සතුට යනු කුමක්ද?

941

සතුට යනු කුමක්ද? ලෝකයේ පවතින විවිධ දේවල්වල ප්‍රමාණය මැනීම සඳහා දර්ශක තිබේ. සමහර දර්ශකයක් මගින් මනින්නේ කිසියම් රටක ආහාර සුරක්‍ෂිතතාවයි. තවත් රටක මන්දපෝෂණය මැනීමට දර්ශක තිබේ. කෑම අපතේ යැවීම සම්බන්ධයෙන් ද දර්ශක ඇත. එසේම උද්ධමනය, අවධමනය වැනි ආර්ථික ප්‍රවණතා මැනීම සඳහා ද දර්ශක තිබේ. ඒ අතර මනුෂ්‍යයාගේ සතුට මැනීම සඳහා ද දර්ශකයක් ඇත. ලෝකයේ කවර රටක ජනයා කොතරම් සතුටින් සිටීද යන්න සෙවීමටත් ලෝකයේ සතුටින්ම සිටින රටවල් සතුටේ ප්‍රමාණය අනුව පෙළගැස්ම සඳහාත් දර්ශක තිබේ. එය සතුටුදර්ශකය යනුවෙන් හඳුන්වනු ලැබේ. 2023 ලෝක සතුටු දර්ශක වාර්තාව නොබෝදා නිකුත් විය. එම වාර්තාවට අනුව ලෝකයේ රටවල් 146 අතුරින් 127 වන තැනට ගිය අවුරුද්දේ පැමිණි ශ්‍රී ලංකාව අද වන විට 112 වැනි ස්ථානයට පැමිණ තිබේ. එනම් මේ වසරේදී අප ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ ඇත. තවත් විදිහකින් කිවහොත් අපේ දුක යම් ප්‍රමාණයකට අඩු වී තිබේ.

දුක යනු කුමක් ද? බුදු දහමට අනුව දුක යනු චතුරාර්ය සත්‍යයට අයත් ප්‍රධාන අංශ හතරෙන් එකකි. දුකට හේතුව සොයාගෙන දුක නැතිකළ යුතු බව තහවුරු කරගෙන දුක නැති කිරීමේ මාර්ග සොයාගත් කල ජීවිතය ජය ගැනීමට අපට හැකි බව බුදුදහම මගින් පෙන්වා දෙනු ලැබේ. දුක නැතිකිරීමේ මාර්ගය වූ කලී ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යුරෝපයේ රටවල් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන නොදනිති.

ලෝකයේ වැඩිපුරම සතුටින් සිටින රාජ්‍යය වන්නේ පින්ලන්තයයි. පින්ලන්තය වසරේ වැඩි කාලයක් සෙල්සියස් අංශක 20 කට අඩු කටුක සීතලක් ඇති හිරු එළිය පවා හරිහැටි නොලැබෙන රටකි. පසුගිය අවුරුදු හයේම ලෝකයේ සතුටින් සිටින රට බවට පත්ව ඇත්තේ පින්ලන්තයයි. පින්ලන්ත භූමියෙන් 75% කට වඩා ගස්වලින් වැසී ඇත. මෙයින් හැඟී යන්නේ ඒ රටේ දේශපාලනඥයන් සහ එකී දේශපාලනඥයන්ට වියදම් කරන ලී මුදලාලිලා නැති බවය. ලංකාව වැනි රටක 75% වන ගහනයක් තිබුණේ නම් ඒ කෑල්ල ඉඩම පිටින්ම වෙන්කරගෙන වෙනත් රටකට විකුණා දමනවා ඇත. ලොව දියුණුම පාසල් ක්‍රමයත් ඇත්තේ පින්ලන්තයේ ය. ලොව වැඩිම ජලසම්පත් ප්‍රමාණයක් ඇත්තේ ද පින්ලන්තයේ ය. මේ රටේ විල් එක්ලක්‍ෂ අසූඅටදහසක් තිබේ. ඒවා මිරිදිය මත්ස්‍ය සම්පත්වලින් බහුලය. මිරිදිය මසුන් තුළ ඔමේගා 3 නමැති පදාර්ථය තිබේ. ඒ පදාර්ථය මගින් ශරීර ශක්තිය දියුණු කිරීමත්, මොළය වර්ධනය කිරීමත් සිදුවේ. මේ සියලු කරුණු සලකා බලන කල්හී පින්ලන්තය මෝඩයන්ගේ රටක් නොව බුද්ධිමතුන්ගේ රටක් බව පැහැදිලිය. බුද්ධිමතුන් බහුලව සිටින රටක සතුට දෝරේ ගැලීම ඉතා සාමාන්‍ය ය.

සතුට යනු කුමක්ද? සමහරු මත්පැන් පානය කර සතුටු වෙති. තවත් සමහරු රති කෙළියෙහි යෙදී සතුටු වෙති. තවත් අය මුදල් ඉපයීම, දේපළ රැස්කිරීම, අනුන්ට අංචි ඇදීම, පෙත්සම් ගැසීම යනාදියෙන් සතුට ලබති. මේ සියල්ල සැබෑ සතුට නොව කුණු සතුට ලෙස හැඳින්වීමට පුළුවන. සැබෑ සතුට යනු කුමක් ද? එය චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තා හා සමාන මානසික සතුටකි. එකී අවබෝධය තුළදී එම අවබෝධය ලබන තැනැත්තා හෝ තැනැත්තිය කසාද බැන්දත් සතුටුය, නොබැන්දත් සතුටුය. අතේ සල්ලි තිබුණත් සතුටුය, නැතත් සතුටුය. දේපළ යාන වාහන තිබුණත් සතුටුය. නැතත් සතුටුය. බඩගින්නේ සිටියත් සතුටුය, බඩ පිරී සිටියත් සතුටුය. මෙසේ සතුටුවන්නා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් ආධ්‍යාත්මික බලයක සිටින කෙනෙකු හා සමාන වෙයි. අපේ රටේ ජනයා කිසි දිනෙක සතුටු දර්ශකයේ මුල්තැනට පත්වන බවක් නොපෙනේ. කසඩ වැඩ කරන මිනිසුන්, බේබද්දන්, මංපහරන්නන් සහ ස්ත්‍රී දූෂකයන් බහුල මෙවැනි රටක අරක්කු බෝතලයකින් හෝ වංචනික වැඩකින් සතුට ලබන අය බහුලය. සතුට හඳුනාගැනීම යනු වෙනම වැඩකි. සතුට අත්පත් කර ගැනීමට පෙර සතුට යනු කුමක්ද යන්න හඳුනාගත යුතුය. එය අපට හඳුන්වාදීමට තරම් සුදුසුකම් ලත් ගුරුවරු මේ රටේ නැත. එය අපගේ අවාසනාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment