සති 6ක් ඇතුළත අලුත් අය වැයක් – ඉදිරි උද්ධමනය  40% දක්වා ඉහළ යාවි

377

මහ පාරවල්වල විරෝධතා වැඩි වේවි

ණය පැකේජයකට යන්න ෂඵත්‍ සමග සාකච්ඡා

සෞඛ්‍ය වියදම් කපන්නේ නෑ

වියදම් කපා ඉතිරි වන  මුදල් ජනතා සුබසිද්ධියට

අගමැති රනිල් රොයිටර් පුවත් සේවයට කියයි

සති 6 ක් තුළ අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කර යටිතල පහසුකම් ව්‍යාපෘතීන් කපාහැර එයින් ඉතිරි වන මුදල් විශේෂ ආර්ථික සහන වැඩපිළිවෙළක් වෙනුවෙන් යොදවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසී යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. මෙම ආර්ථික සහන වැඩපිළිවෙළ පුරා අවුරුදු දෙකක් තුළ ක්‍රියාත්මක වීමට නියමිත බව ද අගමැතිවරයා කියයි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරි කාලයේ උද්ධමනය තවදුරටත් වර්ධනය වනු ඇති බවටත් මහපාරවල වැඩි වැඩියෙන් විරෝධතා බලාපොරොත්තු වීමට සිදුවන බවත් අගමැති වික්‍රමසිංහ පවසා තිබේ. ඒ අතර සියලුම උද්ඝෝෂණකාරී තත්ත්වයන් කළමනාකරණය කරන බවත්, වියදම් කපාහැරීම තුළින් උපයන අරමුදල් ජනතාවගේ සුබසිද්ධියට යොදවන බවත් ඔහු තවදුරටත් පවසා තිබේ.

“ඉදිරි දවස්වල ආර්ථිකය තවදුරටත් බරපතළ වන නිසා උද්ඝෝෂණ ව්‍යාපාර හටගන්නවා ඇති. දුක්විඳින මිනිස්සු උද්ඝෝෂණ කිරීම ස්වභාවික තත්ත්වයක් වන අතර, ඔවුන් එසේ කළ යුතුමයි” රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අගමැතිවරයා පැවසීය. “එහෙත් මෙවැනි ක්‍රියා මගින් රටේ දේශපාලන පද්ධතිය අඩපණ වීමට ඉඩදිය යුතු නැහැ. ඉදිරියේදී ගෙන ඒමට යන අය වැය ලේඛනය මගින් වියදම් කපාහැරීම හැකි උපරිමයෙන් සිදුකොට එම මුදල් ජනතාවගේ සුබ සාධනය සඳහා යෙදවෙනවා ඇති.

“අපට රුපියල් ආදායම් පවා නැහැ. ඒ නිසා අලුතින් රුපියල් ටි්‍රලියනයක මුදල් මුද්‍රණය කළ යුතුව තිබෙනවා. ඒ අතර ඉදිරි මාසවලදී උද්ධමනය සියයට 40 කින් ඉහළ යෑමට නියමිතයි. මේ නිසා ආර්ථිකයට තව තවත් බර වැඩිවෙනවා ඇති” යි අගමැතිවරයා කීය.

පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 33.8 දක්වා ඉහළ නැග්ගේය. මාර්තු මාසයේ තිබූ උද්ධමනය සියයට 21.5 කි.

ජනතාවට සහන සැපයීම සඳහා මුදල් ඉතිරි කර ගැනීමේදී රාජ්‍ය අංශයේ වියදම් විශාල වශයෙන් කපාහරින බව අගමැතිවරයා කීවේය. “ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශයක වියදම් කොහොමටවත් කපන්න බැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වියදම් කැපීමට සිදුවන්නේ ඉතාමත් සීමාසහිත ලෙසයි. එහෙත් වියදම් කපාහැරිය හැකි අමාත්‍යාංශ ගණනාවක්ම රටේ තිබෙනවා” යනුවෙන් අගමැතිවරයා සඳහන් කළේය.

මේ අතර දැනට අඩාල වී තිබෙන රටේ මූල්‍ය පද්ධතිය නැවතත් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ණය පැකේජයකට යෑමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වීම රජයේ අරමුණ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය තිරසාර ණය පැකේජයක් වනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බව ද වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. රටේ ආර්ථික ව්‍යුහයේ සිදුකරන වෙනස්කම් මගින් ජාත්‍යන්තර ආයෝජකයන් කැඳවා ගැනීමට ද අපේක්‍ෂා කරන බව අගමැති වික්‍රමසිංහ පවසයි. “පිටරටවල සිටින අපේ මිතුරන්ගෙන් ආධාර ලබාගෙන රටේ ආහාර සැපයුම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට අපි අපේක්‍ෂා කරනවා. ලබන සතියේ චීන තානපතිවරයා හමු වී පොහොර සහ බෙහෙත් ලබා ගැනීමේ වැඩපිළිවෙළකට යෑමට ද අප සූදානම් වනවා“ යැයි ද අගමැතිවරයා පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment