සජබ එක පයින් – විපක්‍ෂ නායක සජිත් කියයි

194

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව වෘත්තිය සමිති ඒකාබද්ධව අද (02දා) පවත්වන පා ගමනට සමගි ජන බලවේගය නැතැයි ඇතැමුන් කරන ප්‍රකාශ බොරු බවත්, එම පා ගමනට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් සමගි ජන බලවේගය ඊට සියයට සියයක්ම සිය ශක්තිය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (01දා ) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් තැබීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදෙකලාව නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් එකට එක්වී අරගල කළ යුතු යැයි පැවසීය. හුදෙකලාව පටු න්‍යාය පත්‍ර මත මේ රට ගොඩනැඟිය නොහැකි බවත් මර්දනයට මුහුණ දීමට නම් සියලු දෙනාම එක්වීමේ වැදගත්කමත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අද පැවැත්වෙන්නේ සාමකාමී පා ගමනක් බවත් එය මර්දනය කරන්නට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවා නම් වහාම එම සූදානම ඉවත් කර ගන්නා ලෙසත්, සාමකාමී විරෝධතාවට කිසිවකු හෝ අත තබන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බව පැවසූ විපක්ෂ නායකවරයා පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යැයිද පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment