සදාකාලික  එළිසබත් රැජන

898

රාජාණ්ඩු සම්ප්‍රදායට එරෙහි රැල්ලක් නූතන ලෝකයෙහි තිබේ. මේ රැල්ල ඉතා තදින් නැගෙන්නට පටන් ගන්නේ 1970 න් පසුය. මේ රැල්ල ඉදිරියට ගෙනයන රැඩිකල් පරම්පරාවේ අර්ථ නිරූපණයට අනුව මෙලොව තිබෙන සියලු රාජාණ්ඩු අහෝසි කළ යුතු අතර ඒ ඒ රටවල්වල පාලනය ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉදිරියට ගෙනයා යුතුය. එහෙත් මේ තර්කයට එරෙහිව ප්‍රති මතවාදයක් ද තිබේ. එනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරය රජවරුන් විසින් පාලනය නොකළේ නම් ස්ථිර වශයෙන්ම පාදඩයන් විසින් එය පාලනය කරනු ලබන බවය. පාදඩයාට වඩා රජා හැම අතින්ම හොඳ බව කියමින් එළිසබත් මහ රැජන පිළිබඳ අපේ කතු වැකිය මෙතැන් සිට අරඹමු. මෙයට අවුරුදු 5100ට පෙර ඊජිප්තුව සහ සුමේරියාව පාලනය කරන ලද්දේ පාදඩයන් විසිනි. පාදඩයන්ගේ සපෝට් එකට පූජකයන්ද පැමිණියහ. මේ කියන කාලයේදී දැනට අදහන ආගම්වලට අයත් ආගම් කර්තෘවරු නොසිටියහ. මේ නිසා පූජකයන් කළේ දෙවියකු නමින් බලවේගයක් අහසේ සිටින බවත් එම බලවේග සමග ගනුදෙනු කිරීමට තමන්ට පුළුවන් බවත් පාදඩයන්ට පෙන්වා ඔවුන් බියපත් කිරීම ය.

මේ අනුව පාදඩයන් විසින් මහජනතාවගෙන් කොල්ලකන වස්තුවෙන් කොටසක් පූජකයන්ට ද ලැබිණ. මේ කරුණ ගැඹුරින් විමසා බලන විට පෙනී ගියේ සත්‍ය රාජ්‍ය පාලකයා පාදඩයා නොව පූජකයා බවයි. මේ තත්ත්වය ඊජිප්තුව සහ සුමේරියානු ශිෂ්ටාචාර තුළ සැරට තිබිණ. ක්‍රිස්තු පූර්ව 3100 දී ඊජිප්තුවේ පහළ වූ Narmer නමැති ගෝත්‍රික වංශාධිපතියෙක් පූජකයන් තම පැත්තට හරවාගෙන පාදඩයන් සමූල ඝාතනය කර පාරාවෝ නමැති රජ පෙළපත පටන් ගත්තේය. මේ අනුව ලෝකයේ පළමුවන විධිමත් රජතුමා ලෙස හැඳින්වෙන්නේ මේ කියන Narmer ය. පාරාවෝ රජ පෙළපතට සමගාමීව සුමේරියාවේ ද රජ පෙළපතක් බිහි විය. ක්‍රි.පූ 2600 දී එම රජ පෙළපත ආරම්භ කරන ලද්දේ Enmebaragesi ගෝත්‍රික වංශාධිපතියා විසිනි. මේ රජ පෙළපතේ ආරම්භයට ද පූජකයන්ගේ උදව් ලැබිණ. රාජ්‍ය පාලනය යනු පාදඩ පාලනයට වඩා විධිමත් පාලනයකි. පූජකයන් වෙනුවෙන් දේවාල තනා දීමට තරම් විවේක මනසක් පාදඩයන්ට තිබුණේ නැත. ඔවුන් නිතරම කළේ කොහෙන් හෝ කොල්ලකාගෙන එන වස්තුවෙන් පූජකයාට හිමි කොටස දී ඊළඟ මංකොල්ලය සඳහා නික්ම යෑමය. එහෙත් පාදඩයන් වෙනුවට වංශාධිපතීන් රජවූ පසු පූජකයන්ට දේවාලද, සල්ලිද, කන්‍යාවන් ද ඉතා විධිමත් ලෙස ලැබිණ. ඒ අතර පූජකයෝ රජ පවුල් තුළට රිංගා ගැනීමට ද පටන් ගත්හ. රුසියාවේ සාර් රජ පවුල කා දමන ලද්දේ රස්පුටින් නමැති දුෂ්ට පූජකයාය.

එංගලන්තයේ රාජ පරම්පරාවල තත්ත්වය ඊට වඩා වෙනස්ය. එරට පළමුවන රජු Athelstan ය. ක්‍රිස්තු වර්ෂ 895 සිට ක්‍රිස්තු වර්ෂ 939 දක්වා ඔහු ජීවත් විය. ඔහු අභාවප්‍රාප්ත දෙවන එළිසබත්  රැජනගේ තිස්වන පූර්ව පරම්පරාවට අයත් මී මුත්තාය. එහි තේරුම වූකලී එළිසබත් රැජනට, පරම්පරාවෙන් පරම්පරාවට මී මුත්තලා තිස්දෙනකු සිටි බවය. පූජකයන් විසින් එංගලන්තයේ රජ පරම්පරාව කා දැමීමට උත්සහ කළ නමුදු ඒ රටේ පහළ වූ රැඩිකල් මතධාරීන් රාජ කුමාරවරු එකී පූජකයන්ට ෂොට් එක දී නන්නත්තාර කළහ. එළිසබත් රැජනගේ රාජකීය සමය පටන්  ගන්නා විට බි්‍රතාන්‍ය රජපවුල සම්පූර්ණයෙන්ම පාහේ  පූජකයන්ගෙන් විනිර්මුක්තව තිබිණ. ඒ නිසා මුලින් කුමරියක ලෙසද පසුව මහ රැජනක ලෙස ද නිදහසේ ජීවත් වීමට දෙවන එළිසබත් මහ රැජිනට හැකි වූවාය. යුරෝපයේ අද පවතින සියලු රාජ පරම්පරාවල රාජ කුමාරිකාවෝ ඉතා සරල චරිත වෙති. එයට හේතුව දැනට යුරෝපයේ පවතින ලිබරල් මතවාදයයි. එහෙත් එළිසබත් රැජන කුමරියක ලෙස කොපමණ නිදහස් ජීවිතයක් ගත කළ ද ඇය වටා තිබූ රාජකීයත්වය යම් දුරකට සාම්ප්‍රදායික විය. සාමාන්‍යයෙන් බි්‍රතාන්‍යයේ සම්ප්‍රදායට අනුව කුමාරියෙක් හෝ කුමාරයෙක් රජ වූ විට රාජකීය විනය සුරැකීම පිළිබඳ නීති සමුදායකට යටත් විය යුතුය.

මේ නීතිවලට එරෙහි නොවී රජවූ නමුදු පසුකාලයේදී එළිසබත් රැජන ඉතා සරල ජීවිතයක් ගත කළාය. උදාහරණයක් වශයෙන්, එළිසබත් රැජනට පෙර බි්‍රතාන්‍යයේ සිටි මහ රැජනක වූ වික්ටෝරියා, මුළු ජීවිතයම ගත කළේ රාජකීය ඇඳුම් ඇඳ ආයිත්තම් පැළඳගෙනය. එහෙත් එළිසබත් රැජන ඊට වඩා බෙහෙවින් වෙනස් විය. රටේ සාමාන්‍ය ජනයා අඳින සාමාන්‍ය ඇඳුම්වලින් ගත වසාගත් ඇය රාජකීය උත්සවවලට පවා එම සරල ඇඳුම් යොදා ගත්තාය. සාමාන්‍යයෙන් වැඩවසම් යුගයේ සිට මේ දක්වා වූ කාලයේ සිටි සහ සිටින රාජ කුමාරියන් හෝ රැජනන් එක උත්සවයකට අඳින ඇඳුම තව උත්සවයකට පාවිච්චි කරන්නේ නැත. එහෙත් එළිසබත් රැජන රාජකීය උත්සව හත අටකට එකම ඇඳුම ඇන්ද අවස්ථා තිබිණ. බි්‍රතාන්‍ය රජ පවුලට එරෙහි මතවාදයක් එම රට තුළ තිබේ. එම ව්‍යාපාරය මෙහෙයවන්නන් හඳුන්වනු ලබන්නේ අරාජිකවාදීන් ලෙසය. මේ අරාජිකවාදීන් පවා එළිසබත් රැජනට ප්‍රිය කළ අවස්ථා රැසක් තිබිණ. ඇතැම් විට අරාජිකවාදීන් මහ පාරවල් මැදට පැන මහජනයාට හිරිහැර වන පරිදි උද්ඝෝෂණ පැවැත්වූ අවස්ථාවලදී එළිසබත් රැජන පුද්ගලිකවම එම තැන්වලට ගොස් විසිර යන ලෙස අරාජිකවාදීන්ගෙන් ඉල්ලා සිටියාය. එකල්හි කිසිදු හඬක් නොනගා අරාජිකවාදීන් විසිර ගිය අවස්ථා ඕනෑ තරම් එංගලන්තයේ තිබේ.

එළිසබත් රැජන සෑම සිවිල් වැසියකුගේම ආදරයට ලක්වූ රාජකීය කාන්තාවකි. ඇය තම මහ රැජන වීම පිළිබඳ ගෞරවයෙන් කතා කරන රටවල් ද යුරෝපයේ ඇත. එංගලන්තය හිරු නොබසින අධිරාජ්‍ය හැටියට පැවතුණ කාලයේදී බොහෝ රටවල් නිදහස ඉල්ලන්නට පටන් ගත්හ. එවැනි අවස්ථාවලදී එළිසබත් රැජන වහාම එම රටවල් නිදහස් රටවල් බවට පත් කළාය. මෙවැනි මානුෂික ගුණාංග නිසා ඇය සෑම කල්හිම ලෝකවාසී ජනතාවගෙන් වැඩි පිරිසකගේ හදවත් තුළ ජීවත්වනවා ඇත.
 

advertistmentadvertistment
advertistmentadvertistment