සද්දන්ත

1903

අවුරුදු හැට නවයක් ආයු වළඳා අභාවයට පත් නැඳුන්ගමුවේ විජය රාජා නමැති සද්දන්ත කුලයේ හස්තියා ක‍්‍රි. ව. 2006 දී දළදා කරඬුව වැඩම කරවන නිල ඇතා බවට පත්වීමත් සමගම මහත් සේ ජනාදරයටත් ගෞරවාදරයටත් ලක්විය. අලි ඇතුන් වර්ග තුනක් ලෝකයේ වෙසෙති. ලඳු කැලෑවල ජීවත් වන අප‍්‍රිකානු අලියා හෙවත් African Bush Elephant, ඝන කැලෑවල ජීවත් වන අප‍්‍රිකානු අලියා හෙවත් African Forest Elephant සහ ආසියාවේ ජීවත්වන Asian Elephant යනාදිය මේ වර්ග තුනය. මෙයට අවුරුදු 4000 ට පමණ පෙර වඳ වී ගිය මැමත් නමැති සත්වයාද නූතන හස්තියාගේ පූර්වගාමියෙකි. නැඳුන්ගමුවේ විජය රාජා අයත් වූයේ ආසියානු හස්ති කාණ්ඩයටය. මේ සතා ළමා කාලයේදී ජීවත් වූයේ ඉන්දියාවේ කැලෑවකය. ඉන්පසු නැවක නැගී ශ‍්‍රී ලංකාවට පැමිණීමට විජය රාජා ට සිදුවිය. එදා සිට මියයන තුරුම කවදාවත් විජය රාජා අලි ඇතුන් ප‍්‍රවාහනය කරන ලොරියකට නැගීම ප‍්‍රතික්ෂේප කළේය. තමන් ජීවත් වූ වැලිවේරියේ සිට දළදා කරඬුව වැඩම කරවීම සඳහා කිලෝ මීටර් 90 ට වැඩි ප‍්‍රමාණයක් විජය රාජා ගියේ පා ගමනිනි. විජය රාජා සතු සුවිශේෂ ලක්ෂණය වූයේ කිසිදු ආකාරයකින් කලබල නොවීමය. දළදා පෙරහැරේ අලි කුලප්පුවක් සිදුවන විට සෙසු ඇතුන් අතර සිටි යෝධයකු බඳු විජය රාජා සිටි තැනම නැවතී කලබලය අවසන් වන තුරු නිශ්චලව සිටියේය. ඇතුන් දෙස බලාගෙන රිය පදවන රියදුරෝ විවිධ අනතුරු කර ගනිති. අවස්ථා කිහිපයකදීම විජය රාජා දෙස බලමින් පැමිණි මෝටර් රථ සහ ලොරි එකිනෙක ගැටුණාහ. ඇතැම් වාහනයක් විජය රාජාගේ පය පාමුලට පෙරළී නැවතිණි.

එහෙත් ඒ කිසිවක් ගණන් නොගත් විජය රාජා අනතුර සිදු වූ තැන මගහැර ප‍්‍රවේශමෙන් ඉදිරියට ගමන් කළේය. අලි ඇතුන් සිටින තැන කලබල කිරීම ඉතා භයානක ය. ඔවුන් ඉතා ලෙහෙසියෙන් කුලප්පු වන සත්ත්ව විශේෂයකි. විජය රාජා මුහුණ දුන් අනතුරුදායක දේ වෙනත් ඇතකුට සිදුවී නම් බියපත් වන ඒ අසරණයා එක්කෝ නවතින්නේ කෙලින්ම වැලිවේරියේ පිහිටි තම නිවස පිහිටි තැනය. නොඑසේ නම් තම සුපුරුදු ගමනාන්තය වූ දළදා මාලිගාවේය. ‘තම නිවස’ යන යෙදුම ගැන යමක් කිව යුතුව තිබේ. ගෘහාශ‍්‍රිතව හදා වඩා ගන්නා අලි ඇතුන් එම ගෙදරම දූ දරුවන් සේ සලකනු ලැබේ. බොහෝවිට මෙම සත්තු උදේ කෑමට ගේ දොරකඩට විත් ගෙහිමියන් අතින් කෙසෙල් ගෙඩි හෝ වෙනත් පලතුරු වර්ග කවා ගනිති. ඇතැම් විට එම ආහාර වේල නොලැබෙන්නේ නම් එතැනින් ඉවත්ව යෑම ඇතා ප‍්‍රතික්ෂේප කරයි. ගෘහාශ‍්‍රිත නොවූ ඇතැම් අලි ඇතුන් පිළිබඳ තත්ත්වය ද මෙසේම ය. සිතුල් පව්වේ පන්සල ආශ‍්‍රිතව ජීවත් වන වල් අලියෙක් එහි නායක භික්ෂුන් වහන්සේ වෙතින් හකුරු කෑමට පුරුදු විය. භික්ෂුව උදේ තේ පානය කරන විට වල් අලියා පන්සලට පැමිණි අතර හකුරු කැබැල්ල ඒ සතාට දීම සිරිත විය. මේ භික්ෂුන් වහන්සේ දෙතුන් දිනක් පන්සලෙන් පිටතට වැඩම කළොත් උන්වහන්සේ අතින් හකුරු නොලැබීම නිසා උන්වහන්සේ නැවත පන්සලට වැඩම කරන තුරුම අලියා එහි රැඳී සිටියේය. මේ අලියා රෑට මෙන්ම දවල්ට කෑවේ ද පන්සලෙනි.

සතුන්ගේ චරිතාපදාන ලියැවී නැතත් කණ්ඩුල හස්තියාගේ චරිතාපදානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මර්ලින් පීරිස් විසින් ලියනු ලැබ තිබේ. දුටුගැමුණු රජතුමා සමග හැදී වැඩුණු කණ්ඩුල ශරීර ප‍්‍රමාණයෙන් කුඩා සතකු වූ අතර යුද ශාස්ත‍්‍රයෙහි මනා පුහුණුවක් ලද්දේය. මෙවැනි සතුන්ට War Elephant යන නම යොදනු ලැබේ. මේ සතුන්ගේ දළ දෙකෙහි කොපු යෙදූ උල් පිහි සවිකර තිබිණ. ඉපැරණි ඉන්දියාව, ඉපැරණි චීනය, අග්නිදිග ආසියාවේ රටවල් වන කාම්බෝජය, ලා ඕසය, බුරුමය, මැලේසියානු අර්ධද්වීපය, රෝමන් අධිරාජ්‍යය සහ ශ‍්‍රී ලංකාව යන කලාපවල හටගත් සංග‍්‍රාමවලදී ඇත් හමුදාවට විශේෂ තැනක් ලැබිණි. 1558 දී පළවෙනි රාජසිංහ රජතුමා කොළඹ කොටුව වටලන ලද්දේ 2200 ක ඇත් හමුදාවක් සමගය. තුවක්කු සහ කාලතුවක්කු සංග‍්‍රාම භූමියට පැමිණීම සමග ඇත් හමුදාව ක‍්‍රමයෙන් භාවිතයෙන් ඈත් විය. අමතර කාරණයක් ලෙස මෙසේ සඳහන් කරමු. මහාචාර්ය මර්ලින් පීරිස්, කණ්ඩුල ඇතාගේ ජීවිත කතාව ලියන ලද්දේ ලිඛිත මූලාශ‍්‍රවලිනි. ඒ සතාගේ ළමා විය සිට අභාවය දක්වාම වූ අවස්ථා විශාල ගණනක ලිඛිත සාක්ෂි තිබේ.

නැඳුන්ගමුවේ විජය රාජා මහ මග ගමන් කරද්දී ඒ දෙපස විසූ ජනයා විවිධ ආහාර වර්ගවලින් ඇතාට සංග‍්‍රහ කළේය. එහෙත් මේ ඇතා අනුභව කළේ විශේෂයෙන් ඉවකොට හඳුනාගත් පලතුරු වර්ග කිහිපයක් පමණි. ගමනේදී අවශ්‍ය වන ආහාර වූ කිතුල් අතු සහ පොල් අතු දළ දෙක මත තබා හොඬවැලෙන් තදකරගෙන රැගෙන යෑමට විජය රාජා පුරුදුව සිටියේය. කෙනකු ස්වකීය ආදරය ප‍්‍රකාශ කිරීම පිණිස තමන් වෙත එන සෑම මොහොතකම නැවතී නිශ්චලව සිටීමට විජය රාජා පුරුදු විය. මේ හස්තියා කිසි දිනෙකවත් කිසිදු මනුෂ්‍ය ඝාතනයක් සිදුකර නැත. ඇත් ගොව්වා සමග ඉතා සහයෝගයෙන් ජීවත් වූ විජය රාජාගේ අභාවය දරුවකුගේ අභාවයට වඩා ශෝකජනක දෙයක් බව ඇත් ගොව්වා කීවේය. විජය රාජා සද්දන්ත කුලයේ ඇතෙකැයි අපි මුලදීම කීවෙමු. එහි තේරුම වන්නේ එම ඇතා උස මහත සතකු බව නොවේ. සද්දන්ත කුලයේ ඇතකුට ස්ථාවර දත් හයක් තිබේ. සංස්කෘත මූලාශ‍්‍රවල එන පරිදි එම දත් හය හැඳින්වෙන්නේ ෂඞ් දන්ත ලෙසය. එම වචනය උච්චාරණය කිරීමේ පහසුව තකා සද්දන්ත බවට පත්විය.

ශ‍්‍රී ලංකාව අලි ඇතුන්ට ඉතා කදිම වාස භූමියක් වූ කාලයක් තිබිණ. එකල මේ රට වනගත රාජ්‍යයකි. මේ වනගත රාජ්‍යය ගැමි රාජ්‍යයක් බවට පත්වන්නේ කැලය කපා ජනාවාස පිහිටු වූ විටය. පසු කාලයේදී මේ ගැමි රාජ්‍යයම සංවර්ධනය කෙරෙන රාජ්‍යයක් බවට පත්වූ අතර වැඩි වැඩියෙන් කැලය කපා අලි ඇතුන්ගේ සාම්ප‍්‍රදායික වාස භූමි ඒ සතුන්ට අහිමි කරනු ලැබීය. මෙතැන් සිට මිනිසුන් සහ අලි ඇතුන් අතර යුද්ධයක් හට ගත්තේය. මෙහිදී අලි ඇත්තු පරාජයට පත්වූහ. අදටත් අවුරුද්දකට මේ රටේ අලි හාර පන්සීයක් ඝාතනය වෙති. මැමත් නමැති යෝධ හස්ති වර්ගය මෙයට අවුරුදු 4000 ට පෙර වඳවී යන්නේ එකල විසූ ගෝත‍්‍රික වනචාරීන් විසින් මරාගෙන කෑම නිසාය. මේ රටේ සිටින ගෝත‍්‍රිකත් නොවන, වනචාරිත් නොවන හතර පෝයට සිල් ගන්නා සාධු ජනයාගේ වෙඩි තැබීම්වලට ලක්වීමෙන් ඉදිරි අවුරුදු 25 තුළදී මෙහි සිටින අලි ගහනය සම්පූර්ණයෙන්ම වඳ වී යනවා ඇත.

විජය රාජා තිරිසනකු වුවද දේශපාලනඥයකුට වඩා වටින බව අපගේ වැටහීම ය. ඔබේ වැටහීමත් එයමද?

advertistmentadvertistment
advertistmentadvertistment