සත්වෝද්‍යානයේ වංචා දූෂණ තුරන් කිරීමට කටයුතු කළවිට පොහොට්ටු වෘත්තීය සමිති සංගම් බලපෑම් කළා

512

ඇමැති හා ලේකම් ඒවාට සහාය දුන්නා
– හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා කියයි

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

තමන් අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය සඳුදා සී. බී. රත්නායක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව ඇය කියා සිටියාය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිදුවන කඩාකප්පල්කාරි කි‍්‍රයා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පසුගියදා සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්වූ ඇය පසුව යළි සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළාය. ඇය කියා සිටින්නේ රජයට පක්‍ෂපාතී ඇතැම් සේවකයන්ගෙන් තමන්ට තවදුරටත් බලපෑම් එල්ල වෙමින් තිබෙන බවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ උද්ගතවූ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් මගින් විමර්ශනයක් සිදුකළ අතර, එම විමර්ශන වාර්තාව පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

එම වාර්තාවේ මතුව ඇති තත්ත්වයන්ට ගතයුතු ක්‍ෂණික විසඳුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය 2021 ඔක්තෝබර් 28 වැනිදා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගත් අතර, දෙහිවල සත්වෝද්‍යානයේ රජයට පක්‍ෂපාතී වෘත්තීය සමිති ඇයගේ රාජකාරිවලට දිගින් දිගටම බාධා එල්ල කළ බව ඇය කියයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව ආහාර ටෙන්ඩරය හරහා වාර්ෂිකව රුපියල් මිලියන 76කට අධික මුදලක් ඇතැම් පිරිස් වංචා සහගත අයුරින් ලබාගන්නා බවද ඊට සත්වෝද්‍යානයේ ඇතැම් නිලධාරීන්, වෘත්තීය සමිති මෙන්ම දේශපාලන අධිකාරියේ ආශිර්වාදය හිමිවී ඇතැයිද ඇය කියා සිටී.

දෙහිවල සත්වෝද්‍යානයේ සිදුවන අක‍්‍රමිකතා සම්බන්්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මාර්තු 13 දා අමාත්‍යාංශ ලේකම්වරයාට ලැබී තිබුණත් එහි නිර්දේශ මෙතෙක් කි‍්‍රයාත්මක කර නැතැයිද ඇය පවසයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ සිදුවූ බරපතළ අක‍්‍රමිකතා පිළිබඳ සොයාබලා අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම හේතුවෙන් තමන්ට එරෙහිව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් කැල්ලක් ඇරඹූ බවද මේ සඳහා විෂය භාර අමාත්‍ය සී. බී. රත්නායක මහතා හා අමාත්‍යාංශ ලේකම්වරයා සෘජුවම සහාය පළකළ බවද ඇය පවසයි.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, පින්සිරි ආරියරත්න සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment