සනත් – මිලාන් අත්අඩංගුවට: සීඅයිඩීය දේශබන්දුගෙන් ප්‍රශ්න කරයි

311

ප්‍රහාරයට පෙර ජොනිගේ කතා: මන්ත්‍රී 6කගෙන් සීඅයිඩීය ප්‍රකාශ ගනී

ගාලුමුවදොර සාමකාමී විරෝධතාවේ නිරතව සිටි පිරිසකට ඉකුත් 09 වැනිදා පහර දීමේ සිද්ධියට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17 දා) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

සනත් නිශාන්ත මහතා බත්තරමුල්ල පිහිටි නිවසක සිටියදී ද මිලාන් ජයතිලක මහතා බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට ඊයේ සවස රැගෙන ආ අතර ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඉකුත් 09 වැනිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධව සටහන්ව ඇති වීඩියෝ දර්ශන සහ පහර කෑමට ලක්වූ පුද්ගලයන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශ අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති සැකකරුවන් 22 දෙනා අතර මොවුහු දෙදෙනා ද සිටිති.

සී අයි ඩීය දේශබන්දුගෙන් ප්‍රශ්න කරයි

සාමකාමී උද්ඝෝෂකයින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17 දා) බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

“මයිනා ගෝ ගමට සහ “ගෝඨා ගෝ ගමට” පහරදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට හිරිහැර කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විසි දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනය කර ඔවුන්ට එරෙහිව චෝදනා තිබේනම් අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්‍ෂණ දොපර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඊයේ (17 දා) දහවල් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

මෙම සිද්ධියට වගකිවයුතු සෙසු දේශපාලනඥයින් ඇතුළු පිරිසගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්‍ෂා කරනු ලැබේ. ඉන් පසුව මෙම සිද්ධිය පිළිබඳ ගතයුතු වැඩිදුර පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේතුව අවශ්‍ය උපදෙස් ලබා දීමට නියමිතව ඇත.

මන්ත්‍රීන් 6 කගෙන් සීඅයිඩිය ප්‍රකාශ ගනී

මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කථානායකවරයාට ඊයේ (17 දා) දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ඩී. සංජීව එදිරිමාන්න, සී. බී. රත්නායක, ඉන්දික අනුරුද්ධ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගෙන් මෙසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබේ.මේ අතරින් නාමල් රාජපක්‍ෂ මහතාගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් නියෝග මත තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනකු ඇතුළු 22 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන පවත්වා ඔවුන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment