සති 3ක් තුළ පාතාලයේ 10 වැනි බිල්ල කැලණියෙන් – හිටපු කොස්තාපල් මරුට – දෙහැවිරිදි දරුවාට බරපතළ තුවාල

346

කැලණිය දුම්රියපළ පාරේදී පෙරේදා (26දා) රාත්‍රී සන්නද්ධ පාතාල කල්ලි සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකින් හිටපු පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තබා ඝාතනයට ලක්කළ අතර ඔහුගේ දෙහැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මෙම ඝාතනයත් සමගම පසුගිය සති තුනක කාල සීමාවේදී පාතාල ප්‍රහාරවලින් මියගිය ගණන 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

පාතාල මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ අත්තනායක නමැත්තෙකි. මොහු “පොලිස් අත්තනාක” ලෙස කුප්‍රකට පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පොලිස් අත්තනායක නමැත්තා සිය බිරිඳ සහ දරුවා සමග ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් කැලණිය දුම්රියපොළ පාරේ ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පාතාල මැරයන් දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන ඔවුන්ට වෙඩි තබා ඇත.

ප්‍රහාරයෙන් පොලිස් අත්තනායක නමැත්තා සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර ඔහුගේ දරුවාද වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබීය.

දරුවාගේ සුෂුම්නාවට වෙඩි උණ්ඩයක් ඇතුළු වී ඇති බවත් එම දරුවා සදාකාලික අබ්බගාතයකු වීමට ඉඩ ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පෑලියගොඩ බැරල් සංඛ නමැති පාතාල නායකයා මෙහෙයවූ කල්ලියට මෙම හිටපු කොස්තාපල්වරයා සම්බන්ධවී සිට ඇති අතර ඩී. මංජු නමැති පාතාල මැරයා ඝාතනය කිරීමට මොහු බැරල් සංඛ සමග මීට වසර කීපයකට පෙර ගොස් ඇති බව පැවසේ.

ඒ වනවිට මෙම කොස්තාපල්වරයා පොලිස් සේවයේ නිරතවී සිටි අයෙකි. මෙම ප්‍රහාරයෙන් ඩී. මංජු දිවිගලවා ගත් අතර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් පසු අත්තනායක නමැති කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් අතර පසුව බන්ධනාගාර ගත කෙරිණි.

ඇප මත මුදාහැරීමෙන් පසු මොහු නැවත පෑලියගොඩට පැමිණ බැරල් සංඛගේ පාතාල කල්ලිය සමග සම්බන්ධතා පවත්වමින් සිට ඇත.

පාතාල කල්ලි අතර පැවති ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු ඊයේ වන තුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment