සජිත්ට ධුරයේ වගකීම තේරෙන්නේ නෑ: විපක්‍ෂ නායකකම කුමාර වෙල්ගමට දිය යුතුයි

510
  • – සංජීව එදිරිමාන්න (ශ්‍රීලපොපෙ)

සජිත් ප්‍රේමදාස මහතාට මෙම අවස්ථාවේදී විපක්ෂ නායක ධුරයට අදාළ වගකීම සහ ඊට අදාළ මතවාදය නොවැටහෙන බැවින් එම ධුරය කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට දෙන්න කියා යෝජනා කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා 23 වන දා ශ්‍රී ලංකා පොදුජන පොරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ඒ මහතා මෙසේද පැවසීය.

ඊයේ පාර්ලිමේන්තුවේ මගේ වීරයා කුමාර වෙල්ගම. රටක ජාතික ප්‍රශ්නයක් කළමනාකරණය කිරීම සඳහා ආණ්ඩුවක් ගන්න උත්සාහයකට සහය දෙන්නේ කොහොමද කියන කාරණය ඊයේ කුමාර වෙල්ගම හරි ලස්සනට පාර්ලිමේන්තුවේදි කිව්වා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට විපක්ෂ නායක ධුරයේ මේ මොහොතට අදාළ වගකීම සහ ඊට අදාළ මතවාදය නොවැටහෙන බව අපිට තේරෙන්නේ. ඒ නිසා පුළුවන් නම් විපක්ෂ නායකකම කුමාර වෙල්ගමට දෙන්න කියලා මා යෝජනා කරනවා.

මේ මොහොත ඉතා අවදානම් සහගත, ඉතාම සංකීර්ණ ආර්ථික අර්බුදයකට පැටලිච්ච මොහොතක්. අර්බුදයක් පැමිණි සැනින් අපේ යුතුකම තමයි එයින් අත්මිදීම සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කොට එය අකුරට අනුගමනය කර ඉදිරයට ගෙන යාම. වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ ආණ්ඩුව මේ ඉටුකරමින් ඉන්නේ එයයි.

ඊයේ අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. නමුත් ඔවුන් බාහිර දේශපාලන වේදිකාව තුළ ඉඳලා අයිඑ එෆ් ණය පහසුකම පිළිබඳව ඔවුන්ගේ මතය ප්‍රකාශ කරනවා. අනුර කුමාර සහෝදරයා යන යන හැම වේදිකාවකම පසුගිය පැය කිහිපය ඇතුළේ ප්‍රශ්න කළ කාරණාව තමයි ණයක් ගත්තාම ඇයි රතිඤ්ඤා පත්තු කරන්නේ කියලා. මතුපිටින් බැලුවාම තර්කයක් විදිහට ආකර්ශනීයයි. ණයක් ගත්තාම රතිඤ්ඤා දාන්න තරම් හිඟමනේට වැටිලා වගේ හැඟීම් බර මහජනයාගේ යම් මට්ටමක ප්‍රාථමික දේශපාලන සිතුවිලි අවුස්සන්න ඒ කතාව හොඳයි. ඔහු කොහොමත් කරමින් සිටින්නේ ප්‍රශස්ත සම්භාවනීය අනාගත දේශපාලන ගමනක් නොවේ. ඒ මොහොතට අදාළ ඒ මොහොතේ වැඩිම අත්පුඩිය වදින, වෛරය මතුකරන්න පුළුවන් හොඳම කතාව කරමින් සිටින්නේ. හැබැයි මේක කාගෙන් හරි ගිනි පොළියට ණයක් අරගෙන ඇවිල්ලා දේශපාලන වශයෙන් ආතල් එකක් ගන්න හදන අවස්ථාවක් නොවේ.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment