සජිත්ගේ ‘සක්වලින්’ ගල්ගමුව ජාතික පාසලට බස් රථයක්

140

ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසලට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘සක්වල’ වැඩසටහන හරහා ලක්‍ෂ 50ක් පමණ වටිනා බස් රථයක් පරිත්‍යාග කරනු ලැබීය. ‘සක්වල’ වැඩසටහන හරහා පාසල්වලට ලබාදුන් 39 වැනි බස් රථය මෙය වේ. මෙම බස්රථය ගල්ගමුව නගරයේ සිට වන්නිනායක පාසල දක්වා පදවාගෙන පැමිණියේ සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

පාසලට පැමිණි විපක්‍ෂ නායකතුමන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණ අතර ඒ සඳහා සිසු දරු දැරියන්, දෙමාපියන්, ආදි සිසු සිසුවියන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ. විiාලයීය ප්‍රධාන ශාලාවේදී නිල උත්සවය පැවැති අතර ගල්ගමුව සජබ ආසන සංවිධායක බන්දුල බණ්ඩාරනායක, හිටපු අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල හා තුෂාර ඉඳුනිල් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

වන්නිනායක ජාතික පාසල් ආදි ශිෂ්‍ය සංගමය විසින් විශේෂ සමරු තිළිණයක් විපක්‍ෂ නායකවරයාට පිරිනැමීමද මෙහිදී සිදු කළේය. පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කළ විපක්‍ෂ නායකවරයා පවසා සිටියේ රජයේ මුදල් එකදු රුපියලක් හෝ භාවිත නොකරමින් තමන් මෙම සත්කාරය සිදු කරගෙන යන බවය. විපක්‍ෂ නායකවරයා වශයෙන් තමන් එලෙස කටයුතු කළද වත්මන් ආණ්ඩුව රටේ දරුවන් හෝ ඔවුන්ගේ අධ්‍යාපනය ගැන හෝ කිසිදු තැකීමක් නොකිරීම ගැන තමන් දැඩි ලෙස කම්පාවන බවත් මිනිසුන්ගේ වුවමනාවන් පසෙකලා බලයට ඇති කෑදරකමින් බලය තහවුරු කර ගැනීමට තව තවත් රාජ්‍ය ඇමැතිකම්, කැබිනට් ඇමැතිකම් ලබාදී මුදල් විනාශ කරමින් සිටින බවයි.

මෙම පාසල ජාතික පාසලක් වුවද තොරතුරු තාක්ෂණ විෂය හදාරන 225ක් වන දරුවන්ට ඇති පරිගණක 12න් භාවිත කළ හැකි මට්ටමේ පවතින්නේ පරිගණක 04ක් පමණක් බවත් පැමිණි පසු තමන්ට සැල වූ අතර දරුවන්ට ආණ්ඩුවේ මෙම කුඩම්මාගේ සැලකිලි සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment