සටන් කර, ජීවිත පූජා කර, ලබාගත් ධීවර අයිතීන් මේ හොර නඩය ආපසු උදුරාගෙන – සජිත් ප්‍රේමදාස හලාවතදී කියයි

60

“අද ධීවරයාට තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න බැරි තත්ත්වයට පත්කරලා. ඉන්ධන මිල, ධීවර ජනතාවට දරාගන්න බැරි තත්ත්වයට අහස උසට වැඩිකරලා. එදා හොඳ පෞඪ ජීවිතයක් ගත කරපු, හලාවත ධීවර ජනතාව ඇතුළු අපේ මුළු රටේම ධීවර ජනතාව, මුදල් නොමැති අන්ත අසරණ ජන කොට්ඨාශයක් බවට පත්වෙලා.

සමගි ජනබලවේගයේ නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ප්‍රකාශ කළේ 11 වැනි දින හලාවත බස්නැවතුම්පළ අසල පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා විසින් ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ප්‍රචාරක රැස්වීමකදී ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“මුළු රටේම ධීවර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරලා, ජීවිතය පූජා කරලා, එදා හලාවත ඇන්ටනීලා ලබාගත්ත අයිතීන් මේ හොර නඩය ආපසු උදුරාගෙන. ධීවර ජනතාවගේ ජීවිත, අන්ත අසරණ තත්ත්වයට පත්කරලා තියෙන්නේ.

හොඳට මතක තියාගන්න, මේ රටට අවශ්‍ය ඔබලා වැනි පොඩි මිනිසුන් සමඟ ජීවත්වෙන, මහපොළොවේ පයගහලා ඉන්න නායකත්වයක්. අද රටේ ඉන්න නායකයෝ ඔක්කොම ඉන්නේ කළු වළාකුළුවල. ඒ නිසයි කෝටි ගණනක අනවශ්‍ය වියදමක් කරලා, නිදහස් උත්සවයක් සැමරුවේ. නිදහස සමරන්න මීට වඩා හොඳ විධි ගණනාවක් තිබුණා. නරකද නිදහස සමරන්න දුප්පත් භාවයට පත්වුණු ජනතාවට සහනයක් දුන්නා නම්. නිදහස් දිනයේ දී ජංගම වැසිකිළි සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 140 ක් වියදම් කරලා.

මේ අයට නිකමටවත් හිතුනේ නැද්ද මේ අනවශ්‍ය වියදම් නවත්වලා ඒ නාස්ති කරපු සල්ලිවලින් අසරණභාවයට පත්වෙලා ඉන්න ධීවර ජනතාවට සහනයක් දුන්නොත් හොඳයි කියලා. එහෙම නැත්නම් පොහොර මිල අඩු කරලා, අසරණ ගොවියට සහනයක් දෙන්න. නෑ එහෙම හිතන්න තරම් හිතක් පපුවක් තියෙන කවුරුත් ඔය රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුවේ නෑ.

ටිකක් හිතලා බලන්න. පසුගිය කාලයේ අපේ රටේ සිදුවුණ දේ ගැන. ජනතාවට පීඩනය දරාගන්න බැරිම තැන, ජන අරගලයක් පටන් ගත්තා. මුලින්ම මුදල් ඇමැති කපුටා ගෙදර ගියා. ඊට පස්සේ අගමැති ගෙදර ගියා. ඊට පස්සේ ජනතාව කනෙන් අල්ලලා ජනාධිපතිව රටින් එළියට යැව්වා. හැබැයි බලන්න මෙයාලගේ කපටිකම. ඊළඟට මොකද වුණේ? පොහොට්ටුවේ ඇතුලේ ඉන්න 134 ක් එකතුවෙලා රාජපක්‍ෂ හොර නඩය රැකගන්න, බොඩිගාඩ් කෙනෙක් හැදුවා. රාජපක්‍ෂලාව රකින ආණ්ඩුවක් හදන්නද ලක්‍ෂ ගණනකින් ජනතාව මහපාරට බැස්සේ?

සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ රට පරිහානියට පත්කරලා, මහජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්කරපු, අලි – පොහොට්ටු – කපුටු හොර නඩය, අධිකරණය ඉදිරියට ගෙනල්ලා, දඬුවම් දීලා, ඔවුන් හොරකම් කරපු හැම සතයක්ම ආපසු ලබාගන්නා බවට පොරොන්දු වෙනවා.

රජයට ආදායම් ගන්න, අසරණ මිනිසුන් මත බදු බර පටවන්නේ නැතිව, රාජපක්‍ෂලා හොරකම් කරගන්න සල්ලි ආපසු ගන්න ක්‍රමයක් හැදුවා නම් මීට වඩා හොඳයි නේද? ජනාධිපතිට ඒක කරන්න බෑ. ජනාධිපති ඔය තනතුරට පත්වුණේ රාජපක්‍ෂ හොර නඩයේ ඡන්දයෙන්.
ස්වර්ණ ශ්‍රී මහවත්ත – හලාවත විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment