සජබ 5 ක් එනතුරු අලුත් කැබිනට්ටුව පමාවෙයි

265

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු ආණ්ඩුවට පැමිණීමට නියමිත බැවින් නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම කල් යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ජනාධිපති හමුවී නව ඇමැති මණ්ඩලයක් හෝ එම පෙරමුණේ අලුතින් තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු පත්කරන්නට පියවර ගන්නේ කවදාදැයි විමසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සජබ මන්ත්‍රීවරුන් 05 දෙනකු ආණ්ඩුවට පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බැවින් නව ඇමැති මණ්ඩලයක් පත්කිරීම මෙලෙස ප්‍රමාද වන බවය.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයාට පවසා ඇත්තේ තමන් පක්ෂයක් ලෙස ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට විශාල සහයෝගයක් දී ඇති බැවින් තමන් වෙත ද ඇමැති ධුර හිමිවිය යුතු බවය.

නව කැබිනට් ඇමැතිවරුන් පත්කොට අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බව ද පවසා ඇති එම මන්ත්‍රීවරුන් වත්මන් ඇමැති මණ්ඩලයේ සිටින ඇමැතිවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකර තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේදාස මහතා ද පසුගිය සිකුරාදා දින පාර්ලිමේන්තුවේ කියා සිටියේ ඇමැති ධුර ලබාදීමට සජබ මන්ත්‍රීවරුන් 05 දෙනකු ජනාධිපතිවරයා විසින් සොයමින් සිටින නමුත් ජසබ කිසිවකු වත්මන් ආණ්ඩුවේ ඇමැතිධුර ලබා නොගන්නා බවය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment