සද්ද නැතුව දාපු බද්ද ගැන ඇත්ත! – මහාචාර්ය සේමසිංහ වන්නිනායක අංශාධිපති,ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

476

වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පෙරටුකොටගත් ප්‍රශ්න ගණනාවකි. පළමුව පැමිණි තෙල්, ගෑස්, පෝලිම්, අඩු වන විට දිනෙන් දින ඉහළ යන උද්ධමනය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, ඖෂධ හිඟය යන ඒවා අතරට එක්වුණ නවතම ගැටලුව බවට පත්ව ඇත්තේ බදු ප්‍රශ්නය ප්‍රතිපත්තියේ ඇති වූ වෙනසයි. උපයනවිට ගෙවීමේ බද්දට (PAYE tax) විරුද්ධව නැඟෙන වෘත්තිකයන්ගේ හඬ තිව්‍ර වෙමින් තිබේ. මොකද්ද මේ බදු ප්‍රශ්නය? බදු ගහන්නම ඕන ද? එක්වරම මෙච්චර බදු ගහන්නේ ඇයි?

ඕනෑම රටක ආණ්ඩුවක් සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයේ වියදම්, බදු අය කිරීම්, ණය ගැනීම් කළමනාකරණය කර ගැනීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් හැඳින්වේ. බදු අය කිරීම අයත් වන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට යි. පොදුවේ බදු වශයෙන් හඳුන්වනුයේ පුද්ගලයකුගෙන්, ආයතනයකින්, භාණ්ඩයකින්, සේවාවකින් රජය අය කරනු ලබන ගාස්තුවකි. පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් නම් ඔවුන්ගේ ධනය හෝ ආදායම මත, භාණ්ඩ හා සේවාවලින් නම් නිෂ්පාදනය කරන ප්‍රමාණය මත රජය මඟින් යම් ගාස්තුවක් අය කර ගැනීමය. ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, රාජ්‍ය ආරක්‍ෂාව යනාදී විවිධ ආර්ථික හා සාමාජීය යටිතල පහසුකම් සැපයිය යුතු අතර ඒ සඳහා විශාල වියදමක් දැරිය යුතු ය. මේ වියදම් පියවා ගැනීමට ආණ්ඩුව ආදායම් උපදවාගත යුතු ය. ආණ්ඩු ව්‍යාපාර නොකරන නිසා ආදායම් උපයා ගැනීමේ මූලාශ්‍රය වන්නේ බදු අය කිරීම යි.

වර්තමානයේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාණ්ඩුවට ආදායම් ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් බදු සහ යම් ප්‍රමාණයක බදු නොවන ආදායම් මඟිනි. වියදම් පියවා ගැනීමට අමතරව බදු ප්‍රතිපත්තිය භාවිත කිරීමේ තවත් අභිමතාර්ථ ගණනාවක් ඇත. රටේ ආදායම් ව්‍යාප්ති විෂමතා අවම කර ගැනීම සඳහා වැඩි ආදායම් ලබන අයගෙන් බදු අය කිරීමත්, ඇතැම් අංශ දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දීමත්, අධෛර්යමත් කිරීමට අවශ්‍ය අංශ සඳහා බදු පැනවීමත් සම්පත් කළමනාකරණය කර ගැනීමත් මේ අරමුණු අතර ප්‍රධාන ය. මීට අමතරව අවගුණ භාණ්ඩ පරිභෝජනය අවම කිරීම සඳහාත් බදු පැනවීම සිදු කරනු ලබයි.

ඕනෑම ආණ්ඩුවක් බදු අය කර ගැනීමේදී අවධානය යොමු කළ යුතු මූලික මූලධර්ම කිහිපයක් ඇත. බදු අය කර ගැනීමේදී තිරස් සහ සිරස් සාධාරණත්වය ඉටුවිය යුතුය. මෙයින් අදහස් කරනු ලබන්නේ වැඩි ආදායමක් ඇති අයගෙන් වැඩි බද්දක් ද අඩු ආදායමක් ඇති අයගෙන් අඩු බද්දක් ද අය කළ යුතු ය යන්න යි. එසේම බදු ආදායම් එක් රැස් කිරීමේ පිරිවැය අවම විය යුතු වන අතර බදු ආදායම් අයකර ගැනීම පහසු විය යුතුය. එය නිශ්චිත ක්‍රියාමාර්ගයක් විය යුතුය, කාර්යක්ෂම විය යුතුය. එසේම නම්‍යශීලී විය යුතුය. ඕනෑම රටක ආණ්ඩුවක් බදු අයකිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුත්තේ මේ මූලධර්මවලට යටත්ව ය. බදු ප්‍රතිපත්තිය ඇගැයීමේදී මෙම මූලධර්ම කෙතෙක් දුරට නිරූපණය වන්නේ ද යන්න විමසිය යුතු ය.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ආදායම යි. ආසන්න වශයෙන් ලංකා ආණ්ඩුවේ වාර්ෂික ආදායමෙන් 88%ක් ලැබෙනුයේ බදු මගිනි. බදු නොවන මූලාශ්‍රවලින් ලැබෙන ආදායම සාපේක්‍ෂව අඩු ය. සාපේක්ෂ වශයෙන් අපේ රටේ බදු නොවන ආදායම් මූලාශ්‍රය පැතිර ඇත්තේ කුඩා වපසරියක ය. බදු ආදායම, ආදායම් බදු සහ වක්‍ර බදු වශයෙන් දෙයාකාරයකි. පුද්ගලයන්ගේ හෝ සමාගම්වල ආදායම මත අය කෙරෙන බදු, පොලී ආදායම මත බදු, ආර්ථික සේවා ගාස්තු යනාදිය ආදායම් බදු යටතට ගැනෙන අතර එකතු කළ අගය මත බදු, භාණ්ඩ හා සේවා බද්ද, විදේශීය වෙළෙඳාම මත පනවන බදු යනාදිය වක්‍ර බදු යටතට ගැනේ.

රටක බදු ආදායම පිළිබඳව විමසීමේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් බදු ආදායම කෙතෙක් ද යන්න සලකා බැලීම වැදගත් ය. බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පෙර 2019 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් බදු ආදායම 11.2%ක් ද පෙර වසරවලදී ඊට වඩා වැඩි අගයක් ද තිබුණු නමුත් 2020 බදු සංශෝධන සමඟ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් එය 8%ක් දක්වා අඩු විය. 2022 වනවිට එය 7.7%ක් දක්වා තවදුරටත් අඩු විය. සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් බදු ආදායම බොහෝ විට 25%ට වඩා වැඩි අගයක් ගනී. සංවර්ධනය වන රටවල් සැලකීමේදී එය 10%ට වඩා වැඩි ය. බදු ප්‍රතිශතය අඩු අගයක් ගන්නා රටවල් අතර අප රට ද සිටී. වර්තමානයේ බරපතළ අර්බුදයකට යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ මේ බදු සංශෝධන හරහා රාජ්‍ය අදායම වාර්ෂිකව රු. බිලියන 500ක් තරම් විශාල ප්‍රමාණයකින් අඩුවීමයි.

සද්ද නැතුව දාපු බද්ද ගැන ඇත්ත! - මහාචාර්ය සේමසිංහ වන්නිනායක අංශාධිපති,ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

2023 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා මගින් මෙරට බදු ව්‍යූහයේ විශාල වෙනස්කම් ඇති කිරීමට යෝජනා කළ අතර ඒවා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමානයේ සමාජ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට තුඩු දී ඇති නව බදු ප්‍රතිසංස්කරණවල බලපෑම විමසිය යුතුය. 2023 සඳහා වූ අයවැයේ බදු ප්‍රතිසංස්කරණ මගින් 8%ක් වූ වැට් බද්ද 15% දක්වා වැඩි කරනු ලැබිණි. සියයට 2.5ක සමාජ ආරක්‍ෂණ බද්ද, පොලී ආදායම මත සියයට 5ක රැඳවුම් බද්ද, සමාගම්වල ලාභය මත අයකරන සියයට 30% බද්ද යන ඒවා ප්‍රධාන බදු යෝජනා අතර වේ. සමාගම් ලාභය මත අය කරන බද්ද ඍජුවම ඒවායේ ලාභයට බලපායි. මෙම බද්ද නිසා එම ආයතන පවත්වාගෙන යෑම ගැටලුවක් බවට පත් වී තිබේ. ඩොලරයේ අගය පිරිහීම, විදුලිය කැපීම සහ විදුලි සහ ඉන්ධන ගාස්තු ඉහළ යෑම වැනි අර්බුද මධ්‍යයේ එම ආයතන පවත්වාගෙන යා නොහැකි බවට ඔවුන්ගෙන් මැසිවිලි නැඟේ.

වර්තමානයේ මෙම බදු සංශෝධනවල දී වැඩි වශයෙන් කතාබහට ලක් වන්නේ උපයනවිට ගෙවීමේ බද්ද (PAYE) පිළිබඳවය. පෙර පැවති ක්‍රමය අනුව මෙම බදු ක්‍රමයට යටත් වූයේ වසරකට ලක්ෂ තිහකට වඩා උපයන පිරිස ය. නමුත් එය මේ වනවිට ලක්ෂ දොළහක් දක්වා අඩු කර ඇත. මාසිකව ලක්ෂයකට වඩා උපයන සෑම අයකුම බද්දට යටත් වේ. 6% සිට 36% දක්වා වන ස්ථර කීපයකින් බදු අයකරනු ලැබේ. එනම් මෙයට පෙර පැවැති 24% ක් වන වැඩිම බදු අනුපාතය 36% දක්වා වැඩි කර තිබේ. මාසික ඉපැයීම් රු. 322,200 ඉක්මවන විට බදු අනුපාතය සියයට 36කි. මෙහි ඇති බරපතළ කාරණය වන්නේ මේ තත්ත්වයයි.

2023 සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3415 කි. ආණ්ඩුව මෙයින් බිලියන 3130 ක්ම ලබාගැනීමට අපේක්ෂා කරනුයේ බදුවලිනි. ඉතුරු කොටස අනෙකුත් ගාස්තුවලින් අය කිරීමට අපේක්ෂිතය. 2022 සමග සංසන්දනය කිරීමේ දී ආණ්ඩුව ලබාගෙන ඇති බදු ආදායම රුපියල් බිලියන 1852 කි. 2023 වර්ෂයේදී ආණ්ඩුව මේ බදු ඉහළ දැමීම හරහා වැඩිපුර රුපියල් බිලියන 1278ක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. ආදායම මත පනවා ඇති බද්ද 2022 දී රුපියල් බිලියන 558 ක් වූ අතර 2023 දී රුපියල් බිලියන 912 ක් අපේක්ෂා කරයි. එනම් බිලියන 354 ක් වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරයි. නමුත් මේ අපේෂාවන් කොයිතරම් දුරට ඉටුවේ ද යන්න සැක සහිත ය. මන්ද සෑම වසරකම අපේක්ෂා කළ ආදායම ලැබී නැති බැවිනි.

උපයනවිට අය කෙරෙන බදු සම්බන්ධව විමසීමේ දී එම බදු අය කරන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපෙනි. නමුත් මෙයින් ද රිංගා යන කොටසක් සිටින බව ද කිව යුතුය. නමුත් වැටුපෙන් අයකර ගන්නා නිසා එම බදු ලබා ගැනීමේ නිශ්චිත බවක් ඇත. මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 සඳහා වූ ආණ්ඩුවේ බදු වැඩි කිරීම හරහා PAYE මඟින් රුපියල් බිලියන 100 ක් අපේක්ෂා කරයි. නමුත් එම බදු ක්‍රමයට යටත් වනුයේ රටේ මුළු ජනගහනයෙන් 10%ක ප්‍රමාණයකි. මේ ගැටලුව 10%කට පමණක් බලපාන බවත් 90% කට මේ ප්‍රශ්නය බල නොපාන බවක් ආණ්ඩුව පවසන්නේ මේ නිසාය. නමුත් එම 10%ක දෙනා වසරකට බිලියන 100 ක් ගෙවිය යුතුය. 2022 දී එක් පුද්ගලයකු වසරකට සෘජු බදු වශයෙන් ගෙවා ඇත්තේ ආසන්න වශයෙන් රුපියල් 25000කි. 2023 දි සෑම පුද්ගලයෙක්ම වසරකට රුපියල් 47000ක මුදලක් බදු වශයෙන් ගෙවිය යුතුය. 2022 දී වක්‍ර බදු වශයෙන් වාර්ෂිකව එක් පුද්ගලයකු රුපියල් 58,000ක් ගෙවූ අතර 2023 දී එම ප්‍රමාණය රුපියල් 99,000 ක් පමණ වේ. මේ ගණනය කිරීම් අනුව හතර දෙනෙක් සිටින පවුලක් 2023 වර්ෂයේ දී රුපියල් 1535 ක් ඉක්මවා ගිය බදු මුදලක් දිනකට ගෙවීමට නියමිත ය. මේ බදු යෝජනා ජනතාවට කෙතරම් ගැටලුවක් වන්නේ ද යන්න මෙයින් පැහැදිලි වේ.

වර්තමානයේ බරපතළ විරෝධතාවක් එල්ල වී ඇත්තේ ඉපයීම මත ගෙවන බද්දට ය. එම විරෝධතා සඳහා මූලිකවම සම්බන්ධ වී සිටින්නේ මේ රටේ වෘත්තීයවේදීන් ය. මේ 36%බදු ස්ථරයට අයත් වන්නේ ඉංජිනේරුවන්, වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, බැංකුකරුවන්, තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවන් යනාදී වෘත්තීයවේදීන් ය. එම විරෝධතා සඳහා හේතු කිහිපයක් බලපා තිබේ. මේ බද්ද අය කරන්නේ මේ වෘත්තිකයන්ගේ වැටුපට ආදායමට පමණක් නොවේ. වැටුප් ආදායමට බදු ගෙවීමට ඔවුන් අකමැති නැත. නමුත් මේ අය වැඩ කරන අතිරේක සෑම වැඩකින්ම උපයන සෑම ආදායමක්ම 36% බද්දට යටත් වේ. වෘත්තිකයන් ලබාදෙන සේවාවන් සඳහා යම් යම් දීමනා ඇති අතර ඒවාට ද මෙම 36% බදු අයකිරීම් කෙරේ. එම නිසා වෘත්තිකයන් ඉල්ලා සිටින්නේ වැටුපට අදාළ බදු අය කර ගන්නා ලෙසත් වැටුපට අමතරව සිදු කරන අනෙකුත් ඉපැයීම් වෙනම ගණනය කර ඒවාට අදාළ අනුපාතික යටතේ බදු අය කරගන්නා ලෙසත් ය. දැනටමත් රජයේ ඇතැම් ආයතනවල උසස් නිලධාරීන් රැස්වීම් සඳහා ලැබෙන දීමනා යනාදී වැටුපට අමතරව ලැබෙන දීමනා වැටුපට එකතු නොකර වෙනම ලබා ගන්නා ආකාරයට සකසා ගැනීමට තරම් සූක්ෂම ක්‍රම අනුගමනය කරනු ලබයි. නීති සකසන නිලධාරීන්ම මෙලෙස කටයුතු කරන බවට ද චෝදනා නැඟේ. ඕනෑම වෘත්තිකයකු අමතර කාර්ය සඳහා ප්‍රෝත්සාහි වන්නේ ලැබෙන ප්‍රතිලාභය මත ය. එසේ නොවන විට අමතර කාර්ය කිරීමට ඔවුන් නොපෙළඹේ. එම තත්ත්වය ආර්ථිකයට අහිතකර ය. මෙම තත්ත්වය යටතේ වෘත්තීයවේදීන් විශාල පිරිසක් රට හැර යෑමට පටන් ගෙන තිබේ. ඔවුනට ඉහළ වැටුපකට විදේශ රටවල සේවයට ඇතුළත් විය හැකි වීම එයට එක් හේතුවකි. බදු ප්‍රතිපත්තිය නිසා සිදුවන බුද්ධිගලනය ඉදිරියේ දී රටට බරපතළ ප්‍රශ්නයක් වනු ඇත. මේ බුද්ධිගලනය නිසා ඉදිරියේදී වෘත්තීය සේවා පවත්වාගෙන යෑම අසීරු වේ. එය ආර්ථිකයට දැඩි ලෙස අහිතකර ය.

අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මේ බදු අයකිරීමත් සමග එම වෘත්තිකයන් දැන් මුහුණදී ඇති ගැටලුසහගත තත්ත්වයයි. ඕනම පුද්ගලයකු සිය වියදම් රටාව සැලසුම් කර ගනු ලබන්නේ ඉදිරියේදී ලැබෙන මධ්‍යන ආදායම අනුව ය. බොහෝ දෙනා සිය වැටුපට අනුව පැවැති පොලී අනුපාත යටතේ විවිධ ණය ලබාගෙන ඇත. ඒ අනුව ලැබුණු වැටුපෙන් එම ණය ගෙවා ගැනීමේ හැකියාව ඔවුනට තිබිණි. නමුත් වර්තමානයේ සිය වැටුපෙන් කොටසක් බද්දට යටත් වීමත් පොලී අනුපාත වැඩිවීමත් නිසා ඔවුන් විශාල ගැටලුවකට මුහුණපා ඇත. මේ තරම් බදු ප්‍රතිශතයක් වැඩි නොකර යම් වෙනස්කම් කිරීමකට ලක් කළ හැකි බව ඔවුන්ගේ අදහසයි. බදු අයකරන සීමාව වැඩිකිරීම සහ උපරිම බදු අනුපාතය 24% දක්වා අඩු කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ. පොලී ආදායම් සඳහා සියයට 5ක රැඳවුම් බද්දක් අයකිරීම නිසා සමහර විටෙක වැටුප් ආදායම දෙවරක් බද්දට යටත් වීමක් ද සිදු වේ.

ආණ්ඩුව ආදායම් වැඩි කරගැනීම සඳහා ඇති විකල්ප මාර්ග අතහැර නිශ්චිතවම ආදායම් උපදවාගත හැකි මාර්ගයක් වන PAYE ඒ මගින් වැඩි ආදායමක් උපයා ගැනීමට යොමු වී ඇත. බදු අය කර ගැනීමට අමතරව ආදායම් වැඩි කර ගත හැකි විකල්ප ක්‍රම පිළිබඳව අවධානය යොමු කර ඇති බව නොපෙනේ.

බදු පදනම පුළුල් කර ගැනීම මගින් බදු ආදායම වැඩි කර ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ බදු පදනම සකස් වී ඇත්තේ ඉතාමත් පටු ආකාරයටය. බදු අය කර ගත යුත්තේ කුමන පුද්ගලයන්ගෙන් ද කුමන ආයතනවලින් ද කුමන සේවාවලින් ද යන්න ඉතාමත් පටු සීමාවක ඇත. බදු අය කළ හැකි ක්ෂේත්‍ර තවදුරටත් පුළුල් කිරීම මගින් බදු අනුපාතය වැඩි නොකර බදු ආදායම වැඩි කර ගැනීමට හැකිය.

2019 වර්ෂය වන විට ලංකාවේ බදු ලිපිගොනු තිස් දාහක් පමණ තිබිණි. නමුත් වර්තමානයේ පවතින්නේ බදු ලිපිගොනු හාරදහසක් වැනි සුළු ප්‍රමාණයකි. බදු ආදායමට යටත් වන බොහෝ පුද්ගලයන් සහ ආයතන බදු ගෙවීමෙන් වැළකී සිටී. මේ නිසා දැනට බදු නො ගෙවන පිරිස බදු දැලට හසුකර ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම ද අත්‍යවශ්‍ය කාරණයකි. ආයතන මට්ටමින් සලකා බැලීමේදී ලංකාවට වැඩිම ආදායම් ලබාදෙන ආයතන වශයෙන් රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව හැඳින්විය හැකි ය. මේ ආයතනවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු ය.

බදු අනුකූලතාව එනම් ජනතාව ස්වෙච්ඡාවෙන් බදු ගෙවීමට ඇති කැමැත්ත අනෙක් රටවලට සාපේක්ෂව අපේ රටේ පවතින්නේ ඉතාමත් අවම මට්ටමකය. ඒ සඳහා විවිධ හේතු බලපා ඇත. ජනතාවගෙන් ලබා ගන්නා විශාල බදු වියදම් වැය වෙන්නේ කුමක් සඳහා ද යන්න පිළිබඳ ජනතාවට පැහැදිලි කිරීමක් නැත. දියුණු රටවල බදු ආදායම් ප්‍රතිලාභය ජනතාවට උපරිමයෙන් ලැබෙයි. අපේ රටේ බදු ආදායමෙන් ප්‍රතිලාභ ලැබේ ද යන්න පිළිබඳ කිසිදු විශ්වාසයක් ජනතාවට නැත. ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නේ ද නැත. ජනතාව විශ්වාස කරන්නේ එම මුදල් දේශපාලනඥයන් සහ නිලධාරීන් අවභාවිත කරන බව යි. දැනට පවතින බරපතළ ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද දේශපාලනඥයෝ කිසිවකුත් තමන්ගේ වරප්‍රසාද අඩු කරගෙන නැත. වෙනදා ලබාගත් වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ඔවුන් ලබා ගනී. දූෂණය ඒ ආකාරයෙන්ම පවතී. මේ අර්බුද සමයේ දේශපාලනඥයෝ කිසිදු කැප කිරීමක් නොකරයි. මේ නිසා ජනතාව බදු ගෙවීමට දක්වන්නේ අඩු අනුකූලතාවකි. බදු අනුකූලතාව වැඩි කර ගැනීමට කටයුතු කිරීම මගින් ආදායම වැඩිකර ගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව ලංකාවේ වාර්තා නොවන ආර්ථික කටයුතුවල වටිනාකම මුළු ආර්ථික කටයුතුවලින් 44% ක් පමණ වේ. ඒවා පාලනය කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙයි නම් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට හැකිය. මුදල් විශුද්ධිකරණය ද මෙහිදී තවත් වැදගත් සාධකයකි. අපේ රටේ මුළු ආර්ථිකයෙහි වටිනාකම්වලට සාපේක්ෂව මුදල් විශුද්ධිකරණය විශාල අගයක් ගනියි. මුදල් විශුද්ධිකරණය සාමාන්‍ය ජනතාවට අතින් සිදුවන දෙයක් නොවේ.

මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වන්නේ සමහර ව්‍යාපාරිකයන්, තැරැව්කරුවන් සහ ඉහළ පෙළේ නිලධාරීන් යනාදීන් ය. ඒවා අවම කිරීමට ක්‍රියාමාර්ග ගැනීම මගින් ද රජයේ ආදායම් වැඩි කර ගත හැකි ය.

විදේශ වෙළෙඳාමේ දී රටට ලැබිය යුතු ආදායම් සම්පූර්ණයෙන්ම රටට ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කිරීම මගින් ද රජයේ ආදායම් විශේෂයෙන්ම විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගත හැකි ය. විදේශ ප්‍රේෂණ ද විධිමත් ක්‍රමවලින් රටට ගෙන්වා ගැනීම ද ප්‍රධාන අවශ්‍යතාවකි.

පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇති විණි. සාමාන්‍යයෙන් මසකට ඩොලර් මිලියන 600ක් පමණ ප්‍රේෂණ වශයෙන් රටට ලැබිණි. නමුත් දැන් එය ඩොලර් මිලියන 400ක් පමණ දක්වා පහත වැටී ඇත. වර්තමානයේ විශාල පිරිසක් රටින් පිටව ගොස් ඇති බැවින් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ද වැඩි විය යුතුය. නමුත් ඔවුන් තවමත් මුදල් එවන්නේ හවාලා සහ උණ්ඩියල් වැනි නීත්‍යානුකූල නොවන මාර්ගවලිනි. එම මුදල් බැංකු පද්ධතිය හරහා ගෙන්වා ගැනීමට හැකි නම් මේ අර්බුදය විසඳා ගැනීමට එය ද එක් හේතුවක් වනු ඇත.

මීට අමතරව බැංකුවලින් ණය ලබාගෙන නොගෙවූ ප්‍රමාණය බිලියන දොළොස් දාහක් පමණ වේ යැයි සැළකේ. මෙයින් වැඩි ප්‍රමාණයක් අරගෙන ඇත්තේ ඒ ඒ අවධිවල සිටි ආණ්ඩුවේ හිතවතුන් ය. ඒ ආකාරයට බැංකුවලින් අය නොකරගත් බොල් ණය අයකර ගැනීමේ හැකියාවක් පවතී නම් එය ද ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීමට උපකාරී වනු ඇත.

තව ද රාජ්‍ය අංශයේ ඉහවහා ගොස් ඇති දූෂණය හා නාස්තිය අවම කිරීමට කටයුතු කිරීම මගින් රාජ්‍ය වියදම් සීමා කර ගත හැකි ය. මේ අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුව ද විශාල වියදම් දරමින් විවිධ උත්සව සහ රැස්වීම් පැවැත්වෙනු දක්නට ඇත. මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය අංශයේ වියදම් අඩුකිරීමට උපදෙස් ලබාදීම පැසසුම් කටයුත්තකි. තවමත් ආරක්‍ෂක අංශ පිරිවරාගෙන නිල රථවලින් දේශපාලකයන් ගමන් කිරීම සුලභ දසුනකි. රජයේ වාහන විශාල වශයෙන් අවභාවිත වන අයුරු තවමත් දකින්නට ඇත.

සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළේ
රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය,
කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment