සජබ ජනපතිවරයකු යටතේ පාස්කු වින්දිතයන්ට යුක්තිය – සජිත් ප්‍රේමදාස

63

තම රජයක නව ජනාධිපතිවරයකු පත් වී මාස 02ක් ඇතුළත පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පසිඳලීමට විශේෂ බලතල සහිත කොමිසමක් පත් කර එම කොමිසම සමග එක්ව කටයුතු කිරිමට ස්කොට්ලන්ඩ්යාඩ් සහ එෆ්බීඅයි ඇතුළු විදේශ ඔත්තු එජන්සි සමග දේශීය ආරක්ෂක සහ බුද්ධි අංශවලින් සමන්විත විමර්ශන කාර්යාලයක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) පැවසීය.

එමගින් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්ව අයටත් සමස්ත රටේ ජනතාවටත් සත්‍යය සහ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරුවන් නිවැරදි ලෙස හඳුනාගැනීමට කටයුතු කරන බවද විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය. විපක්‍ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වැදගත් සංවේදී ප්‍රශ්නයක් ඇහුවා. බොහොම කනගාටුයි අදටත් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නෑ. රජයට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පසිඳලීමේ මාවතක් ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙන මොහොතක මම කැමැතියි මේ ප්‍රකාශය සිදුකරන්න.

අලුත් ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු මාස දෙකක් ඇතුළත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය සහ විදේශීය සාමාජිකයන් 7 දෙනකුගෙත් 9 දෙනකුගෙත් අතර ප්‍රමාණයකින් සමන්විත කොමිෂන් සභාවක් අපි පත්කරනවා. එමගින් අතීත සහ වර්තමානයට අයත් වැඩපිළිවෙළ අධ්‍යයනය කර ඊට සීමා නොවූ වොරන්ට් එකක් ඉදිරිපත් කරලා කොමිෂන් සභාවට වගකීම පවරනවා. ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් ප්‍රශ්න කර කිසිදු තහනමකින් තොරව ප්‍රකාශන ලබාගැනීමේ බලය කොමිෂන් සභාවට ලබාදීමත් කොමිෂන් සභාව ස්ථාපිත කර සති 06 ක් ඇතුළත ඒ හා එක්ව කටයුතු කිරීමට ස්කොට්ලන්ඩ්යාඩ් සහ එෆ්බීඅයි ඇතුළු විදේශ ඔත්තු ආරක්ෂක එජන්සි සමග දේශීය ආරක්ෂක සහ බුද්ධි අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම කොමිෂන් සභාවේ නිර්දේශ සහ නියෝග මත පදනම්ව ශ්‍රී ලංකාවේ නීතියට යටත්ව නීතිපතිවරයා විසින් අධිචෝදනා හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි පියවර ගන්නවා. අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7/2 හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරනවා. ඉහත කී වැරදිවලට අධිචෝදනා ලබා සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු විභාග කර තීන්දු ලබාදීම සඳහා ස්ථිර මහාධිකරණයක් පිහිටුවනවා. මේ සඳහා අවශ්‍ය වුණොත් 1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරීමට අපි පියවර ගන්නවා.

නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරන්න අපි කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුණ ප්‍රජාවටත් සමස්ත රටේ ජනතාවටත් සත්‍යය කුමක්ද සහ යුක්තිය ඉටු කිරීම පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් නිවැරදි ලෙස හඳුනාගැනීමට මේ හරහා අපේ රජයකින් කටයුතු කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment