සනත් නිශාන්තට එරෙහි චෝදනා පත්‍රයක් සකසන්න ජන. 17 තෙක් කල්දෙයි

89

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට චෝදනා පත්‍රයක් කෙටුම්පත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (12දා) නීතිපතිවරයාට නියෝග කළේය.

එකී චෝදනා පත්‍රය කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති බවත් ඉතිරි කටයුතු අවසන් කිරීමට කල් ලබාදෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබාදුන් නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නප්‍රිය ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල එදින එම පැමිණිල්ල යළි කැඳවීමට දින නියම කළේය.

අධිකරණය විසින් පෙර නඩු දිනයේදී කරන ලද නියෝගය අනුව වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා ඊයේ (12දා) දිනයේද පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය අගෝස්තු 28 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සනත් නිශාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශ අනුව අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරා දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ විජිත කුමාර, නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් හා ශ්‍රී ලංකා අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය එම පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment