සජිත මිඩ්ලේන් හැර යයි

285

අප්පච්චි හෙමින් සුව අතට
ගාඩි කොල්ලා තමයි මගේ වෙඩින්, උපාධි ෆොටෝවල ඉන්නේ
……

පසුගිය කාලයේ හරි හරියට කතාබහට ලක්වුණ ‘සරා. ඔන්න ආයෙමත් රිදී තිරයට ගොඩවෙලා. මේ දිනවල තිරගත වෙන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ ගාඩි සිනමා නිර්මාණයේ ගාඩි කොල්ලාගේ චරිතය හරි අපූරුවට නිර්මාණය කරනවා. ඉතින් ඔය අතරේ සජිත ඇන්තනී මිඩ්ලේන් සංගීත කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ද ඉවත් වෙලාලු. ඒ නිසාම මේ කාරණාවල නැවුම් තතු දැන ගන්න අපි සජිත අනුත්තරට කතා කළා. මේ එහි පෙළගැස්මයි.

සජිත අනුත්තරට විජයගේ චරිතය මුණගැසුණේ කොහොමද?

ගාඩි කියලා කියන්නේ මම හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ කරපු විශාල පර්යේෂණයකින් පසුව ප්‍රසන්න විතානගේ නිර්මාණය කරපු චිත්‍රපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය ආරම්භ කරන්න අවුරුදු විස්සකට කලින් සිට ඔහු විවිධ අවස්ථාවලදී උත්සාහ කරලා තිබෙනවා. එතකොට මුල්ම කාලයේ තිබුණ පිටපතට වඩා අද තිබෙන පිටපත හුඟක් වෙනස්. හොඳටම පත්තියන් වුණු පිටපතකින් තමයි චිත්‍රපටය නිර්මාණ වුණේ.

මීට අවුරුදු විස්සකට කලින් ප්‍රසන්න විතානගේ කියන අධ්‍යක්ෂතුමා මේකට කාස්ට් කරන කොට මගේ අප්පච්චිවයි, ස්වර්ණා මල්ලවආරච්චිවයි තෝරගෙන තිබුණේ. හැබැයි ඊට පස්සේ තවදුරටත් චිත්‍රපටය සංස්කරණය වෙමින් කාලය යනකොට තවත් නළු නිළියන් කාස්ට් කරලා අවසානයේ මාව සහ ඩිනාරාව මේ චරිත දෙකට කැඳෙව්වා.

රූගත කිරීමේදී මුහුණ දුන් අභියෝග මොන වගේද?

චිත්‍රපටයේ රූගත කිරීම් කරනකොට අපිට ඒ කාලේ ඒක කටුක අත්දැකීමක් බව පෙනෙන්න ඇති. නමුත් අද චිත්‍රපටය බලන කොට ඒ කරපු හැම කැප කිරීමක්ම” වෙච්ච හැම තුවාලයක්ම සම්පූර්ණයෙන්ම සතුටකට ආඩම්බරයකට පරිවර්තනය වෙලා විශාල තෘප්තියක් තියෙන්නේ. හැබැයි පැහැදිලිවම ලොකු අභියෝගයක් තිබුණා. වැස්සෙ තෙමෙමින් ගස් යටට වෙලා බලාගෙන ඉඳලා වැස්ස නතර නොවන නිසා ආපහු ලොජ්වලට ගිහිල්ලා පහුවෙනිදා ෂූටින් ආපු දවස් තිබෙනවා.

පෙනුම ආරක්ෂා කරගන්නත් ඕනෑ. කොටින්ම කියනවා නම් මගේ පුද්ගලික ජීවිතයේ මගේ විවාහය. උපාධිය ලබපු දවස. මගේ උපන් දිනය” වගේ බොහෝ දේවල් පහු වුණා මේ චිත්‍රපටය වෙනුවෙන්. කොටින්ම ගාඩි කුලයේ තරුණයෙක් වගේ තමයි මම කසාද බැන්දෙත්. ඒ වගේම තමයි උපාධිය ගත්තෙත්. ඒ තරම් කාලයක් මේ චිත්‍රපටය වෙනුවෙන් කැපවෙන්න වුණා. මම ඉතින් කොහොමත් කළු කොල්ලෙක්. නමුත් චිත්‍රපටයෙන් මගේ ඇඟ ගොඩක් අඳුරු පැහැ වුණා. මේ කොණ්ඩයවත් රැවුලවත් බොරු ඒවා නෙමෙයි.

ගාඩි කොලුවා සජිතගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන්වලටත් එකතු වුණා?

සජිත මිඩ්ලේන් හැර යයි

ඔව් ඒ පෙනුමෙන් තමයි සියල්ල සිද්ධ වුණේ. ඒ නිසාම තමයි මට මේ චිත්‍රපටය අමතක නොවන චිත්‍රපටයක් වෙන්නේ. මොකද මගේ වෙඩින් ඇල්බම් එක අරගෙන බැලුවත් උපාධි පින්තූරය අරගෙන බැලුවත් මගේ ජීවිතයේ මම පහු කරපු විශේෂ අවස්ථා බොහොමයක මතක සටහන්වල ගාඩි පෙනුමෙන් ඉන්නේ. ඉතින් මගේ ජීවිතයේ වැඩි කාලයක් මම මේ පෙනුමෙන් හිටියා වගේ මතක තියෙන්නේ.

මේ වෙනකොට සජිතට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මට ඇත්තටම විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ගාඩි චිත්‍රපටය බලපු අපේ රටේ ඉන්න පෙර පරම්පරාවේ නළු නිළියන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙනුත් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර.

සරාගෙන් පස්සේ ආපහු අලුත් ටෙලිනාට්‍යයක් භාරගත්තේ නැතිද?

මම රංගන ශිල්පියෙක් විදිහට නියෝජනය කරන ක්‍ෂේත්‍ර කිහිපයක් තියෙනවා. නමුත් රංගන ශිල්පියෙක් විදිහට මගේ සිහිනය තමයි රිදී තිරය කියන්නේ. එම සිහිනය තුළ තමයි මම පුංචි කාලේ ඉඳලා මේ මාධ්‍යයට ආසා කළේ. පුංචි තිරය කියන්නේ හුඟක් ප්‍රේක්ෂකයෝ අතරට යන්න පුළුවන් මම ආදරය කරන මාධ්‍යයක්. නමුත් මගේ සිහිනය තමයි සිනමාව. අපි නිර්මාණය කරපු චිත්‍රපට බොහෝමයක් රූගත කිරීම් අවසන් වෙලා චිත්‍රපටය නිම වෙලා. නමුත් එළිදකින්නේ නැතිව බලාගෙන හිටපු කාලයක් තිබුණා. අවුරුදු තුනක විතර කාලයක් බොහෝ කාරණා හේතුකොටගෙන මෙසේ කඩාවැටීමක් තිබුණා. දැන් අවසානයේ සිනමා ශාලාවකට මිනිසුන්ට එන්න පුළුවන්කමක් ලැබෙන කොට නැවත වතාවක් අර සිහිනය තුළ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා.

සජිත මිඩ්ලේන් හැර යයි

තාත්තාගේ එක ගෙයි සොකරි ළඟදීම නරඹන්න පුළුවන් වේවිද?

ඒ චිත්‍රපටයත් නිම වෙලා ඉවරයි. අපේ රටේ සිනමා නිර්මාණ බොහෝමයක් පෝලිම්වල තියෙනවානේ. අනික අපිට බොහෝම සීමිත සිනමා ශාලා ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒ සිනමා ශාලාවලින් හරි පරිස්සමට හැම නිර්මාණකරුවකුගේම නිර්මාණවලට ඉඩ ලැබෙන්න ඕනෑ. අදාළ කාලයේදී අදාළ වෙලාවට නිර්මාණ දකින්න ලැබේවි.

අප්පච්චිගේ අසනීප තත්ත්වය එහෙම කොහොමද?

අප්පච්චි තවමත් කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ බොහොම හෙමින් සුවපත් වෙමින් ඉන්නවා.

සරා ලොකු පෙරළියක් කළා කියලා හිතනවද?

මම කරන ඕනෑම චරිතයක් අවංකව විශාල කැප කිරීමකින් තමයි කරන්නේ. මගේ සිහිනය විශාල තිරය වුණාට පුංචි තිරයේ චරිතයක් ලැබුණහම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. පුද්ගලිකව මම හරි කැමැතියි කළු ගතිපැවතුම් තිබෙන හිත ඇතුළෙන් සුදු චරිත මාදිලිය රඟපාන්න. සරා කියලා කියන්නේ ඒ වගේ චරිතයක්. සරා කියන්නේ හරි සෞන්දර්යාත්මක රසවින්දනයක් තියෙන හිත උණු වෙන සංවේදී කොල්ලෙක්. ඉතින් පිටින් නපුරු කමක් පෙන්නගෙන ඇතුළෙන් සංවේදී චරිතයක් රඟපාන එක හරිම ෂෝක්.

සජිත තවමත් මිඩ්ලේන් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්ද?

සජිත මිඩ්ලේන් හැර යයි

මම කාලෙන් කාලෙට අලුත් අත්දැකීම් ලබන්න කැමැති කෙනෙක්. සමහර දේවල් අත්හදා බැලීම් කරලා බලනවා සංගීත කණ්ඩායම් නායකයෙක් විදිහට මගේ භූමිකාව මොන වගේද කියලා. ඒ අත්දැකීම් ලබන්න තමයි මිඩ්ලේන් සංගීත කණ්ඩායම සමග එකතු වුණේ. අවුරුද්දක කාලයක් ඔවුන් සමග ඉතාමත් හොඳින් දියුණුවෙන් දියුණුවට පත්වෙමින් ආවා. නමුත් මේ අවුරුද්දේ මම කණ්ඩායම වෙනුවෙන් තීරණයක් ගත්තා. මම සාමාජිකත්වයෙන් අයින් වෙනවා කියලා.

ඇයි ඒ?

මම ක්‍ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන කෙනෙක් වුණහම කාලය අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්න බැහැනේ. කාලය සීමිතයි. ඉතින් මගේ බෑන්ඩ් එකයි මමයි තීරණයකට ආවා මේ අවුරුද්දේ ඉඳලා සාමාජිකත්වයෙන් ඉවත් වෙමු කියලා. නමුත් මගේ හදවත ඇතුළේ සහ මගේ බෑන්ඩ් එකේ ඉන්න සියලුම සාමාජිකයන් ඇතුළේ මම මිඩ්ලේන් සාමාජිකයෙක් තමයි. සාමාජිකත්වයෙන් මම නෛතික වශයෙන් ඉවත් වුණාට දිගටම සහෝදරත්වයෙන් ඉන්නවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment