සති හතක් ඇතුළත අගමැතිවරු තුනක්

292

බ්‍රිතාන්‍යයේ ආර්ථික අර්බුදය

රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික මෙන්ම හින්දු අගමැතිවරයා ද වීම සුවිශේෂී කාරණයකි. ඔහු කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා ලෙස පත්වීමෙන් පසුව අගමැති පුටුව හිමිවිය. ටෝරි පක්ෂ මන්ත්‍රීවරු 193ක ගේ සහාය ඔහුට හිමිව ඇති අතර බ්‍රිතාන්‍යයේ නැවත මැතිවරණයක් පවත්වන තුරු අගමැති ධුරය හොබවනු ඇත. කෙසේ වෙතත්, එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ දිගින් දිගටම ඉල්ලා සිටින්නේ වහා මහ මැතිවරණයක් කැඳවිය යුතු බවයි.

රිෂී සුනක් සමඟ නායකත්වයට තරග වදිමින් සිටි පෙනී මොර්ඩන්ට් අවසාන මොහොතේ එම සටනින් ඉවත් විය. ඇයගේ සහය ඔහුට හිමිවන බව ද පවසා ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි. අසාර්ථක නායකත්ව උත්සාහයකින් පසුව දින 45 ක නිල කාලයෙන් ඉවත් වූ ලිස් ට්‍රස්ගේ අනුප්‍රාප්තිකයා බවට රිෂී සුනක් පත්ව තිබේ. බ්‍රිතාන්‍යයේ සති හතක් ඇතුළත පත් වූ තුන්වන කොන්සර්වේටිව් පක්ෂ අගමැති බවට සුනක් පත්ව ඇත. එක්සත් රාජධානියේ වැසියන් මේ වන විට ජීවන වියදම සමඟ අරගලයක යෙදෙන අතර යුක්‍රේන යුද්ධයද උග්‍ර වෙමින් පවතියි. අගමැති පුටු මාරු වූවේද ආර්ථික අර්බුදය නිසාය. ජූලි මාසයේදී බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු සුනක් එක්සත් රාජධානියේ අගමැති වීමට උත්සහ කළද එය අසාර්ථක විය. ඔහු සමග තරග කළ සුදු කත වූ ලිස් ට්‍රස් ජයග්‍රහණය කළ නිසා සැප්තැම්බර් මාසයේදී ඇය අගමැති විය. මෙතෙක් එරට කෙටිම කලක් අගමැතිධුරය දැරූ තැනැත්තා වූයේ 1827 අගෝස්තු මාසයේ දී මියගිය ජෝර්ජ් කැනින් ය. ඔහු ධුරයේ ගත කළ කාලය දින 119ක් පමණි. නමුත් එම වාර්තාව ලිස් ට්‍රස් බිඳ දැමුවාය. 2019 මහ මැතිවරණයෙන් අතිවිශාල බහුතර ජනවරමක් ලැබූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ජුලි මාසයේදී ඉල්ලා අස්විය. කලින් කැඳවීමකින් තොරව එරට මහ මැතිවරණය 2025 ජනවාරි වන තෙක් නොපැවැත්වෙයි.

සති හතක් ඇතුළත අගමැතිවරු තුනක්
රිෂී සුනක් බිරිඳ සමඟ

සුනක් 1980 දී සවුත්හැම්ප්ටන් හි උපත ලැබූ අතර, ඔහුගේ පියා ජීපීවරයකු වූ අතර ඔහුගේ මව ඇගේම ඔසුසලක් පවත්වාගෙන ගියාය. සුනක්ගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට පැමිණි අතර ඔවුන් දෙදෙනාම ඉන්දියානු සම්භවයන් සහිත තැනැත්තන්ය. ඔහුගේ පියා ඉපදී හැදී වැඩුණේ වර්තමානයේ කෙන්යාවේ වන අතර ඔහුගේ මව උපත ලැබුවේ ටැන්සානියාවේය. ඔහුගේ සීයාවරුන් ඉන්දියාවේ පන්ජාබ්හි උපත ලැබූ අතර 1960 ගණන්වල නැගෙනහිර අප්‍රිකාවේ සිට ඔවුන්ගේ පවුල් සමඟ එක්සත් රාජධානියට සංක්‍රමණය වී තිබේ. 2009 දී සුනක් ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන එන්. ආර්. නාරායන මූර්තිගේ දියණිය වන අක්ෂාතා මූර්ති සමඟ විවාහ විය. නාරායන මූර්ති තාක්ෂණ සමාගමක් වන ඉන්ෆොසිස් හි නිර්මාතෘ මෙන්ම ඉන්දියාවේ ධනවත්ම පුදගලයන් දසදෙනාගෙන් කෙනෙකි. මෙම යුවළට ක්‍රිෂ්ණා සහ අනුෂ්කා යනුවෙන් දියණියන් දෙදෙනෙක් සිටියි. සුනක් එරට ධනවත්ම මන්ත්‍රීවරයෙකු ලෙස සැලකෙන නමුත් ඔහුගේ වත්කම්වල වටිනාකම කොපමණ දැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. 2015 සිට ඔහු යෝක්ෂයර් හි කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයා වූ අතර තෙරේසා මේගේ රජයේ කනිෂ්ඨ අමාත්‍යවරයෙක් බවට පත්විය. ඇයගේ අනුප්‍රාප්තිකයා වූ බොරිස් ජොන්සන් විසින් පසුව ඔහු 2020 පෙබරවාරි මාසයේදී භාණ්ඩාගාරයේ ලේකම් හෙවත් එරට මුදල් ඇමැතිවරයා විය. සුනක් චාන්සලර්වරයා බවට පත් වී සති කිහිපයක් ඇතුළත වසංගතය හා ලොක් ඩවුන් ආරම්භ වීම සිදුවිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment