සතියක්වත් රට වහන්න… මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ජනපතිට ලියති

300

මෙම ආපදාපන්න අවස්ථාවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු වස් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසාදමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය උදෙසා පියවර ගන්නේ නම් සුදුසු බව දක්වමින් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

සතියක්වත් රට වහන්න... මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ජනපතිට ලියති

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤාණරතන මහනාහිමි විසින් ජනපතිවරයා වෙත යොමුකරන ලද ලිපියේ මෙසේද සඳහන් වෙයි.

 කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ දී නිරෝධායන ඇඳිරි නීතිය පනවා ජනතාවට සහන සලසමින් ජන ජීවිතය සුරක්ෂිත කරනු වස් ජනාධිපතිතුමන්ගේ හා අග‍්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් රජය විසින් ගෙන ගිය විධිමත් වැඩපිළිවෙළ ප‍්‍රශංසර්ගය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ ජගත් සංවිධානයන්ගේ ඇගයීමට ද පාත‍්‍ර විය.

 තව ද මේ වන විට ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙමින් ජන ජීවිත සුරක්ෂිත කිරීම පිණිස සිදුකරනු ලබන සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද අපගේ ප‍්‍රශංසාව ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජය වෙත පිරිනමනු කැමැත්තෙමු. එහෙත් කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යසනයකට මුහුණ පා සිටිති. ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී. නව විකෘති වෛරස ප‍්‍රභේදයන්ගේ දරුණු බව හා ශීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත. ඉදිරි මාස කිහිපය තුළදී ශ‍්‍රී ලංකාවේ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද අනතුරු අඟවා ඇත. එහෙයින් රත්නත‍්‍රයේ ආශීර්වාදයෙන් මෙම වසංගත ව්‍යාප්තිය පාලනය කොට ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ඔබතුමන්ට ශක්තිය, ධෛර්යය සැලසේවායි පතමු.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment