සතුට අහිමිවීම නිසා මතුවන ආවේගශීලී බව

323

සතුට අප සියලුදෙනාම නිතර අපේක්‍ෂා කරන දෙයකි. සතුට ඇති තැන බලාපොරොත්තු ඇති වේ. සිරුර ප්‍රබෝධමත්ව පවතී. මනස සැහැල්ලු වේ. සතුට නැති විට බලාපොරොත්තු සුන් වේ. මානසික පීඩාවන් මතුවේ. සිරුරේ අලසබවක් ඇති වේ.

 මේ වනවිට අප රටේ ජනතාව මුහුණ දී සිටින්නේ ද එලෙස සතුට අහිමි වූ බලාපොරොත්තු සුන් වූ සමාජ පසුබිමකය.

 මීට වසර දෙකකට පමණ පෙර ගෝලීය වසංගතයක්ව මතු වූ කොවිඩ් වසංගතය හමුවේ මාරාන්තික බියකට පත්ව දිවි ගෙවූ ජනතාව ඉන් දැඩි ලෙස මානසික පීඩාවනට පත්වූහ. ඉන් සහනයක් ලබන්නටත් පෙර රටතුළ දැවැන්ත ආර්ථික කඩාවැටීමක් නිසා මතුව ඇති එදිනෙදා ජීවිතය ගෙවා ගන්නට බැරි ගැටලු රැසකට මුහුණ දීමට ජනතාවට සිදුව ඇත.

 සෑම සමාජ මට්ටමකම ජීවත්වන ජනතාවට දැඩිව දැනෙන අයුරින් මෙම ආර්ථික ගැටලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සපයා ගැනීමේ දුෂ්කරතා වර්ධනය වී තිබේ. මෙම ගැටලු දරාගත නොහැකි වීම නිසා මේ වනවිට රටේ ජනතාව තම ආවේගය පිටකිරීමට පටන්ගෙන ඇත. එය විරෝධතාවන් දක්වමින්, උද්ඝෝෂණ පෙළපාළි පවත්වමින්, මාර්ග අවහිර කරමින්, රජයට සහ වගකිව යුතු මැති ඇමැතිවරුන්ට දෝෂාරෝපණය කරමින් සිදුකරනු ලබයි.

 මෙම ආවේගයන් පිටකරන්නට

 පටන්ගෙන ඇත්තේ ඉවසා ගැනීමට නොහැකි සීමාවට පැමිණීමත් සමගය. එනම් මේ පිට කරන්නේ ජනතාව තුළ මතුව ඇති මානසික පීඩනය බව අප වටහා ගත යුතුය.

 ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතාවන් අහිමි වන විට, තම දූ දරුවනට, දෙමාපියනට කන්න බොන්න දීමට නොහැකි වනවිට නිවසේ මෙතෙක් ගතකළ සාමාන්‍ය දිවියට බාධා වන අයුරින් ගෑස්, විදුලිය, ආහාරපාන සපයා ගැනීමට නොහැකි වනවිට ජනතාව තුළ දැඩි මානසික අසහනකාරී තත්ත්වයක් මතු වේ. එය දිනක් දෙකක් නොව මාස ගණනාවක් පැවතීමත්, මෙම ගැටලු විසදෙන දිනයක් ගැන විශ්වාසයක් ඇති නොවීමත් නිසා ජනතාවගේ මානසික පීඩනය උත්සන්න වී ඇත. මෙවැනි පසුබිමක ඔවුනගේ ශරීර සෞඛ්‍යය පිරිහීමට ලක්වීමටත් බෝ නොවන ගණයේ රෝගවලට ගොදුරු වීමටත් ඇති ඉඩකඩ වැඩි වේ.

 එනිසා මෙම කාල වකවානුවේදී සෑම තරාතිරමකම පසුවන ජනතාව වයස් භේදයකින් තොරව තම ශරීර සෞඛ්‍ය ගැන අවධානය යොමු කළ යුතුය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ගැන සැලකිලිමත් විය යුතුය. හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා ආදියෙන් පෙළෙන පුද්ගලයන් තම රෝග පිළිබඳව වෙනදාට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. මන්ද යත් පවතින මානසික පීඩාවන් නිසා මෙම රෝග උත්සන්න වීමට ඇති ඉඩකඩ වැඩිය. එසේම පවතින පීඩනය නිසා මානසික ආතතියට පත්වීම ඉතා පහසුවෙන් සිදුවේ. බොහෝ දෙනා නිතර ආවේගශීලීව කතා කරන්නේ, කෝපයෙන් සිටින්නේ එබැවිනි. මෙය අප කොයි කවුරුත් වටහා ගත යුතුය. ඒ නිසා මේ මොහොතේ යම් පුද්ගලයෙක්

 ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරයි නම් නොසන්සුන්ව හැසිරෙයි නම් ඔවුන් කෙරෙහි වෛරයෙන් කෝපයෙන් නොව ඉවසීමෙන්, කරුණාවෙන් යුක්තව කටයුතු කළ යුතුය. එසේම මේ මොහොතේ දෙමාපියන් සහ වැඩිහිටියන් ද තම දූ දරුවන් කෙරහි වෙනදාට වඩා අවධානයක් යොමුකළ යුතුය. දැරුවන් දිවි ගෙවන්නේ අර්බුදකාරී පරිසරයකය. එනිසා ඔවුනගේ සිත්හි ඇතිවන ආවේගශීලී බව වෙනදාට වඩා වැඩිය. බෝ නොවන රෝගාබාධ සහිත පුද්ගලයන් එම රෝග පාලනය සඳහා ගනු ලබන ඖෂධ නිසි පරිදි ගෙන රෝග පාලනය සඳහා වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය. විශ්වවිiාල සහ උසස් අධ්‍යාපනය ලබන මට්ටමේ සිටින තරුණ තරුණියන් තමා තුළ මතුවන ආවේග ප්‍රකෝපකාරී ලෙස පිට නොකර සාමකාමී ලෙස සහ බුද්ධිමත්ව පිටකළ යුතුය.

 එය ප්‍රචණ්ඩත්වයට, අවි ආයුධ භාවිතය දක්වා වර්ධනය වන්නට ඉඩ නොදී ආදහස් ප්‍රකාශ කිරීම මගින් තම ආවේගය පිට කිරීමට යොමුවිය යුතුය. එසේම මානසික පීඩාවන් අවමකර ගැනීම සඳහා සැහැල්ලු සිතින් මෙම ගැටලු විසඳා ගැනීමට උනන්දු විය යුතුය.

 මෙය තනිව තමාට පමණක් මතු වූ ගැටලුවක් නොව රටට මතුව ඇති පොදු ගැටලුවක් බව වටහාගෙන පෞද්ගලිකව මානසික බැඳවැටීමක් ඇතිකර ගැනීම වළක්වා ගත යුතුය.

සතුට අහිමිවීම නිසා මතුවන ආවේගශීලී බව

advertistmentadvertistment
advertistmentadvertistment