සතුන් සපාකෑමෙන් රෝගීන් 16ක් දිනපතා ඇතුළත්වෙන – කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ජලභීතිකා එන්නත් නෑ

235

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ජලභීතිකා රෝග සත්කාරයට අවශ්‍ය එන්නත් නොමැතිවීම නිසා රෝගීන් ගැටලු රැසකට ලක්ව ඇත.

මෙම තත්වය නිසා රෝහලේ ජලභීතිකා ප්‍රතිකාර ඒකකය සඳහා පැමිණෙන  රෝගීන්ට එන්නත ලබාගැනීම සඳහා උඩුගම, ඇල්පිටිය, බද්දේගම යන රෝහල් සඳහා යෑමට සිදුවී ඇති බැව් රෝගීහු පවසති. දකුණු පළාතේ ඇති ප්‍රධානතම රෝහලවන කරාපිටිය ශික්ෂණ රෝහලේ ජලභීතිකා ප්‍රතිකාර ඒකකයට සුනඛයින් ඇතුළු ක්ෂිරපායි සතුන් සපාකෑමෙන් දිනකට රෝගීන් 16 දෙනෙකු පමණ පැමිණෙන අතර ඉන් රෝගීන් 06 දෙනකුට පමණ අවම වශයෙන් ජලභීතිකා එන්නත ලබාදිය යුතුවේ. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා මාසික ජලභීතිකා එන්නත් අවශ්‍යතාව 417කි.

මේ පිළිබඳ අප කළ විමසුමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්. ඩී. යූ. එම්. රංග මහතා සඳහන් කළේ ජලභීතිකා එන්නත අවසන් වී ඇති බැවින් පැමිණෙන රෝගීන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජලභිතිකා එන්නත් ඇති වෙනත් මුලික රෝහල් වෙත යොමුකිරීමට කටයුතුකර ඇති බවය.

2022 වර්ෂයට අදාළව ජලභීතිකා එන්නත් මිලදී ගැනීමේ ඇණවුම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත 2021 මාර්තුමස 17 වැනි දින ලැබී තිබුණි. එහෙත් මෙකී ඇණවුම සැපයුම්කරු වෙත ප්‍රදානය කොට ඇත්තේ ඉන් මාස 12කට පමණ පසු 2022 මාර්තුමස 24 වැනිදින බව ජාතික  විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment