සදාචාර සහතිකය

622

ශ්‍රී ලංකාවේ ජීවත්වන ඉන්දියානු සම්භවයක් ඇති විශිෂ්ට මානව හිතවාදියකු සහ ජනතා ප්‍රේමියකු වන කුමාර් නඩේෂන් මහතා ප්‍රවාසී භාරතීය සම්මානයෙන් පුදනු ලැබ ඇත. විදේශවල වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති විශේෂ පුද්ගලයන් සඳහා ඉන්දියානු රජය මගින් මේ සම්මානය ප්‍රදානය කරනු ලැබේ. පළමුවෙන් ම ඒ සම්බන්ධයෙන් අපි කුමාර් නඩේෂන්ට සුබ පතමු. දැනට මේ රටේ වැඩියෙන්ම විකිණෙන දෙමළ පුවත්පත වන වීරකේසරී පත්‍රය නිකුත් කරන පුවත්පත් සමාගමේ ප්‍රධානියා වන කුමාර් නඩේෂන් මාධ්‍ය නිදහස පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන්නෙකි. ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, පුවත්පත් පැමිණිලි කොමිසම යනාදිය පිහිටුවීමේදී ද නඩේෂන් මහතා මහත් උනන්දුවකින් කටයුතු කර ඇත. කෙසේ වුවද, අප අද මේ කතු වැකිය මගින් සාකච්ඡා කරන්නේ එම සම්මානය ගැන නොව මෙම සම්මාන උළෙලට සහභාගි වෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන කළ කතාවය.

ආණ්ඩුව විසින් ජනමාධ්‍ය පාලනය කළ යුතු බව තමා විශ්වාස කරන්නේ නැතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන තම කතාවේදී සඳහන් කළේය. එහෙත් ජනමාධ්‍ය මගින් ජනමාධ්‍ය සදාචාරය සහතික කළ යුතු බව අගමැතිතුමා වැඩිදුරටත් කීවේය. කියන්න කනගාටුයි අගමැතිතුමා, මාධ්‍ය සදාචාරය ලෙස හැඳින්වෙන ප්‍රමිතිගත තත්ත්වයක් ලෝකයේ කොහේවත් නැත. මාධ්‍ය සදාචාරය යනු සාපේක්‍ෂ දෙයකි. ඒ වෙලාවේ බලයේ සිටින ආණ්ඩුවට ගැහුවොත් එතැන් සිට ඒ මාධ්‍යකරුවා හෝ මාධ්‍ය ආයතනය සදාචාර සම්පන්න ලෙස ආණ්ඩුව විසින් පිළිගනු නොලැබේ. ඒ මොහොතේ සිට ආණ්ඩුව බලන්නේ විවේචනය සිදුකළ මාධ්‍යවේදියාට දුටුතැන කෙළීමට ය. එම මාධ්‍යවේදියා සේවය කරන මාධ්‍ය කන්තෝරුවට වැඩේ දීමටය. ආණ්ඩු විවේචනය කිරීමට ගොස් කෙළවා ගත් මේ රටේ මාධ්‍ය ආයතන දෙක තුනක් තිබේ.

ඉන් ප්‍රධානම ආයතනය උපාලි පුවත්පත් සමාගම ය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බලයේ සිටි කාලයේදී දිවයින පුවත්පත එතුමාගේ උග්‍ර දක්‍ෂිණාංශික ප්‍රතිපත්තිවලට තරයේ පහර දුන්නේය. එවිට ජේ. ආර්. ජනාධිපතිතුමා කළේ ‘දිවයින’ට දැන්වීම් දීමෙන් වළකින ලෙස සියලුම රාජ්‍ය ආයතන සහ පුද්ගලික බැංකුවලට දැන්වීමය. පත්තරයක් දුවන්නේ පිටපත් අලෙවියෙන් නොවේ. පත්තරයක පැවැත්මට වෙළෙඳ දැන්වීම්වල අවශ්‍යතාව ඉතා දැඩිය. බොහෝ දවස්වල පත්තරයේ නිෂ්පාදන මිල එහි විකිණුම් මිල ඉක්මවයි. මෙවිට පාඩුව මඟහරවා ගැනීම සිදුවන්නේ දැන්වීම් ආදායමෙනි. මේ බව හොඳින්ම දැන සිටි ජේ. ආර්. දිවයිනේ කඳ මුලින්ම උගුල්ලා දැමීම සඳහා දැන්වීම් ආදායම නැවැත්වීය. සියලුම බැංකු අපට දැන්වීම් දීමෙන් වැළකී සිටියදී සම්පත් බැංකුව පමණක් මේ පුවත්පතේ දිගටම දැන්වීම් පළකළේය. එකල සම්පත් බැංකුවේ සිටි ප්‍රධානියා එඩ්ගා කුලතුංග මහතා ය. ජේ. ආර්. ගේ නියෝගය පිටුදැකීමෙන් එඩ්ගා කුලතුංග ද අවදානමකට වැටී සිටියේය. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය ක්‍රමයෙන් උතුරමින් පැවතුන අතර ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ කළමනාකාරීත්වය දැරූ මතවාදයත් දිවයිනේ මතවාදයත් අතර සමානතාවක් විය. එබැවින් දිවයින නමැති ජාතික ආයතනය රැකගැනීම සඳහා එම බැංකුව නොබියව මෙහෙවරක් කළේය. දිවයින සමඟ හැප්පුණාට සම්පත් බැංකුව සමඟ හැප්පීමට ජේ. ආර්. ජයවර්ධන උත්සාහ කළේ නැත. ඊට හේතුව සම්පත් බැංකුව ඒ වන විටත් මේ රටේ ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ සහකරුවකු බවට පත්ව තිබීමය. සම්පත් බැංකුවට ගැහුවොත් රටේ ආර්ථිකයෙන් කෑල්ලක් ද කඩාවැටෙන බව උපකල්පනය කළ නිසාදෝ ‘දිවයින’ට පෙරලූ බාල්දිය එසේම තිබියදී ජේ. ආර්. නිහඬ විය.

ජනමාධ්‍යයක් ප්‍රමිතියකට පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන්නා දේශපාලනඥයා ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඇති ප්‍රමිතිය කුමක් ද? දිවයිනේ කතුවරයකු වූ උපාලි තෙන්නකෝන්ට පිහියෙන් ඇනීමේ ප්‍රමිතිය කුමක් ද? කීත් නොයාර් පැහැරගෙන ගොස් අම්බානකට ගුටි දීමේ ප්‍රමිතිය කුමක් ද? මේ සිදුවීම් සියල්ල පිටුපස සිටි දේශපාලනඥයන් ගැන මේ රටේ ජනමාධ්‍ය කරුණු හෙළිදරව් කරන්නට පටන් ගත් කල්හි එම ආයතනවලට ද්‍රෝහීන් සේ සැලකීමට එවකට පැවති ආණ්ඩු කටයුතු කළේය. අප ගරු අගමැතිතුමාට මේ මොහොතේදී කියන්නේ දේශපාලනඥයන් හරියට හැසිරෙනවා නම් ජනමාධ්‍ය ප්‍රමිතිය ද හරියට හසුරුවා ගැනීමට හැකි බවය. එය ඉටු නොවන තාක් කල් ජනමාධ්‍ය සෑම කල්හී ම දේශපාලනඥයාගේ සතුරාය.

advertistmentadvertistment
advertistmentadvertistment