සතෙකුටත් නැති අමන ගති පෑ… කුකුල් චමින්ද හිරේ…

434

ළමා හිංසනය ගැන රටක් හඬ නැඟූ කතාව…

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලය තුළ සැරිසරන්නට වූයේ බොහෝ අන්දෝලනාත්මක වීඩියෝ දර්ශනයකි. ඒ යම් තැනැත්තකු විසින් කුඩා දරුවකුට සාහසික අයුරින් පහර දෙන වීඩියෝවකි. මේ වීඩියෝව දුටු හැම කෙනකුගේම මුවින් පිටවන්නට වූයේ “මේ තිරිසනාව නම් තියන්නට වටින්නෙ නෑ.. පවු දෙයියනේ දරුවා..” ආදී කියමන්ය. දුටුවකුගේ පපුව කඩාගෙන යන තරමේ මේ අධම පුද්ගලයා දරුවාට දඬුවම් කරන ආකාරයද ඉතාමත්ම ම්ලේච්ඡය.

මෙම වීඩියෝව පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ජාලයේ ඉතාමත් වේගයෙන් සංසරණය වන්නට වූ හෙයින් මේ සම්බන්ධ රටේ කාගේත් ඇස ගැටෙන්නටද විය. එමෙන්ම පැය කිහිපයක් ඇතුළත මෙම වීඩියෝ දර්ශනයට සැලකිය යුතු ජනතා විරෝධයක්ද එල්ලවන්නට විය. මෙම දර්ශනය නැරඹූ බොහෝ අය කීවේ මේ තිරිසනාව කෙසේ හෝ අල්ලා දැඩි දඬුවම් දිය යුතු බවය. බොහෝ අය සෙව්වේ මේ නරුමයා කිනම් ප්‍රදේශයක ජීවත්වන්නකුද යන්නය. කෙසේ හෝ මෙම වීඩියෝව කිසිවකු විසින් වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට වට්ස්ඇප් ඔස්සේ යොමුකරන්නේ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන්නටය. එහිදී වැලිඔය ස්ථානාධිපතිවරයාද මේ වීඩියෝව නරඹා මෙම දරුවාට අමානුෂික ලෙස පහර දෙන පුද්ගලයා තම වසමේ බවට සැකකරමින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට විමර්ශනයක් ඇරඹීය.

ඉතාමත් කෙටි කාලයක් තුළ මෙම වීඩියෝ දර්ශනය ප්‍රසිද්ධ වීම නිසා පොලිසියේ උසස් නිලයන් හොබවන නිලධාරීන්ගේද අවධානය ඊට යොමුවිය. මේ අතර විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද මේ කියන වීඩියෝව නරඹා බොහෝ සංවේදී වන්නට විය. සැකකරුට එරෙහිව පවත්වන පරීක්‍ෂණ කෙමෙන් පුළුල් වන්නටද වූයේ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද එම වීඩියෝ නැරඹීමෙන් පසු මේ පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ කාර්ය බළකායේ පුල්මුඩේ කඳවුර භාර පොලිස් පරීක්‍ෂක කුලතුංගට නියෝග දීමෙනි. ඒ කෙසේ හෝ මෙම සැකකරු කොටුකර ගන්නා ලෙසය.

මේ අනුව පොලිස් පරීක්‍ෂක කුලතුංග වැලිඔය පොලිස් ස්ථානාධිපති ලක්මාල් හමුවීමට යන්නේ මෙවන් රාජකාරි තුළ බොහෝ අත්දැකීම් වලින් සපිරි නිලධාරීන් කිහිපදෙනකුද සමඟය.

මේ වනවිට වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ පරීක්‍ෂණයට අනුව දරුවාට පහර දෙන පුද්ගලයා හඳුනා ගනු ලැබීය. ඒ වැලිඔය දෙවැනි පියවර කල්‍යාණපුර පදිංචි කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද යන අයකු බවද තහවුරු කර ගැනීමෙනි. එහිදී සොයාගත් තොරතුරු අනුව මේ කියන කුකුල් චමින්දට ස්ථිර රැකියාවක් නොවීය. තැන තැන කුලී වැඩ කරමින් ලැබෙන මුදලින් ඔහු කර ඇත්තේද පදමට කසිප්පු ගැසීමය. කාන්තා ඇසුරටද මේ කියන පුද්ගලයා දැඩි ඇල්මක් දැක්වූවකුද බව පොලිසියට ලැබෙන තොරතුරු මගින් අනාවරණය වන්නටද විය. කෙසේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව තුළ කුකුල් චමින්දගේ රුව මනා ලෙස සටහන්ව තිබූ හෙයින් ඔහු කොටුකර ගැනීම අපහසු කාරණාවක්ද නොවන බව පොලිස් නිලධාරීන් දැනගෙන සිටියහ.

ඊට අමතර පොලිසියට ලැබෙන්නේ කුකුළු චමින්දට නිල් පැහැති ත්‍රිරෝද රථයක්ද තිබෙන බවය. ඉන් පසු පොලිස් ඇස යොමුවන්නේ කුකුල් චමින්දගේ මුල් ගම වෙතය. ඉන් පසු වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම චමින්ද පදිංචිව සිටි වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ නිවස වෙත සොයා ගියද ඒ වන විටද නිවසේ දොරගුළු වසා දමා තිබිණි. වැලිඔය අවට ප්‍රදේශයේ ලඳු කැලෑවන්ද පීරමින් පොලිස් නිලධාරීන් කුකුළු චමින්ද සෙවූහ. එනමුත් කිසිදු තැනකද චමින්ද නොසිටියේය. පසුව දැනගන්නට ලැබුණේ සිය බිරින්දෑවරුන්ද සමඟ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවය.

අදාළ සැකකරු පලාගියද පොලිස් විමර්ශන ඉන් නොනැවතිණි. වැලිඔය ප්‍රදේශයේ චමින්ද නොසිටියද ඔහු භාවිත කළ ජංගම දුරකථන අංක දෙකක් විමර්ශන නිලධාරීන් වෙත ලැබෙන අතර ඉන් පසු සිදුවූයේ එම අංක දෙක ඔස්සේ විමර්ශන ඇරඹීමය. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු එම අංක ඔස්සේ ලබාගත් විශ්ලේෂණ වාර්තා අනුව පෙනීගියේ ඔහු සැරිසරන්නේ වැලිඔය නොව පුල්මුඩේ ප්‍රදේශයේ බවය.

ඉන් පසු මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නුවන් තරංග ඇතුළු කණ්ඩායමද මෙම විමර්ශනය සඳහා එක්විය. පසුව පොලිස් කණ්ඩායම් තුන පුල්මුඩේ දක්වා පිටත්ව ගොස් එම ප්‍රදේශයේ ජනතාවට අදාළ වීඩියෝ දර්ශන පෙන්වමින් දරුවාට පහර දෙන පුද්ගලයා හඳුනාගැනීම සහය දෙන ජනතාව දැනුවත් කළේය. කුකුළු චමින්ද පුල්මුඩේ වෙසෙන බවට නිලධාරීන්ට තහවුරු කර ගැනීමට බෙහෙවින් උපයෝගී වූයේද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලබාදුන් තොරතුරුය.

සැකකරු සොයා පසුගිය හතර වැනිදා සවස 4 ට පමණ වැලිඔය ප්‍රදේශයෙන් ආරම්භ කරන ලද මෙහෙයුම පුල්මඩුඩේ දක්වා විහිදී ගියේය. පසුගිය 4 වැනිදා රාත්‍රිය එළඹෙත්දීම පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුවන්නේ බස් රථ දෙකක් පිළිබඳවය. එනම් අදාළ බස් රථ දෙකෙන් එකක සැකකරු පුල්මුඩෙන් පලායෑමට සැලසුම් කර ඇති බව ලැබෙන තොරතුරක් අනුවය. මෙම බස් රථ වලින් එක් බස් රථයක් රාත්‍රී නවයට පුල්මුඩේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබිණි. අනෙක් බස්රථය රාත්‍රී දහයට පුල්මුඩේ සිට මීගමුව හරහා කොළඹ බලා ධාවනයට තිබූ බස් රථයයි. මේ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළේ අදාළ බස් රථ මාර්ග දෙක ආවරණය වන පරිද්දෙන් බැරියර් දමා අදාළ බස් රථ පරීක්‍ෂා කොට කුකුළු චමින්ද අල්ලා ගැනීමටය. එහෙත් එම බස් රථ දෙකම පරීක්‍ෂා කළද විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කුකුළු චමින්ද හමු නොවීය.

මේ අතර වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයාටද ඇමතුම් ගලා එන්නට විය. එහි එක් ඇමතුමකින් පුද්ගලයකු පවසන්නට වූයේ “සර්…. ඕකා හොඳටම බොන එකෙක් … ඔය පුල්මුඩේ පැත්තේ බාර් එකක් ඇති… ගියොත් අල්ල ගන්න පුළුවන්.. ” කියාය.

සතෙකුටත් නැති අමන ගති පෑ… කුකුල් චමින්ද හිරේ…

එහෙත් පොලිසිය එහි ගොස් සොයා බැලීමේදී පුල්මුඩේ ප්‍රදේශයේ බාර් එකක්ද නොවීය. කෙසේ හෝ දුරකථන විශ්ලේෂණ වාර්තා වලට අනුව කුකුල් චමින්ද සොයා ගැනීම සඳහා කල්අරාවත්ත, තිරියාය ප්‍රදේශවල මෙහෙයුම් දියත් කිරීමට පොලිස් පටන් ගත්තේය. එම ප්‍රදේශද කුච්චිවේලි පොලිස් වසමට අදාළ ප්‍රදේශ වූ හෙයින් එම ප්‍රදේශවල ප්‍රජා පොලිස් කමිටුවලද ආධාරයෙන් වීඩියෝ දර්ශන පෙන්වමින් කුකුල් චමින්ද සෙවීය. එම වීඩියෝ නැරඹූ එම ප්‍රදේශවල පදිංචිකරුවන්ද බොහෝ කම්පාවට පත්ව සැකකරු අල්ලා ගැනීමට බොහෝ අයද ඉදිරිපත් විය. ඉන්පසු පුල්මුඩේ සිට කිලෝමීටර් 7 ක් වන්නට ඈතින් පිහිටි තිරියාය ප්‍රදේශයේ කුකුල් චමින්ද රැඳී සිටින බවටද දුරකථන වාර්තා අනුව සැකකරු එම ප්‍රදේශයෙන් බලා නොගොස් ඇති බවට පොලිසිය තහවුරු කර ගත්තේය.

සැකකරු ගැන විමසීමේදී අයෙක් මෙසේ කියන්නටද විය.

“සර් ඔය මිනිහා මෙතනින් නිල් පාට ත්‍රීවීල් එකක යනවා දැක්කා” එහිදී ලැබුණ මෙම තොරතුරු පොලිස් නිලධාරීන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් විය. ඒ අනුව තිරියාය අවට නිවෙස් නිරීක්‍ෂණය කරමින් රාත්‍රිය පුරාම චමින්ද සොයන්නට විය. මධ්‍යම රාත්‍රියද පසුව තිබියදී පොලිස් කණ්ඩායම්වලට තිරියාය ප්‍රදේශයේ ගේට්ටුවක් සහිත නිවසක් පරීක්‍ෂා කිරීමේදී දැකගතහැකිවූයේ නිල් පැහැති ත්‍රිරෝද රථයක්ද නිවෙස ඉදිරිපිට නවතා තිබෙන බවය. පොලිස් නිලධාරීන් කළ සොයා බැලීමේදී නිරීක්‍ෂණ වූයේ චමින්ද ඇතුළු කාන්තාවන් දෙදෙනාද දරුවාද එම නිවසේ කාමරයක් තුළ නිදාසිටින ආකාරය ය. එහි දොරට තට්ටුකොට නිදා සිටි කුකුළු චමින්ද ඇහැරවා ගන්නට පොලිසිය කටයුතු කරන්නේ මින් අනතුරුවය. එහිදී නිවසේ දොර විවෘත කරන්නට ද කුකුළු චමින්ද එන්නේද නිරුවතිනි. දරුවකුට අමානුෂිකව පහරදුන් කුකුළු චමින්ද නීතියට කොටුවන්නේ එලෙසය.

“සර් අපට සමාවෙන්න වැරැද්දක් වුණා” එතන සිටි කාන්තාවක් පොලිස් නිලධාරීන්ට කියන්නට විය.

පොලිස් නිලධාරීන් එතන සිටි දරුවාගෙන් ප්‍රශ්න කළ දරුවාද කිසිවක් නොකියන්නට විය.

“සර් මම අඩියක් ගහන්න ගියා.. මේ ගෙදර හොයල දීපු අයියත් එක්ක ගියේ. බීල ඇවිල්ල තමයි නිදාගත්තේ.. මම හිතුවෙ නෑ සර්ලා මෙහෙටත් එයි කියලා…”

කුකුළු චමින්ද බැගෑපත්වන්න විය.

එහිදී අවුරුදු හතර හමාරක් පමණ වයසැති දැරිය නිලධාරීන් භාරයට ගත් අතර සැකකරු සමඟ රැඳී සිටි කාන්තාවන් දෙදෙනාද පොලිස් අත්අඩංගුවට ගැණිනි. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පසුවූයේ මෙම පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.

පොලිසිය සැකකාර පුද්ගලයාගෙන් හා අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මෙම දරුවාට පහරදීමට හේතුව වූයේ ඔවුන්ට හොරෙන් ගෙදර තිබූ බෝතලේ සීනි කෑමය.

එහිදී මෙම සිද්ධියට අදාළ සැකකරු හා සැකකාරියන් වැලිඔය පොලිසිය වෙත භාර කෙරුණු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැලිඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලක්මාල් එඹලගම ඇතුළු කණ්ඩායමක්ද විශේෂ කාර්ය බළකායේ පුල්මුඩේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්‍ෂක කේ. ඒ. ඩී. එස්. කුලතුංග ඇතුළු කණ්ඩායමක්ද, පුල්මුඩේ කොට්ඨාස අපරාධ විමර්ශන පරීක්‍ෂක නුවන් තරංග ඇතුළු කණ්ඩායමක්ද මෙම මෙහෙයුමට එක්විය.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment