඔව්. ඉතින් මොකවත් වැඩ වෙන්නේ නැහැ. ඔයාලා දකින්න ඇතිනේ ඇගේ ඇස අග චිත‍්‍රපටයෙන් පස්සේ ඇල්බොරාදාවලට ඇවිල්ලා ඉන්නේ. එතැනින් මැද මොකුත් නැහැ.

 * ක්‍ෂේත‍්‍රය ගැන මොකද කියන්නේ?

 සිනමාව සුන්දරයි. සිනමාකරුවොත් සුන්දරයි.

 * වෙනත් අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණ භාරගන්නේ නැතිද?

 කතා කරයි. කතාකරලත් තියෙනවා. දැන් ඉස්සරහටත් එහෙම කරයි. නමුත් මට ඕනෑ පොඩි ගැප් එකක්. මම කැමැතියි චිත‍්‍රපටයක් කරලා ඒක මොකද වෙන්නෙ කියලා බලන්න. ඒක උපරිමයෙන් වින්දනය කරන්න මට කාලය අවශ්‍යයි. ඉතින් ඒ කාලයත් එක්ක ආපහු මොනවා හරි කරන්න හිතුනොතින් ඒක මට ෆීල් වුණොත් ෆීල් වෙච්ච දවසට ඒක කරයි. ඒකේ කිසි ප‍්‍රශ්නයක් නැහැ. කවුද අධ්‍යක්‍ෂවරයා කියන දේ නෙමෙයි වැදගත් මට ෆීල් ඕන වගේම වෙලාව එන්නත් ඕනෑ. එදාට තමයි ඒක කරන්නේ.

 * ඔබේ ඊළඟ සිනමා නිර්මාණය කවදාද එන්නේ?

 ඒක කියන්න දන්නේ නැහැ.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment