සටනට හෙට නම්දෙයි : ඊයේ වනටවිට නම් 4 ක්

348

ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සිව් දෙනකුගේ නම් ඊයේ (17 දා) වනවිට ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී ජනපති තේරීමේ සටනට එක්වීමට නියමිතය.

ඒ අනුව හෙට (19 දා) පූර්ව භාග 10.00 ට පාර්ලිමේන්තුව රැස්වී නාමයොජනා භාර ගැනීමේ කාර්යයේ නිරත වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පෙරේදා

(16 දා) නිවේදනය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මස 14 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතුකොටගෙන ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා (16 දා) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1) (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම දන්වමින් කථානායකවරයා වෙත එවන ලද 2022 ජූලි මස 14 දිනැති ලිපිය ද මහලේකම්වරයා සභාවට ඉදිරිපත් කළේය.

1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව, ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇතිවූ විට ඒ පුරප්පාඩුව ඇතිවී දින තුනක් ඇතුළත රැස්වීම සඳහා පාර්ලිමේන්තුවට කැඳවීමක් සේ ක්‍රියාත්මක විය යුතු බැවින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වශයෙන් 16 දා පාර්ලිමේන්තුව රැස්වන බවට මන්ත්‍රීවරයන්ට දැනුම්දීම පිණිස නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය ද මහලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

එසේම උක්ත දක්වා ඇති පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව, අද රැස්වීමේ දින සිට පැය හතළිස් අටකට කලින් නොවන්නා වූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාමයෝජනා භාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව වශයෙන් 2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා පූර්ව භාග 10.00 ට පාර්ලිමේන්තුව රැස්වී නාමයෝජනා භාරගැනීමේ කාර්යයේ නිරත විය යුතු බවත් මහලේකම්වරයා සභාවට දන්වා සිටියේය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පහසුව පිණිස අදාළ පනතේ 6 වැනි වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් වන කරුණු ද දසනායක මහතා සභාවට ඉදිරිපත් කළේය.

මහලේකම්වරයාගේ එම නිවේදනය පහත පරිදි වේ.

● පාර්ලිමේන්තු මහලේකම්වරයා තේරීම් භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරනු ලබන බව දන්වා සිටිමි.

● පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා තෝරා පත්කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයකුම එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරා පත්කර ගනු ලැබුවහොත්, ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට එතුමා කැමැති බවට ලිඛිතව එකඟත්වය කලින් ලබාගත යුතු අතර එහි පිටපතක්

නාමයෝජනා භාරගනු ලබන 2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා මා වෙත භාරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

● නාමයෝජනා භාරගන්නා දිනයේදී, නාමයෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එදින සභා ගර්භය තුළට පැමිණ සිටිය යුතු අතරම එම යෝජනාව වෙනත් මන්ත්‍රීවරයකු විසින් ස්ථිර කරනු ලැබිය යුතුය. ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවසර නොමැති බව සඳහන් කරනු කැමැත්තෙමි.

● එක් මන්ත්‍රීවරයකුගේ නමක් පමණක් 2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා යෝජනා කර, ස්ථිර කරනු ලැබුවහොත් මා විසින් එසේ යෝජනා කරනු ලැබූ මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව ප්‍රකාශයට පත්කරනු ඇත.

● කෙසේ වෙතත්, 2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙනකුගේ නම් යෝජනා කරනු ලැබ ස්ථිර කරනු ලබයි නම් 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ප්‍රකාරව නාමයෝජනා භාරගැනීමේ වේලාවෙන් පැය 48කට පසුව නොවූ දිනයක ඡන්ද විමසීම සිදු කරනු ලබන අතර එකී දිනය හා වේලාව පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය යුතුය.

● ඒ අනුව දැනට අදහස් කර ඇති පරිදි පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන 2022 ජූලි මස 20 වැනි බදාදා පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වා ජනාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම සිදු කළ හැකිය.

● එලෙසම ගරු මන්ත්‍රීවරුනි, පුරප්පාඩුවී තිබෙන ජනාධිපතිධුරය සඳහා යම් මන්ත්‍රීවරයකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයකු වශයෙන් තෝරා පත්කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳව සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය බව දන්වා සිටීමට කැමැත්තෙමි.

1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පත්වූ මෙරට ප්‍රථම ජනාධිපතිවරයා වූයේ විලියම් ගොපල්ලව මහතායි. 1987 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කෙරුණු අතර ජේ. ආර්. ජයවර්ධන පළමු විධායක ජනාධිපතිවරයා විය. ඉන් ඉක්බිතිව රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළහ.

ඒ අනුව හෙට නාමයෝජනා කැඳවීමෙන් පසුව 20 වැනිදා මැතිසබයේදී තෝරා පත්කරනුයේ මෙරට අටවන විධායක ජනාධිපතිවරයායි. 20 වැනි සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරයා තම විධායක බලතල ද තවත් වැඩිකර ගත්තේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment