සතොස මගඩියේ තවත් රහස් එළියට – කෝටි 2 1/2ක සුදුලූනු ලක්‍ෂ 74ට විකුණලා – සතොස සහ පිටත ඉහළ පිරිසකගේ අනුහසින් කාලයක සිට කළ ජාවාරමක්

307

* සුදු ලූනු කිලෝ 56000 ක් සතොසෙන් පන්නලා – ඊයේ දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළමු හෙළිදරව්ව

සතොසට සුදුලූනු ගෙන්වන මුවාවෙන් රුපියල් කෝටි දෙකහමාරක් වටිනා සුදුලූනු කිලෝ 56,000 ක් ගෙන්වා පෞද්ගලික ආයතනයකට ඒවා ලබාදී ඇත්තේ රුපියල්  ලක්‍ෂ 74 ක් වැනි මිලකට යැයි පාරිභෝගික අධිකාරිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.

සතොස මගඩියේ තවත් රහස් එළියට - කෝටි 2 1/2ක සුදුලූනු ලක්‍ෂ 74ට විකුණලා - සතොස සහ පිටත ඉහළ පිරිසකගේ අනුහසින් කාලයක සිට කළ ජාවාරමක්

සුදු ලූනු තොගය මෙරටට පැමිණි අවස්ථාවේ රේගුවේදී පරිභෝජනයට සුදුසු යැයි පවසා සතොස නිලධාරීන් විසින් ඒවා වැලිසර ගබඩාවට රැුගෙන ඒමෙන් පසු පරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කර ඇතැයි විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘‘දිවයින’’ට පැවසීය.

පසුව එම සුදුලූනු කිලෝ 56,000 ක තොගය කන්ටේනර් දෙකක අසුරා වැලිසර ගබඩාවෙන් පිටකර ඇත. පාරිභෝගික අධිකාරිය ඒ පිළිබඳව විමර්ශන සිදුකිරීමේදී එම සුදුලූනු තොගය පෞද්ගලික ආයතනයකට අලෙවි කර ඇතැයි හෙළි කරගත් බවද එම නිලධාරියා කීය.

මෙය සතොස සහ ඉන් පිටතට ඉහළම පිරිසකගේ සහාය ඇතිව දීර්ඝ කාලයක සිට රජයට කෝටි ගණනින් බදු අහිමි කරමින් සිදුකර ගෙන ගිය ජාවාරමක් බවත් මේ වනවිට ඒ සම්බන්ධයෙන් තොරතුරු රැුසක් ජනාධිපතිවරයාට ලබාදී ඇති අතර විමර්ශන අපක්‍ෂපාතීව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.

සතොසට භාණ්ඩ ගෙන්වීමේදී තීරු බදු අය නොකරන බවත් සතොසට ගෙන එන මුවාවෙන් භාණ්ඩ ගෙන්වා පසුව පෞද්ගලික ආයතනවලට විකිණීම මීට පෙර සිදුකර ඇති බවත් එහිදී රටට ගෙන ඒමට තහනම් කර ඇති උඳු ගෙන්වා මේ ආකාරයෙන් පිටකර ඇති බවට ලැබී තිබෙන තොරතුරු අනුව විමර්ශනද සිදුකරන බවත් එම නිලධාරියා පැවසීය. මේ ආකාරයෙන් පාන්පිටි ඇතුළු තවත් භාණ්ඩ රැුසක් සතොසට ගෙන්වා පසුව අලෙවිකර ඇති බවට තොරතුරු ඇතැයිද එම නිලධාරියා අවධාරණය කළේය.

මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන යන බවත් යම් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නිලධාරීන් පිරිසක් නීතිය හමුවට යොමු කළද ඔවුන් මීට පෙර මෙවැනි චෝදනාවලට ලක්වී වැඩ තහනමට ලක්වී නැවත සේවයේ පිහිටු වූවන් බව පෙනී යන බවත් කී එම නිලධාරියා එම පිරිසට නීතිය ක‍්‍රියාත්මක වන අතරවාරයේ තවත් එවැනි චෝදනාවලට ලක්ව වැඩ තහනමට ලක්වී ඇති තවත් පිරිසක් නැවත සේවයේ පිහිටුවා මෙම ජවාරම කරගෙන ගොස් ඇති බවද කීය.

මේ වනවිට සුපිරි වෙළෙඳසල්වල සුදුලූනු කිලෝවක් රු. 350 කට අලෙවි කෙරෙන අතර සතොස විසින් පෞද්ගලික ආයතනයට සුදුලූනු තොගය ලබාදී ඇත්තේ රුපියල් 135 ක් වැනි මිලකට බව විමර්ශනවලදී හෙළි වූ බවද එම නිලධාරියා කීය.

මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් සුළු නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් මේ පිටුපස සිටින මහා පරිමාණ නිලධාරීන් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment