සජිත් අගමැති වී අනුර මුදල් ඇමැති වන්න අපි අපේ සම්පූර්ණ සහාය දෙන්නම් – ප්‍රසන්න රණතුංග

774

උද්ඝෝෂණ හෝ හර්තාල් කිරීමෙන් රට තවත් අර්බුදයට යනවා මිස ඩොලර් හෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබීමක් සිදු නොවන බවත් විපක්‍ෂය ආණ්ඩුව භාර ගන්න කැමති නම් ඇමැති ධුර අත්හැරීමට ඕනෑම වේලාවක සූදානම් බවත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (6 දා) පෙරවරු 10.00 ට රැස්විණි.

ප්‍රථමයෙන් ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදුවිය. අනතුරුව විශේෂ ප්‍රකාශ ආදිය සිදු කිරීමෙන් පසු මුදල් ඇමැතිවරයා ඇතුළු පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් විවාදය තෙවැනි දිනටත් ඇරැඹිණි.
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල – එළියේ ඉන්න තරුණයන්ගේ අවශ්‍යතාව පාර්ලිමේන්තුවේ ඉටුවෙනවා ද කියා සිතා බැලිය යුතුයි. දරුවන්ට අධ්‍යාපනය නැතිවෙලා. ආණ්ඩුව මේවාට උත්තර දිය යුතුයි.

අපට ආණ්ඩුවක් හදන්න 65 න් පුළුවන් ද ආණ්ඩුවක් හැදුවොත් පළමු අයවැයෙන්ම ආණ්ඩුව ඉවරයි. ආණ්ඩුව පවතින ප්‍රශ්නයට විසඳුමක් දෙන්නෙ නැති නම් විශ්වාසභංගයෙන් පස්සේ අපිත් පාර්ලිමේන්තුවට පැමිණ වැඩක් නැහැ.

1948 න් පස්සේ ආණ්ඩු කීපයක් තිබුණ ද එකම ආණ්ඩුවක්වත් රට බංකොලොත් කළේ නැහැ. අද මේ ආණ්ඩුව රට බංකොලොත් කළා. ජනමතය ඉස්මතු වන ක්‍රමයක් හදන්න. ජනමතයෙන් ආණ්ඩුවක් හැදුවාම ජනතාව වසරක් පමණ කල් දෙනවා රට හදන්න.

ආණ්ඩුව එදා අයි. එම්. එෆ්. ගියේ නැති හේතුව තියෙනවා. චීනයෙන්, ඉන්දියාවෙන් ණය ගත්තම ඒවට කරුණු හොයන්නෙ නැහැ. එහෙත් අයි. එම්. එෆ්. එකෙන් ණය ගත්තම හැම ඩොලරයම වැය වූ ආකාරය හෙළි කළ යුතුයි. ඒ නිසා ඉන්දියාවෙන්, චීනයෙන් ණය ගන්න තීරණය කළා. මේ මුදල් විදේශ ගිණුම්වලටයි ගියේ.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග – අද කතාකරන අය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවයි කතා කරන්නේ. එදා ආණ්ඩු කරපු වැරදිවල පව් තමයි අද අපට ගෙවන්න වෙලා තියෙන්නේ. මහ පාරවල්වල තව තවත් අර්බුද ඇති කිරීමෙන් ඩොලර් හෝ අනෙක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා නම් කමක් නැහැ. මේවා ඇති කරන්නේ දේශපාලන පක්‍ෂයි. ජනතාව අවුස්සලා ඇවිත් මෙතන කියනවා රට තව තවත් අවුල් කරන්න එපා කියලා. දේශපාලන පක්‍ෂ තමයි මේ ජනතාව කුලප්පු කරලා පාරට ඇද දාන්නේ.

විශ්වවිiාල ළමයින් මෙහෙය වන්නේ කවුද. රඹුක්කන වගේ සිද්ධියක් වුණොත් කවුද වගකියන්නේ. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවල ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කියලා විද්වතුන්, ප්‍රභූන් ඉල්ලනවා. මොන පක්‍ෂය ද ඊට එකඟ වුණේ. අපි සූදානම් හෙට හරි ඇමැතිකම් දීලා යන්න, භාරගන්න සුදුසු අය එනවා නම්. ඒත් සමහර පක්‍ෂවලට ඕන රට තව තවත් අවුල් කරන්නයි.

අද කොවිඩ් වසංගතය නැති කරන්න ජනපතිට හැකි වූ නිසයි පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කාලයේ ආර්ථිකය පසෙක තියලා ජන ජීවිත ආරක්‍ෂා කරන්න ජනපති දැඩි තීරණ ගත්තා. එහි ප්‍රතිඵල අද රටම, ලෝකයම දකිනවා.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි යම් කැපකිරීමක් කළ යුතුයි. මා ඒ සඳහා සූදානම්. සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිකම භාරගන්න කියනවා. ඒ වගේම අනුර කුමාරට මුදල් ඇමැතිකම භාර ගන්න කියනවා. අපි අපේ පූර්ණ සහාය ලබා දෙන්න සූදානම්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) – තරුණයන්ගේ මතවාද ගැන කතා නොකර පාර්ලිමේන්තුවේ කරන වැඩේ මොකක්ද. බැරියර් දාගෙන පාර්ලිමේන්තුව ගෙනිහිල්ලා වැඩක් නැහැ. ජනතාව ඉල්ලන කිසිම දේකට තවම විසඳුමක් ලැබී නැහැ. පක්‍ෂ විපක්‍ෂ සියලුදෙනා තවම විසඳුම් සාකච්ඡා කර නැහැ. තව තවත් මෙහෙම ගියොත් රටට අබසරණයි.

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් උද්ධච්ච ලෙස ක්‍රියාකිරීම නිසයි රට විනාශයට ගියේ. ඔහුට දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

රාජ්‍ය නිලධාරීන් හරහා සිදුවන දූෂණ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරනවා විතරයි.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර – අපි ස්වාධීන වුණේ අවංකවමයි. ආණ්ඩුව යන ගමන වැරදි නිසයි එලෙස තීරණ ගත්තේ. විපක්‍ෂය හිතුවෙ අපි ආණ්ඩුවට මුක්කු ගහනවා කියලා. ආණ්ඩුවට ඡන්ද 95 යි තියෙන්නේ, වැඩි ප්‍රමාණය විපක්‍ෂයේ. එහෙත් ආණ්ඩුව උපක්‍රමශීලී වුණා. දැන් බෙදිලා වැඩක් නැහැ. ප්‍රශ්න අමතක කර වහාම ප්‍රශ්න නිරාකරණය කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් (සජබ) – මුදල් ඇමැති වැරදි පිළිගත්තා. අද රට ආර්ථික හා දේශපාලන අර්බුදවලට මුහුණ දීලා අගාධයකට කිට්ටුවෙලා. දේශපාලන අර්බුදවලට මුහුණ දුන් රටවල් ඊට සාර්ථකව මුහුණ දුන්නේ දේශපාලනඥයන් මතිමතාන්තර ඉවත දාලා එකතු වූ නිසයි.

ජනතාවට වගකීමක් තිබිය යුතුයි. ධනපති පන්තියට දුන් සහන ජනතාවගේ සල්ලි. ධනවත් සියයට 05ක් රටේ සියල්ල භුක්ති විඳිනවා. ජනපති හිතුවෙ සුපිරි ධනවතුන් ගැන පමණයි. ප්‍රේමදාස ජනපති කිව්වා දෙපැත්ත ගිනිගන්න විලක්කුවක් භාර ගත්තා කියලා. බලයට ආවාට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ජනතාවගේ අතට සල්ලි දුන්නා. අඩු ආදායම්ලාභීන්ට විශේෂ සහන දුන්නා ඒ පවුල් ශක්තිමත් කළා.

මේ ආණ්ඩුවට ඡන්දය දුන් රටවිරුවන් අමතක කළා. කොවිඩ් අවස්ථාව මෙරටට පැමිණි විට ඔවුන් සූරා කෑවා. මේවා වැරදි වැඩ.

දුප්පත් පන්තියේ දුක තේරුම්ගෙන වහාම දුප්පතුන් ශක්තිමත් කරන්න ප්‍රමුඛතාව ඔවුන්ට දෙමු. රටපුරා ජනතාව නගන හඬට ඇහුම්කන් දෙන්න අඳුරු අනාගතය දරුවන්ට උරුම කරන්න එපා.

වරාය හා සංචාරක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – අපෙන් රට ඉල්ලනවා එකතු වෙන්න කියලා. ලෝකයේ රටවල්වල පක්‍ෂ එකතු වෙනවා. අපට පමණයි ඉතිහාසයේ කවදාවත් එකතු වෙන්න බැරි වුණේ. නියෝජ්‍ය කථානායක ධුරයවත් එකතු වෙලා තෝරා ගන්න බැරි වුණා.

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපට එකතු වෙන්න බැරි ඇයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) – විකුණපු වත්කම් පවරා ගන්නා බව කී ජනපති, අද වත්කම් විකුණා හෝ මුදල් හොයන්න යනවා. අයි. එම්. එෆ්. සල්ලි ගන්න යන්න කිව්වහම කබ්රාල් කිව්වා අපට ඕන තරම් සල්ලි තියෙනවා කියලා. ලැබෙන ඩොලර්වලිනුත් තාර ගෙනාවා.

උගන්ඩාවේ සැප බස් සේවාවක් ලංකාවේ අය කරනවා කියලා තොරතුරු තියෙනවා. කොයි තරම් දූෂිත වැඩ කරලා ද කියලා පේනවා.

අද හර්තාල්කරුවන් යට ඇඳුම් එල්ලනවා. එතරම් ජීවත්වීම අපහසුයි. ඇඳුම් නැතිව විරෝධතා පළ කළත් පුදුම විය යුතු නැහැ. වහාම ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. අපි ජනපති, අගමැති ඉවත් වුවොත් ඕනැම අයෙක් සමග එක්වීමට කැමතියි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී බී. වයි. ජී, රත්නසේකර (ශ්‍රීලපොපෙ) – ඉතිරි මාස

7 ට වත් අයවැයක් ඉදිරිපත් කළ යුතුයි. තවම ඒ ගැන සූදානමක් නැහැ. ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම වෙනුවට අපි දෙපැත්ත බෙදිලා බැණ ගන්නවා. අපේ වගකීම ඉටුකරන්නේ නැහැ.

දේශපාලන ස්ථාවරභාවය හදන්නේ නැතිව රටට ඉදිරියට යන්න බැහැ. කිසිම ආධාරයක් ලැබෙන්නේ නෑ. මට පෞද්ගලිකව රාජකාරි කරන්න බැහැ. මට රාජකාරි කරන්න තරම් මානසිකත්වයක් නැහැ. රාජ්‍ය ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම මම යැව්වා.

අන්තර්කාලීන පාලනයක් හදමු. අපි අදත් විපක්‍ෂ නායකට ලිපියක් දුන්නා ජනතාවට පිළිගන්න පුළුවන් වැඩපිළිවෙළක් කරමු කියලා. අපි එකතුවෙමු.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී – හේෂා විතානගේ (සජබ) – අද පාර්ලිමේන්තුව වටකරන බව දැනගෙන පිරිස පැන ගිහින්. රටට වැඩක් නැති, තම හිතලු විතරක් කියලා, කැන්ටිමෙන් කාලා ජනතා මුදල් මංකොල්ල කන පිරිසක් බවට පාර්ලිමේන්තුව පත්වෙලා. මේ දවස් තුනේ පාර්ලිමේන්තුවේ සිදුවූ දෙයක් නැහැ.

විමල් වීරවංශ ගැන චෝදනා රැසක් තිබෙනවා කියලා ජනපති, අගමැති කිව්වා. දැන් ඒවාට ක්‍රියාමාර්ග ගන්න. අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වුණා, ඇමැතිට මූල්‍ය පාලනයක් නැහැ කියලා. මේ ආණ්ඩුව හොරු අල්ලන්නෙ නැහැ. අද ජනවරම ආපහු ජනතාව ඉල්ලනවා.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment