සටන අරඹා දින 7කට පසු රුසියාව යුක්රේනයේ කර්සන් නගරය අල්ලා ගනී

237

රතු කුරුසයටත් දොර වසයි…
සිවිල් වැසියන්ට වෙඩි තියන්න එපා – නගරාධිපති ඉල්ලයි

යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹීමෙන් දින හතකට පසු ප‍්‍රථම වරට යුක්රේන නගරයක පාලන බලය අල්ලා ගැනීමට රුසියානු හමුදාවට පෙරේදා (02දා) හැකි වී තිබේ.

දකුණුදිග යුක්රේනයේ පිහිටි ප‍්‍රධාන පෙළේ වරාය නගරයක් වන කර්සන් නගරයේ බලය යුක්රේන හමුදා සමග පැවති දැඩි සටන්වලින් අනතුරුව පෙරේදා අල්ලා ගත් රුසියානු හමුදා භටයෝ නගරය තුළ ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇති බව නගරාධිපති ඉගෝර් කොලීකේව් පවසා තිබේ.

ඊයේ (03දා) වන විට යුද ටැංකි හා යුද වාහනවලින් කර්සන් නගරය වෙත පැමිණි රුසියානු භටයන් නගරසභා ගොඩනැගිල්ලද සිය පාලනයට ගෙන තිබිණි. දෙලක්ෂ අසූදහසකට අධික ජනකායක් වාසය කරන කර්සන් නගරයේ යුක්රේන හමුදා භටයන් නොසිටීම හේතුවෙන් නගරයේ සිවිල් වැසියන්ට වෙඩි තැබීමක් සිදු නොකරන ලෙස නගරාධිපති කොලීකේව් විසින් රුසියානු හමුදාවන්ගෙන් ඉල්ලීම් කර තිබිණි. රුසියානු හමුදා පාලනයට යටත් වීම හේතුවෙන් එම හමුදාව විසින් පනවා ඇති නීති රීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසත් යුක්රේනයේ ජාතික ධජය දිගටම ඔසවා තැබීමට කටයුතු කරන ලෙසත් නගරාධිපතිවරයා කර්සන් නගරවාසීන්ගෙන් ඉල්ලීම් කර ඇත.

කර්සන් නගරවාසීන් වෙත නව නීති මාලාවක් හඳුන්වා දී ඇති රුසියානු හමුදාවන් ඒ යටතේ සෑම දිනකම රාත‍්‍රී 8 සිට උදෑසන 6 දක්වා කාලය තුළ නගරයේ පනවා ඇති ඇඳිරිනීතිය තදින් අනුගමනය කිරීම, නිවෙසකින් අවශ්‍යතාවක් වෙනුවෙන් එළිමහනට යෑමේදී උපරිම වශයෙන් දෙදෙනකු පමණක් පිටතට යෑම, ආහාර, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් රැුගත් රථ පමණක් නගරයට ඇතුළුවීම හා එම රථ ද නගරය තුළ අවම වේගයකින් ධාවනය කිරීම යන නීති අනුගමනය කළ යුතු බව දැනුම් දී තිබේ.

මේ අතර කර්සන් නගරය පුරා රුසියානු හමුදා භටයන් දක්නට ලැබෙන අතර ඔවුන් ඉතාමත් භයානක පිරිසක් බව පරිපාලන නිලධාරියකු වන ගෙනාඩි ලකුටා විදෙස් මාධ්‍යයට පවසා තිබේ. කර්සන් නගරය අල්ලා ගැනීම හරහා රුසියාවට එහි යුද හමුදා කඳවුරක් පිහිටුවා යුක්රේනයේ අභ්‍යන්තර ප‍්‍රදේශ වෙත සිය හමුදාව යවා බලය තහවුරු කරගැනීමට අවස්ථාව සැලසෙන බව යුද විශ්ලේෂකයෝ පවසති.

මේ අතර කර්සන් නගරයේ පැවති සටන්වලදී තුවාල ලැබූවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට නගරය වෙත පැමිණීමට රුසියාව විසින් අවසර ලබා දී නොමැත. සටන්වලින් තුවාල ලැබූ සිවිල් වැසියන් බොහෝ දෙනකු ප‍්‍රතිකාර සඳහා නගරයෙන් පිටතට ගෙන යෑම අවශ්‍යව ඇති බවත් නගරයට සැපයෙන ආහාර හා බෙහෙත් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවන බවත් වැසියන් සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment