සතා මැරුවම ප්‍රශ්නය ඉවරද?පනත ගේන්න කලින් හිතන්න දෙයක්

251

කැලෑ එළිකරනකොට සතාට යන්න තැනක් නෑ! උන් එන්නේ ගෙවල්වලට

වගකිවයුත්තන් තාමත් නිශ්ශබ්දයි!

බෝග වගාවන් විනාශ කරන සතුන් තමන්ට අභිමත පරිදි පාලනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉකුත් පෙබරවාරි දහහත් වැනිදා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සතුන් ලැයිස්තුවෙන් රිළව්, දඬු ලේනුන්, වල් ඌරන්, ඉත්තෑවුන්, මොණරුන් හා වැලි මුවන් ඉවත් කළ බවද හෙතෙම අවධාරණය කළේය. දැන් සත්ත්ව උවදුරු මැඬලීමට පොදු මහත් කෘෂි ජනතාවට තමන් කැමති ක්‍රියාමාර්ගයක් ගත හැකිය. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කමිටුවක් ද ක්‍රියාත්මක වෙයි. ඔවුන් දසදෙස යෝජනා ගෙන්වා බලන්නේ සත්ත්ව හානි වළක්වා ගන්නට ගත හැක්කේ කුමන ක්‍රියාමාර්ගද යන්නය.

ඇමැතිවරයා ගොවි සංවිධානයක් සමග කළ සාකච්ඡාවකදී මේ බව කියා සිටි අතර සත්ව හානි මැඬලීමට වෙනත් මගක් නැති බව ද කීවේය.

මේ නොකියා කියන්නේ දැන් ඔය කියන සියලු සතුන් මරා දැමීමට නීතියෙන් අවසර හිමි වන බවද?

කාටත් අත නොපා තම දහඩිය මහන්සියෙන් සරුවට ගොවිතැන් කර ජීවිකාව ගෙන ගිය ගම්වැසියෝ දැනට දස වසරක පමණ කාලයක සිට වගා කටයුතුවලින් ඈත්වන්නට සිතති. රටේ පවතින කෘෂි ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයන් සේම සොබාදහමේ කරදර හිරිහැර නිසාය. ප්‍රබලතම හිරිහැරය වී ඇත්තේ වන සතුන්ගෙන් වගාවට සිදුවන දැඩි හානිය. මේ හමුවේ කර කියාගත දෙයක් නොමැති තැනට දැන් සමස්ත ජනතාවම පත්ව සිටී. එය අවිවාදිතය.

රිළව්, දඬු ලේනුන්, වල් ඌරන්, ඉත්තෑවුන්, මොණරුන් හා වැලි මුවන් අද වනවිට රටේ කෘෂි ආර්ථිකය පහළටම ඇද දමා තිබෙන්නේය. මෙම සතුන් වගා භූමි ආක්‍රමණය කරන්නේ පොල් ඇට්ටියක් වත් නැති තැනට වගාව පහතට දමාය.

එහෙත් කල්පනා කළයුතු තවත් කාරණා ඇති බව හැඟේ. නගරබදව සැරිසැරූ රිළවුන්, වඳුරන් ගම්මැද්දට ගෙන ගොස් අතඇරියේ සමස්ත දිවයිනේ දිස්ත්‍රික් කමිටු තීරණ හරහාය. නගරබදව මේ සතුන් බෝවීම පාලනය සඳහා උපත් පාලන ක්‍රම අනුගමනය කරමින් ගහන ගණත්වය පාලනය සඳහා සැලසුම් සකස් වුවද ඒවා එදවස ක්‍රියාත්මක වූයේ නැත. දැන් ගොවියාට සිදුව ඇත්තේ රටට බත සපයන අතර පවද පුරවා ගන්නටය.

අව්ව වැස්ස ඇතුළු ස්වභාව ධර්මයෙන් එල්ල වන අභියෝගත් අස්වනු විකිණීමේදී අතරමැදියන්ගේ ග්‍රහණයට අසුවීමත් නිසා ඇතිවන පාඩු දරා ගනිමින් ගොවිතැන් කටයුතු අඛණ්ඩව කරගෙන ගිය ගොවීන් පවසන්නේ වන සතුන්ගෙන් එල්ල වන තර්ජන කෙසේවත් දරා ගැනීමට නොහැකි බවය. දේශීය කෘෂි ආර්ථිකය දියුණු කිරීම සඳහා විදේශ රටවලින් එළවළු හා පලතුරු ආනයනය කිරීම නතර කිරීම හොඳ පියවරක් වුවත් සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට පියවරක් ගැනීමට නොහැකි වුවහොත් ගොවීන්ගේ මහන්සිය ගඟට කැපූ ඉණි ගාණට වැටෙන්නේය.

මෙය රට පුරාම ඔඩුදුවා ඇති ප්‍රබල ගැටලුවකි. වන සත්ත්ව හානි ගහන නවනැලිය ගොවි ගම්මානය අත්විඳින පීඩාව ඔස්සේ රටේ තත්ත්වය සලකා බලන්නට අපි සිතුවෙමු.

එහි ගොවි සංවිධානයේ සභාපති චන්ද්‍රසේකර නවනැලිය ගොවි මහතා සතුන්ගෙන් වගාවට සිදුවන හානිය පිළිබඳව මෙසේ පැවසුවේය.

සතා මැරුවම ප්‍රශ්නය ඉවරද?පනත ගේන්න කලින් හිතන්න දෙයක්

කුඹුරේ වී කරල් ඔක්කෝම රිළව් හූරලා කනවා. කුඹුරට එහා ගොඩ ඉඩමේ කෙසෙල් වගා කළා. මාසෙකට රුපියල් තුන් හාරදාහක් කෙසෙල් විකුණලා හොයා ගත්තා. අද එක කෙසෙල් පැළයක් නැහැ. මහන්සි වෙලා වගා කරලා වැඩක් නැහැ. පැළ පොඩි කාලේ ඌරා ගහනවා. කැන් වැටෙනකොට රිළව් කනවා. රිළව්, ඌරෝ එන්නේ රංචු පිටින්. එක රංචුවක රිළව් 75 ක් විතර ඉන්නවා. අපි කහ පාත්ති දාලා කහ කිලෝ 100 ක් විතර ගලවනවා. දැන් ඒක කරන්න බැහැ. කහ පාත්ති ඌරෝ හාරනවා. කහ පැළ අපි ගලවන්න කලින් රිළව් ගලවනවා. දඹල වැල් වල මල්, කොළ, කරල් ඔක්කොම කනවා. මේ විදිහට ගොවිතැන් කරලා වැඩක් නැහැ. අපිට අව්ව වැස්ස එක්ක හැප්පිලා පුරුදුයි. ඒත් මේ සත්තු එක්ක හැප්පෙන්න බැහැ මහත්තයෝ. එකෙක් කියලද? මීමින්නා, ඌරා, දඬුලේනා, රිළවා, ඉත්තෑවා මේ ඔක්කොම සත්තු එක්ක කොහොම හැප්පෙන්නද? බිමින් එන එවුන් නම් මොනවා හරි කරලා පාලනය කළා කියමු. ඒත් කොහොමද රිළවා, දඬුලේනා මෙල්ල කරන්නේ. රිළව් දැන් අපිට බයත් නැහැ. පොඩි ළමයින්ගේ ඇඟට පනිනවා. පොඩි එවුන් ඉස්කෝලෙට අරන් යන්නයි එක්කන් එන්නයි වැඩිහිටියන්ට යන්න වෙලා. පොඩි අය තනියම ආවොත් පොත් බෑග්වලට පනිනවා. දැන් අවුරුදු පහ හයක ඉඳන් මේ කරදරේ විඳිනවා. ඉස්සර මෙච්චර රිළව් මේ පැත්තේ හිටියේ නැහැ. මම හිතන්නේ කොහෙන් හරි අල්ලලා මේ පැත්තට ගෙනල්ලා දාලා…

පොලිස් නිලධාරියකු ලෙස සේවය කිරීමෙන් පසු විශ්‍රාමා ලැබ ගොවිතැන් කටයුතුවලට යොමුව සිටින පනස් නව හැවිරිදි ජයරත්න බණ්ඩා මහතා මෙසේ අදහස් දැක්වූවේය… වන සතුන්ගෙන් සිදුවන හානි ඉවසා ගන්න බැරිම තැන ගොවියෝ එකතු වෙලා මේක පාලනය කරන්න මොනවා හරි පියවරක් ගන්න කියලා පෙළ පාලියකින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් මාස කිහිපයකට කලින් සංදේශයක් භාර දුන්නා. ඒකට වෙච්ච දෙයක් නැහැ. මිරිස්, කරවිල, වැටකොළු, වට්ටක්කා, බෝංචි පැළ මතුවෙන කොටම වැලි මුවා කනවා. පොළොවෙන් අඟල් හතරක් පහක් උසට පැළ මතුවෙන කොට ඌරෝ රංචු පිටින් ඇවිල්ලා ඒ සේරම හාරලා විනාශ කරන්නේ හරියට ඩෝසර් කළා වගේ. මේක කොහොම හරි බේර ගත්තත් අන්තිමට පළදාව රිළවුන්ගෙන් බේර ගන්නවා කියන්නේ බොරු. හැට හැත්තෑවක් ඉන්න රිළා රංචුවකින් වගාව බේරා ගන්න අවුරුදු පහ හයක් තිස්සේ උත්සහය කරලා බැරිම තැන ගොවියෝ වගා කිරීම පැත්තක තියලා කුලී රැකියා කරන්න ගියා. ගොවිතැන් කරලා තියෙන දේ නැතිකර ගන්නවාට වඩා හොඳයි කුලී වැඩක් කරලා කීයක් හරි හොයා ගන්න එක කියලා ගොවියෝ හිතන එක වැරදි නැහැ. වගාවකට අද සල්ලි යට කරලා හෙට සල්ලි හම්බ කරන්න බැහැ. ඒකට රෑ දවල් නැතුව සාත්තු කරන්න ඕන. මාස ගාණක් ඒ වෙනුවෙන් කැපවෙනවා. සත්තු ඇවිත් ඒ වගාව විනාශ කළාම කාටද ඉවසන්න පුළුවන්.

එස්. කේ. රත්නායක (60) මහත්මිය මෙසේ කීවාය.. පොල්, කෙසෙල්, අඹ, රඹුටන් කිසිම දෙයක් මේ රිළව් තියන්නේ නැහැ. ඌරො, රිළව් දවසින් දවස බෝවෙනවා. දැන් මේ පැත්තේ රිළා රංචු හයක් ඉන්නවා. ඔක්කොම ගත්තොත් 500 ක් විතර. ගහක දෙල් ගැටයක් තියන්නේ නැහැ. ආණ්ඩුව අපිට වගා කරන්න කියනවා. අපිත් වගා කරනවා. අස්වැන්නෙන් භාගයක් සත්තු කනවා. මේක දැන් හැමදාම වෙනවා. වගා කිරිල්ල දැන් එපා වෙලා. සත්තුන්ට කන්න අපි අතේ සල්ලි වියදම් කරලා ගොවිතැන් කරලා වැඩක් නැහැනේ. ජනාධිපතිතුමා ගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේකට විසඳුමක් දෙන්න කියලා. අපේ පැත්තේ විතරක් නොවෙයි මහනුවර
ගොඩක් ප්‍රදේශවල ගොවිතැන් කරපු අය දැන් ඒවා කරන්නේ නැහැ.

විශ්‍රාමික ගුරුවරියක වන ස්වර්ණා පෙරේරා (67) මහත්මිය මෙසේ පැවසුවාය… වගා කරනවා තියා දැන් ගේ ඇතුළක ඉන්න බැහැ. බැරි වෙලාවත් ජනේලයක් ඇරලා තිබුණොත් රිළව් ගෙට රිංගනවා. ගේ ඇතුලේ තියෙන බත් මුට්ටි පවා උස්සන් යනවා. රිළා රංචු ඇවිත් වහළවල් උඩ ඉන්නේ. ඇන්ටනා වයර් එකක් තියන්නේ නැහැ ඒකත් හපනවා. අපේ වත්තේ පොල් ගස් 22 ක් තියෙනවා. කවදාවත් කඩෙන් පොල් ගත්තේ නැහැ. එක පොල් ගෙඩියක් තියන්නේ නැහැ. ඇට්ටි කඩනවා. කුරුම්බා බීලා දානවා. පුදුම විනාශයක් කරන්නේ. මේවා හරිම සාරවත් ඉඩම්. මඤ්ඤොක්කා දණ්ඩක් විසි කළත් පැළ වෙනවා. වත්තේ රඹුටන් ගහේ කොළවලට වඩා ගෙඩි එනවා. ඒත් මේ සත්තු එක ගෙඩියක් ආසාවට ළමයකුට කන්න දෙන්න ඉතුරු කරන්නේ නැහැ. පුවක් ගහක ගෙඩියක් තියන්නේ නැහැ. සල්ලි මවපු ගස් වලින් දැන් සත පහක ආදායමක් ගන්න බැහැ.

වසන්ත උපුල් බණ්ඩාර (42) මහතා මේ සම්බන්ධව දැක්වූවේ මෙවන් අදහසකි. මම දෙල් වාරෙට සාමාන්‍යයෙන් රුපියල් 75000.00 ක් 80000.00 ක් විතර හොයනවා. දැන් සත පහක් ගන්න බැහැ. වගා කරන හැම දෙයක්ම මේ සත්තු කනවා. පොල් ගෙඩියක් දැන් රුපියල් 100.00 ත් පැනලා. රිළව්, දඬු ලේන්නු කුරුම්බා ඇට්ටියක් තියන්නේ නැහැ. පොල් ගස් දිහා බලාගෙන අපිට දැන් පොල් කඩෙන් ගෙනත් කන්න වෙලා. මොණරු විතරයි දැන් මේ පැත්තට අඩු. වුණුත් ආවා නම් නියමයි. එන්න එන්න සත්තුන්ගේ කරදර වැඩියි. වගාවට විතරක් නෙවෙයි ජීවිතවලටත් දැන් මේක තර්ජනයක්.

රිළවකු කඩා පැනීමෙන් බියට පත්ව ඇද වැටී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට යළි ගමට පැමිණ සිටින ජී. ජී. උදුලාවතී මහත්මිය පනස් හතර හැවිරිදිය. තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ඇය මෙසේ විස්තර කළාය. මම ගෙදර අතුගගා ඉද්දී රිළව් කෑගහනවා ඇහුණා. මම ඒ පැත්තට යනකොට රිළා රංචුවක් සියඹලා ගහ ළඟ හිටියා. මම හැරිලා ආපහු එනකොට ලොකු රිළවෙක් මගේ ඇඟට පැන්නා. මම එකපාරටම බිමට වැටුණා මතකයි. සිහිය එනකොට හිටියේ රෝහලේ. වැටුණු පාරට කොඳු ඇට පෙළට හානිවෙලා කියලා දොස්තර මහත්වරු කිව්වා. රිකිල්ලගස්කඩ ඉස්පිරිතාලෙන් නුවරට මාරු කළා. එතනින් පේරාදෙණියට අරන් ගිහින් ස්කෑන් එක්ක කළා. දවස් 15 ක් රෝහලේ හිටියා. පොඩි ළමයි පරිසම් කරගන්නේ හරිම අමාරුවෙන්. අපිට බය නැති කොට මේ රිළව් ළමයින්ට කොහොමත් බය නැහැ. මොනවා හරි කකා අතේ තියාගෙන ඉන්න බැහැ ඇඟට පැනලා උදුර ගන්නවා. දැන් නම් මේක ඇතිවෙලා තියෙන්නේ..

සතා මැරුවම ප්‍රශ්නය ඉවරද?පනත ගේන්න කලින් හිතන්න දෙයක්

වන සතුන් නිසා හානි වන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි. දැනට වසර පහළොවකට පමණ පෙර බෝග වගාවේ දී වාර්ෂිකව අඩුම නිෂ්පාදනයක් ලෙස සටහන් වූ දත්ත ලැයිස්තුව මෙසේ ය. (මෙටි්‍රක් ටොන් මිලියන) බඩඉරිඟු 721 තිරිඟු 627සහල් 605 සෝයා බෝංචි 204 යි තක්කාලි 120 ධාන්‍ය වර්ග 2260 පලතුරු 503 බෝංචි මෑ ආදී ඇට වර්ග 60 යි.

මෙම ප්‍රමාණයන් වසරින් වසර හානියට පත් වෙමින් මේ වන විට පොදුවේ සියයට 23.3 ක පමණ හානි වීමකින් ප්‍රමාණයන් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත සටහන් වාර්තා කරයි.

අස්වනු හානි ලෙස රට පුරාම බහුලව දක්නට ඇත්තේ වනසත්ත්ව හානි ය.

මෙම තත්ත්වයන් පාලනය කර ගැනීමට නොහැකි තැන ප්‍රාදේශීය ලේකම්වරුද කෘෂිකර්ම ඇමැතිවරයාගේ අවධානයට යොමු කළේ වන සතුන්ගෙන් සිදුවන හානිය වැළැක්වීමට කඩිනමින් පියවරක් ගත යුතුව තිබෙන බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහචාර්ය අශෝක දංගොල්ල මහතා මේ සම්බන්ධව මෙසේ ප්‍රකාශ කළේය. රිළවෙක්ගේ ආයු කාලය අවුරුදු 20 ක් 25 ක් වෙනවා. මේ සතාගේ හානිය දීර්ඝකාලීනයි. මම මේ සත්තුන්ගේ හානිය ගැන පරීක්ෂණයක් කළා. සාමාන්‍යයෙන් වන සතුන් ගේ බලපෑම නිසා ගොවියෙකුට මාසිකව අහිමි වන මුදල රුලියල් 10000.00 සිට 30000.00 ක් පමණ වෙන බව එහිදී අනාවරණය වුණා. රිළවා කියන්නේ අපේ නෑයෙක්. අපි කරන දේවල් බොහොම කෙටි කාලයකින් එයා ඉගෙන ගන්නවා. රිළවා කොටියට හරිම බයයි. අපි පරීක්ෂණයක් කළා කොටින්ගේ අසූචි අරන් රිළව් ගැවසෙන තැන්වලට දාලා. ඒක ඉතාම සාර්ථකයි. කොටි අසූචි ගස්වල ගාලා අපිට ගන්නෝරුවේ දූරියන් වගාවක් සම්පූර්ණයෙන්ම බේරා ගන්න පුළුවන් වුණා. ඒ ගන්ධය නිකුත් වන රසායනයක් අපි හදලා ගස් වලට ස්ප්‍රේ කළොත් රිළව් පන්නන්න පුළුවන් කියලා මම හිතනවා. මේ ගැන වැඩිදුර පරීක්ෂණ කරන්න හන්තාන මූලික අධ්‍යයන ආයතනයට යොමු කරලා තියෙනවා. රිළව්න්ට කන්න දෙන්න යන්න හොඳ නැහැ. පුරුදු වුණොත් දිගටම එනවා. එක තැනකින් අල්ලලා තවත් තැනකට දානවා කියන්නේ හිසරදය වෙන තැනකට දෙනවා වගේ වැඩක්. මේ ප්‍රශ්නයේ අපි නොදකින පැත්තක් තියෙනවා. මේ සත්තු නිසා සිදුවන වගා හානියට මිලක් තියෙනවා. සත්තු හපා කන්න පනිනකොට ළමයි බය වෙනවා. වගා හානි වුණාම මිනිස්සුන්ගේ හිත්වල වෛරය, කේන්තිය ඇති වෙනවා. ඒවා නිසා ශරීරයට හරිම අහිතකර බලපෑම් එල්ල වෙනවා. මේකට මිලක් නියම කරන්න පුළුවන්ද? අද මොණරු, දඬු ලේන්නු, ඉත්තෑවෝ, වැලි මුවෝ, මී මින්නෝ, රිළව්, අලි, මොණරු, ඌරෝ ගැන මිනිස්සුන්ගේ හිත්වල තියෙන්නේ තරහක්. පොඩි ළමයි පවා මේ නිසා සත්තුන්ට ආදරය කරන්නේ නැහැ. ඒක වෙනමම සාකච්ඡා කළයුතු ප්‍රශ්නයක්. මම හිතන්නේ අනිවාර්යයෙන්ම රිළා ගහනය පාලනය කරන්න උපත් පාලන ක්‍රමවේදයකට යා යුතුයි.

මෙරට බෝග වගාවලට වසරකට රුපියල් බිලියන 54ක හානියක් වන සතුන්ගෙන් වන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ඇස්තමේන්තුගත කර තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය මඟින් වන සතුන්ගෙන් වන වගා හානි සම්බන්ධව විශේෂ වාර්තාවකින් හෙළිදරව් කර ඇත්තේ වන අලියා, මොණරා, රිළවා, වඳුරා, වල් ඌරා හා දඬුලේනා වගා හානි කරන සතුන් අතරින් ප්‍රධාන වන බවයි.

මේ අතුරින් වගා හානි කරන සත්ත්ව ලැයිස්තුවට වන අලි හැර අනෙකුත් සතුන් හය දෙනා ඇතුළත් කර තිබේ. එමෙන්ම වන සතුන්ගෙන් වන වගා හානි නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 40 කි. සතුන් නිසා වැඩිම ආර්ථික හානියක් පොල් හා වී වගාවට සිදු වේ. ඒ අතරින් රිළව්, වඳුරන් හා දඬුලේනුන් විසින් වසරකට පොල් ගෙඩි මිලියන 107ක් විනාශ කරනු ලබයි.

වන සතුන්ගෙන් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම පිණිස රජය නිසි වැඩපිළිවෙළක් සකස් කරදිය යුතු වුවත් මේ වනතුරු ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවට ගොවියෝ චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා දක්වන්නේ මෙවන් අදහසකි.

අපේ රටේ ආහාර නිෂ්පාදනයෙන් 30% – 35 % ත් ප්‍රමාණයක් වන සතුන්ගේ බලපෑම නිසා විනාශ වෙනවා. අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම සහ පසු අස්වනු හානිය කියන ගැටලු සඳහා යම් විසඳුම් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබුණත් මේ වන සතුන්ගේ හානි වළක්වා ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ට සෑහීමකට පත්විය හැකි විසඳුමක් තාමත් ලබා දීමට හැකියාවක් ලැබී නැහැ. කිසිදු විකල්පයක් නොමැති වූවොත් ඉදිරියේ දී වගා බිම් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගිනි අවි ලබා දීමට පවා සිදුවන තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබෙනවා. මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමුකර විද්වත් අදහස් ලබා ගනිමින් බහුපාර්ශ්වීය එකඟතාවක් සහිත විසඳුම් යෝජනාවලියක් සම්පාදනය කරමින් සිටිනවා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව හානි වළක්වාලීම සඳහා වන කමිටුව තීරණ ගනු ඇති. එම තීරණ ඉදිරියේදී දැනුම් දෙනු ඇති. නැතිව මට කෙලින්ම සත්තු වඳ කරන්න නම් සත්තු මරන්න කියා කියන්න හැකියාවක් නැහැ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment