සතොස සුදුලූනු පලහිලව්ව වරද කාගේද?

333

නිසි ක‍්‍රමවේදයකින් බැහැරව පුද්ගලික තොග වෙළෙඳ ආයතනයකට සුදු ලූනු කිලෝ 54860 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිරි පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන අද (21 දා) දක්වා රිමාන්ඞ් කරන ලදැයි පුවතක් පසුගිය (16 දා) වාර්තා වූ අතර පසුදින ජනමාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කරනු ලැබීය.

 මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන කණ්ඩායම් විසින් කරන ලද පරීක්‍ෂණයකදී පහත සඳහන් කරුණු හෙළිවී තිබේ. එනම්,

 1. සුදු ලූනු අලෙවිය පිළිබඳව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා කියන පරිදි ඉල්ලා අස්වන ලෙසට ඔහුට බලපෑම් කෙරී ඇත. එහෙත් තමා පත්කරන ලද්දේ ජනාධිපතිතුමා විසින් නිසා ඉල්ලා අස්වීම භාර නොදෙන බව ඔහු සඳහන් කර තිබේ. මේ බලපෑම් කාගෙන් සිදුවන්නේද යන්න ගැන පොලිසිය පරීක්‍ෂණ පැවැත්විය යුතුය.

 2. සුදු ලූනු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් නිසි ලෙස සිදුකර ඇති බව නොපෙනේ. මේ ගනුදෙනුව පිළිබඳ සතොස ඉහළ නිලධාරීන් දැනුවත් කර නැති බව පොලිසිය විසින් ගරු අධිකරණයට දන්වනු ලැබ තිබිණ. එහෙත් ලංකා සතොස ප‍්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ සහ සභාපති ආනන්ද පීරිස් යන මහත්වරුන් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුලසිට අග දක්වාම දැනුවත් කළ ආකාරය ඔප්පු කළ හැකි ඊමේල් මාලාවක් තිබේ. සුදු ලූනු ගනුදෙනුව ප‍්‍රමාද වන විට එම ප‍්‍රමාදය සිදුවන්නේ ඇයිද යනුද විමසමින් ප‍්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතා ලක් සතොස නි. සාමාන්‍යාධිකාරී (ප‍්‍රසම්පාදන) චමිලා අසුරමාන්න වෙත යවන ලද ඊමේල් පණිවුඩයක් පවා තිබේ. ඒ අනුව ලක් සතොසේ ඉහළ කළමනාකාරීත්වය මේ ගනුදෙනුව නොදැන සිටි බවට පොලිසිය කියන කතාව සාවiය.

 ඒ අතර සුදු ලූනු මිල සම්බන්ධයෙන් චමිලා අසුරමාන්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සැපයුම්) ආර්. එස්. ප‍්‍රනාන්දු දැනුවත් වී නොසිටි බව පොලිසිය ගරු අධිකරණයට දන්වා තිබේ. එයද පදනම් විරහිතය. ලංකා සතොසේ LSL/TRO/LOGISTICS/2021/09/05 දරන අභ්‍යන්තර දැනුම්දීමේ ලිපිය මගින් හෙළිවන පරිදි ආර්. එස්. ප‍්‍රනාන්දු විසින් චමිලා අසුරමාන්න හරහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරාට මේ පිළිබඳ දැනුම්දී ඇත. ‘මුළු සුදු ලූනු තොගයම කිලෝව රු. 135 බැගින් එන්එස් එන්ටර්ප‍්‍රයිස් සමාගමට විකිණීමට තීරණය කර ඇතැයි’ එම දැනුම්දීමේ ලිපියේ සඳහන්ය.

 පොලිසිය තවදුරටත් ගරු අධිකරණයට කියා ඇත්තේ ලංකා සතොසේ ගබඩා කළමණාකාර සමීර මහතා විසින් සුදු ලූනු මිල ගැන චමිලා අසුරමාන්න මහත්මිය සහ ආර්.එස්. ප‍්‍රනාන්දු මහතාගෙන් විමසා ඇති බවත් තමන් එම මුදල නොදන්නා බව දෙදෙනා පවසා ඇති බවත්ය. එවිට සමීර මහතා විසින් සැකකාර සුසිරි පෙරේරාගෙන් මේ ගැන විමසන ලද විට ඔහු එම මිල සඳහන් කළ බවද පොලිසිය කියයි. මෙයද සාවද්‍යය. LSL/TRO/LOGISTICS/2021/09/05 අභ්‍යන්තර දැනුම්දීමේ ලිපිය මගින් හෙළිවනර පරිදි ආර්. එස්. ප‍්‍රනාන්දු සහ චමිලා අසුරමාන යන දෙදෙනාම මිල ගැන දැනසිට ඇත.

 ඊළඟ ප‍්‍රශ්නය වන්නේ සුදු ලූනු විකිණීම සඳහා මිල ගණන් කැඳවන ලද්දේ කවරෙක්ද යන්නය. මිල ගණන් කැඳවා ඇත්තේ ප‍්‍රසම්පාදන අංශය සහ සැපයුම් අංශය මගිනි. ආර්. එස්. ප‍්‍රනාන්දු මහතා විසින් මිල ගණන් 3 ක් ඉදිරිපත් කළ අතර සියලූ දෙනාම තීරණය කළේ වැඩිම මිලට සුදු ලූනු අලෙවි කළ යුතු බවය. කිසියම් මූල්‍ය අවභාවිතයක් සිදුවී ඇත්නම් මිල ගණන් කැඳවූ අය එයට වගකිව යුතුය. පොලිසියේ අදහස වන්නේ සුදු ලූනු තොගය අඩු මිලට විකුණා ඇති බවය. එසේම සැකකාර සුසිරි පෙරේරාට මිල ගණන් කැඳවීම සම්බන්ධයෙන් වගකීමක් නැති බව පොලිසියද පිළිගෙන ඇත. සැකකරු අහිංසකයකු බව මේ පිළිගැනීමෙන් හෙළිව තිබේ.

 මෙම සුදු ලූනු තොගය වෙන පාර්ශ්වයකට නොවිකුනා ලංකා සතොස වෙළෙඳ සල් හරහා නොවිකුණන ලද්දේ මන්ද යන ප‍්‍රශ්නයද මෙහිදී පැන නැඟිණි. ලංකා සතොසේ සහකාර කළමනාකරු (ප‍්‍රමිති සහතික අංශය) දුලංජී රන්දෙණිවල මෙනෙවිය විසින් පහත සඳහන් අභ්‍යන්තර ලිපිය නිකුත්කොට ඇත. එහි මෙසේ සඳහන්ය.

 1. සුදු ලූනු පරීක්‍ෂා කරන ලද අවස්ථාවේදී සෑම කිලෝ ග‍්‍රෑම් 20 කට ග‍්‍රෑම් 300 ක් බැගින් ඉදි තිබූ බවත් හානියට පත්ව තිබූ බවත් හෙළිවිය. ඒවා කාමර උෂ්ණත්වය යටතේ තැබුවොත් තත්ත්වය තවදුරටත් නරක් විය හැකි බව ඇය සඳහන් කර තිබිණ.

 2. මේ නිසා ආයතනයට පාඩු විය හැකි බවද ඇය දැන්වීය.

 3. සතොස සතුව සුදු ලූනු අවශ්‍යතරම් තොග ඇති නිසා මෙම සුදු ලූනු තොගය විකුණා දැමිය යුතු බව ඇගේ අදහස විය.

 මේ අනුව මේ ගනුදෙනුවට සම්බන්ධ සියලූ දෙනාගේ අදහස වී ඇත්තේ සුදු ලූනු තොගය විකිණිය යුතු බවය. කෙසේ වුවද ගරු අධිකරණය වෙතින් ලංකා සතොස කළ ඉල්ලීමකට අනුව සතොස වෙළෙඳ සල්වල විකිණීම සඳහා මෙම සුදු ලූනු තොගය මුදාහැර ඇත. මෙවිට මතුවන ප‍්‍රශ්නය වන්නේ ලංකා සතොසට ඇත්තම පාඩුව සිදුකළේ කවරෙක්ද යන්නයි. එය කළේ ප‍්‍රමිති සහතික කිරීමේ අංශයේ සහකාර කළමනාකරුද? නැත්නම් මේ සුදු ලූනු තොගය නැවත මිලට ගැනීමේ තීරණය ගත් අයද?

advertistmentadvertistment
advertistmentadvertistment