සටන්කාමීන්ට දේශපාලනයට එන්න සම්බන්ධන් ඇතුළු
සියලු දුර්වල නායකයන් ගෙදර යා යුතුයි

277
  • වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී නෝහා රාධලිංගම්

දෙමළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරවීමට නොහැකි වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු සෙසු දුර්වල නායකයින් සියලු දෙනාම දේශපාලනයෙන් ඉවත් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නෝහා රාධලිංගම් මහතා පසුගිය 14 දා වවුනියාවේදී පැවසීය.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිසිවක් ලබාදීමට මේ නායකයින් අපොහොසත් වී ඇති බවත්, මැතිවරණ සමයේදී ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට නොහැකි වී ඇති නිසාත් ඔවුන් වහාම දේශපාලනයෙන් සමුගෙන දෙමළ ජනයාගේ අභිලාෂයන් කරා යා හැකි පුද්ගලයින්ට අවස්ථාව සලසා දිය යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කොට පසුව පුනරුත්ථාපනය වූ සටන්කරුවන් දෙමළ ජාතික සන්ධානය හරහා දේශපාලනයට පිවිසීමට උත්සහ කළ නමුත් ඊට දෙමළ ජාතික සන්ධානයේ බොහෝ නායකයින් විරුද්ධ වූ බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ බලපෑම මත එසේ සිදු වූ නිසා ඔහු සියලුම දෙමළ ජනතාවගේ නායකයා නොවන බවත් නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස දෙමළ ජනතාව රවටමින් කටයුතු කළත් සටන්කාමීන් එලෙස ක්‍රියා නොකළ නිසා ඔවුන්ට දෙමළ ජාතික සන්ධානය හරහා දේශපාලනයට පිවිසීමට ඉඩ ලබා දීමට පියවර ගැනීම සාධාරණ බව මන්ත්‍රීවරයාගේ අදහස විය.

සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එවැනි තීරණයකට එකඟ වීමට උත්සාහ නොකළේ දෙමළ ජනතාව දේශපාලනඥයින් ඉවත් කොට සටන්කාමීන් කෙරෙහි බැඳෙනු ඇතැයි යන උපකල්පනයෙන් බවද නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment