සති 3 කට රට වහන්න… ආණ්‌ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් ජනපතිගෙන් ඉල්ලයි

212

රටේ ශීඝ‍්‍ර ලෙස පැතිර යන කොවිඞ් වසංගතය හමුවේ රෝගය ආසාදිතව රෝහල් ගතවන රෝගීන් ප‍්‍රමාණය රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙළීම සඳහා අවම වශයෙන් සති තුනක් රට අගුළු දැමීමට පියවර ගන්නැයි ඉල්ලමින් වත්මන් රජයේ හවුල්කාර පක්‍ෂ දහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

 අපේ ජනබල පක්‍ෂයේ අතුරලියේ රතන හිමි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග‍්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, එක්සත් මහජන පක්‍ෂයේ නායක ටිරාන් අලස්, ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ජී. වීරසිංහ, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ අත්සනින් යුතු මෙම ලිපියෙහි කොවිඞ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති අභියෝගය ජය ගැනීම සඳහා යෝජනා හතක් ද ඉදිරිපත් කර ඇත.

 එම යෝජනා ඇතුළත් ලිපිය මෙසේය.

 කෝවිඞ් වසංගතය පෙර නොවූ අයුරින් ශීඝ‍්‍රයෙන් පැතිරෙන බවත්, මියයන රෝගීන් ගණන ද අසාමාන්‍ය ලෙස ඉහළ යන බවත් ඔබතුමාගේ අවධානය දැනටමත් යොමු වුණු කරුණකි. මේ පිළිබඳ අපගේ පක්‍ෂ නායකයන් ගණනාවක් ඔබතුමාට විවිධ යෝජනා ඉදිරිපත් කර ඇත. ඔබතුමා විසින් දියත්කර ඇති දීපව්‍යාප්ත කඩිනම් එන්නත්කරණ වැඩසටහන ජාතියේ බලාපොරොත්තු දල්වා ඇති බව පෙනේ. ඒ සඳහා නායකත්වය ලබාදෙන ඔබතුමාටත්, සෞඛ්‍ය ප‍්‍රජාවටත්, ත‍්‍රිවිධ හමුදාවටත් අපගේ ප‍්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

 වයස අවුරුදු 18 ට වැඩි සමස්ත ජනගහනය එන්නත්කරණය සඳහා අවම වශයෙන් තවත් සති 6 ක් ගතවනු ඇත. එකී ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵල දැකීමට නම් තවත් මාසයක් පමණ බලා සිටීමට සිදු වේ. එකී සති 10 තුළ ශ‍්‍රී ලංකාව විසාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා කාර්යාලය විසින් මෙරට ප‍්‍රමුඛ පෙළේ වෛi විශේෂඥයන් සමඟ එක් වී සකස් කළ වාර්තාව අධ්‍යනය කිරීමේදී ඒ බව පැහැදිලි වේ. එබැවින් පවතින අභියෝගයට මුහුණදීම සඳහා අපි මතු දැක්වෙන යෝජනා ඉදිරිපත් කරමු.

 1. මෙවැනි දැවැන්ත අභියෝගයකට ජාතියක් ලෙස මුහුණදීමේ දී ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසනීයත්වය අතිශයින්ම තීරණාත්මක කාරණයකි. ජනමාධ්‍ය හෙළිකර ඇති පරිදි මෙන්ම අප විසින් අපගේ ආරංචිමාර්ගවලින් තහවුරු කර ගත් පරිදි කොරෝනා රෝගීන් ගණන සම්බන්ධයෙන් තොරතුරු චේතනාන්විතව විකෘති කිරීමක් ජාතික මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකර තිබේ. සංඛ්‍යාලේඛන විකෘති කිරීමෙන් මෙවැනි අභියෝගයක් විසඳිය හැකි යැයි යමෙක් කල්පනා කරන්නේ නම් එය විහිළුවකි. එබැවින් මෙම විකෘති කිරීමට සම්බන්ධ සියලූම නිලධාරීන්ට තරාතිරම නොබලා දඬුවම් කර ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කර ගැනීම ක්‍ෂණිකව ගතයුතු පියවරකි.

 2. දැනට සාර්ථකව සිදුකමින් පවතින එන්නත්කරණ වැඩසටහන දැනට භාවිත නොකරන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ සම්පත් ද භාවිත කරමින් තවදුරටත් වේගවත් කළ යුතුව ඇත. මේ සඳහා රෝහල් මෙන් ම සායන මධ්‍යස්ථාන ද භාවිත කළ හැක. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සහ විශ‍්‍රාමික සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද වෛi සිසුන් ද යොදාගත හැක.

 3. එන්නත්කරණ වැඩසටහනේදී රට පුරා සිටින අවුරුදු 60 ට වැඩි ජනගහනයට මෙන්ම කොවිඞ් රෝගයෙන් ජීවිත අවදානමට පත්විය හැකි රෝගවලින් පෙළෙන අයට ද ප‍්‍රමුඛතාවය ලබාදීමෙන් වේගයෙන් ඉහළ යන කොවිඞ් මරණ සංඛ්‍යාව පාලනය කිරීමට හැකිවනු ඇත.

 4. වෛරස් රෝග සඳහා දේශීය වෛi ක‍්‍රමය තුළ සාර්ථක පිළියම් ඇති බව අප කාගේත් අත්දැකීමකි. එබැවින් ආයුර්වේද සහ පාරම්පරික වෛi ක‍්‍රම බටහිර වෛi ක‍්‍රමය සමඟ ඒකාබද්ධ කර අන්තර් සම්බන්ධිත වෛi මෙහෙයුමක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කළ යුතුව ඇත.

 5. ජනතාව කොවිඞ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේ දැයි අධීක්‍ෂණය කිරීමට නීතිය ක‍්‍රියාත්මක කිරීමේ යාන්ත‍්‍රණයට අතිරේකව ආගමික නායකයන්, මහජන නියෝජිතයන් සහ ස්වෙච්ඡුා සංවිධාන නායකයන්ගෙන් සමන්විත මහජන කමිටු විවිධ තලවල පිහිටුවීම වඩාත් ඵලදායී වනු ඇත.

 6. මෙම අභියෝගය ජාතික ආපදාවක් බැවින් ඊට ජාතියක් ලෙස මුහුණදීම සඳහා සර්වපාක්‍ෂික යාන්ත‍්‍රණයක් සැකසිය යුතු බව අපි යෝජනා කරමු. ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ මෙන්ම ආර්ථික ක්‍ෂේත‍්‍රයේ ද විද්වතුන්ගෙන් සමන්විත විශේෂඳ කමිටුවක් ද පත් කළ යුතුය.

 7. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වන අතර රට අගුළුදැමිය යුතු යැයි අපි යෝජනා කරමු. ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග පිළිබඳ අප ද සංවේදීය. රට අගුළු දැමීමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳ අප දැනුම්වත්ය. නමුත් අවම වශයෙන් සති තුනකට රට අගුළුදැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමකට පහත හෙළීමට නොහැකි වන බව අපගේ විශ්වාසයයි. මීට පෙර රට අගුළු දැමූ අවස්ථාවලදී වාර්තා වන රෝගීන් ගණන පහත වැටුණු බව මෙහිදී අපි පෙන්වා දීමට කැමැත්තෙමු.

 වර්තමානයේදී රට විවෘතව පැවතුනත් නිරෝධායනය වන සහ රෝගයට බියෙන් තැතිගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇත. නමුත් රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක‍්‍රියාවලිය සමඟ මුසුවනු ඇත. එමෙන්ම ආර්ථික ක‍්‍රියාකාරීත්වය අඩපණ නොකර රට අගුළු දැමීම පිළිබඳ අතීත අත්දැකීම්වලින් අපට පාඩම් ඉගෙන ගැනීමට හැකිවනු ඇත.

 මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීමෙන්

 1. දැනට ශීඝ‍්‍රයෙන් ඉහළ යන ආසාදන චක‍්‍රය බිඳ දැමීමට හැකිවනු ඇත.

 2. මරණ සංඛ්‍යාව පහත වැටීමෙන් ජනතාව තුළ ඇති වී තිබෙන ආතතිය තුරන් වනු ඇත.

 3. රෝගීන් සංඛ්‍යාව පහත වැටීමෙන් සෞඛ්‍ය ප‍්‍රජාවට යම් අස්වැසිල්ලක් ලැබෙනු ඇත.

 4. ජනතාව ආත්ම විශ්වාසයෙන් සමාජයට මුසු වී වඩාත් සක‍්‍රීයව ආර්ථික ක‍්‍රියාවලියට දායක වනු ඇත.

 මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය කඩිනමින් යොමුකරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

උපාලි ද සේරම්, අනුර බාලසූරිය,  සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment