සනත් මිලාන් යළි රිමාන්ඩ් – මහින්ද තවමත් පාස්පෝට් එක භාරදී නෑ

481

දේශබන්දු මාරු නොකිරීම ගැන උසාවිය පොලිස්පතිගෙන් කරුණු අසයි

පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් හයදෙනකු ලබන 1 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25දා) නියෝග කළේය.

සනත් මිලාන් යළි රිමාන්ඩ් - මහින්ද තවමත් පාස්පෝට් එක භාරදී නෑ

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් හයදෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඊයේ (25දා) පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් විසින් හඳුනා නොගත් තවත් සැකකරුවන් 4 දෙනකු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප අටක් මත මුදාහැරීමට ද නියෝග කළේය. එම අමානුෂික පහරදීම වැළැක්වීමට නිසි පියවර නොගත් බවට චෝදනා එල්ල වීම නිසා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වහාම තම අධිකරණයට කරුණු දක්වන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට එහිදී නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 454 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බවත් එකී පහරදීම් ඇතුළු සිද්ධීන් නිසා 76 දෙනකු තුවාල ලබා ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් මිනීමැරීමට තැත් කිරීමේ වරද සිදුකර ඇති බවත් එකී චෝදනාව යටතේ විමර්ශන සිදු කරන බවත් අධිකරණයට කීවේය. පසුගිය 12 වැනිදා විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු 24 දෙනකුට විදේශ ගමන් තහනමක් පැනවූ නමුත් එකී නියෝගයට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ හා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් තවමත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර විමර්ශන නිලධාරීන්ට හෝ අධිකරණයට භාරදීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට කීවාය.

පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා නියෝජිතයන් ඇතුළු සාක්‍ෂිකරුවන්ගේ රැස්වීමට සහභාගි වන පිරිස සාමකාමී අරගලකරුවන් අතරට ගමන් කළහොත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් එකී පිරිසට ගාලුමුවදොර පිටියට පිවිසීමට ඉඩ නොතබා සුදුසු ආරක්‍ෂක වැඩපිළිවෙළක් අනුගමනය කරන ලෙසට පොලිස්පතිවරයා විසින් ඊට පෙර දින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබාදී තිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට කීවාය. අධිකරණය විසින් එලෙස විදේශ ගමන් තහනම් කළ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද

කහඳගම ඇතුළු ගැටුමට සම්බන්ධ කිහිපදෙනකු මේවනවිට උන්හිටිතැන් අතහැර පලා ගොස් ඇතැයිද අයේෂා ජිනසේන මෙනවිය එහිදී අධිකරණයට පැවැසුවාය.

පසුගිය 9 වැනිදා අරලියගහමන්දිරයේ පැවැති මහජන හමුවේදී නිවේදන කටයුතු සිදුකළ පුද්ගලයන් දෙදෙනකු “අපේ මාතෘ භූමියට ආදරය කරන ජනනායකයාව රැකගැනීමට පියවර ගනිමු අපි අරගල භූමියට ගොස් අපේ ශක්තිය පෙන්වමු” යනාදී වදන් ප්‍රකාශ කරමින් ජනතාව ප්‍රකෝප වන ආකාරයෙන් ප්‍රකාශ කර ඇති බවත් එබැවින් එහි නිවේදන කටයුතු සිදුකළ වසන්ත කුමාර සහ ලලිත් උදේශ මධුක යන දෙදෙනාගේ කටහඬ ආදර්ශ ලබාගෙන රස පරීක්‍ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් කරන්නැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එම ඉල්ලීමට අවසර ලබාදුන් මහෙස්ත්‍රාත්වරයා ඔවුන් දෙදෙනාගේ කටහඬ ආදර්ශක ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝග කළේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළ බවක් තම අධිකරණයට පෙනී නොඑනා බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී විවෘත අධිකරණය හමුවේ පැවැසීය.

එම නිලධාරියා සම්බන්ධයෙන් ද මේවනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු එකී ගැටුම වැළැක්වීමට අවශ්‍ය විධාන ලබාදී ඇති බවත් විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවැසීය. පහරදීමට සම්බන්ධ පිරිස එකී අරගල භූමිවලට කඩා පැනීම වැළැක්වීමට දේශබන්දු තෙන්නකෝන් මහතා විධාන කර ඇතැයිද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවැසූහ. පොලිසිය එකී පිරිස අරගල භූමියට කඩාපැනීම වැළැක්වීමට උත්සාහ කළේද නැතහොත් නැත්නම් එකී නිලධාරියා ඔවුන් අරගල භූමියට කැඳවාගෙන ගියේද යන්න ගැන සැක ගැටලුව තම අධිකරණය හමුවේ ඇතැයිද මහෙස්ත්‍රාත්වරයා එහිදී කීවේය. දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 8 වැනිදා හා 9 වැනිදා සූම් තාක්‍ෂණය ඔස්සේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් තමන්ගේ අනුමැතිය නොමැතිව අරගල භූමිවලට අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන කිසිවකුට බාධා සිදු නොකිරීමට වගබලා ගන්නැයි ඔහු එහිදී සෙසු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණයට පැවැසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එම නඩු කටයුත්ත නිරීක්‍ෂණය කිරීම නීතිඥ නලින්ද සිල්වා, ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් විසින් සිදුකරන ලදී.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් අගතියට පත් පාර්ශවය නියෝජනය කළහ.

මේ අතර සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් ඊයේ  බන්ධනාගාර බස් රථයකින් රැගෙන ආ අවස්ථාවේ හා පිටවෙත්දීත් අවට පරිශ්‍රය අසළ රැඳී සිටි විශාල පිරිසක් බස්රථයේ එල්ලෙමින් ඔවුනට තම විරෝධය පළ කර සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment