සක්විති ළඟ තැන්පත් කළ කෝටි 14 ක් ආපසු ගෙවන සැලැස්ම උසාවිය ඉල්ලයි

456

ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ නිසි අනුමැතියකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කන්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් මූල්‍ය ආයතනයක් පිහිටුවා අධික පොලී ලබාදෙන බවට පොරොන්දු වී ගනුදෙනුකරුවන්ගෙන් තැන්පත්කරවා ගත් රුපියල් කෝටි 14 කට අධික මුදල විත්තිකාර සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳ ඇතුළු අධ්‍යක්ෂවරුන් ආපසු ගෙවීමට එකඟ වී ඇති බැවින් ගෙවීමේ සැලැස්ම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (23 දා) විත්තියට නියෝග කළේය.

එකී විත්තිකරුවන් අතරින් කුමන විත්තිකරුවන් නඩුවේ අධිචෝදනාවලට වරද පිළිගෙන එකී මුදල් ආපසු ගෙවන්නේ ද යන කරුණු ද විත්තියේ නීතිඥවරුන් සමග සාකච්ඡා කොට ඉදිරි නඩුව කැඳවනු ලබන මාර්තු 14 වැනිදා තම අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරුවරයා එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දමිතිනි ද සිල්වා මහත්මියට නියෝග කළේය.

සක්විති රණසිංහ හෙවත් අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හා ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනි ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව අධි චෝදනා 19 ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝග කළේය.

එලෙස වගඋත්තරකරුවන්ගේ මූල්‍ය වංචාවට හසු වූ තැන්පත්කරුවන් 594 දෙනකු පමණ සිටිනා බවත් ඉන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති 151 දෙනකුට රුපියල් දාහතර කෝටි විසිපන් ලක්ෂ තිස්පන් දහසක මුදලක් ගෙවීමට විත්ති පාර්ශ්වය එකඟ වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment